සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): 2021 මහ කන්නයේ වී වගාව සඳහා නැනෝ දියර පොහොර ආනයනය කිරීමේදී යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න සොයාබැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූවේ , චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 6.09ක මුදලක් ගෙවීම හා නැනෝ පොහොර ආනයනය කිරීම යන කරුණු දෙකම රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ පියවරයන් දෙකක් ලෙසයි .
අද දින (25) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මාධ්‍යවේදීන් මේ සම්බන්ධව අමාත්‍යවරයාගෙන් කරුණු විමසනු ලැබූ අතර , නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් 2021 දී මෙරටට ආනයනය කර ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත්වී නැතැයි යන කාරණය සම්බන්ධව මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළෝය. එහිදී අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ නැනෝ පොහොර ආනයනයේදී යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ දැනට ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ විගණකාධිපති වාර්තාවන් සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ඉහළ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
