(1)
හැම නුවරක ම
හැම සීනුව ම
එක් විසල් සීනු කුළුණක් හා බැඳේ
නියම වූ පැය මඟ හැරී යාම වෙනුවෙන්
වන්දිය ගෙවිය යුතු,
ඕනෑ ම මොහොතක
නවතින්න නියමිත
ගැස්මෙන්,
හදේ
වලාකුළු පෙළ ගැසුණේ ඉර්තු අනුව ය
ශෝකය යෙදී තිබුණේ
පෙරවරු අටත් නමයත් අතර ය
අප අතැති අනන්ත වචන සහිත අත්පිටපත
ගිගිරුම් වැසි සහිත විය
‘දේශගුණය’
අප එය නම් කළේ එහෙම ය
පළමු ස්පර්ශය, ප්‍රථම හාදුව,
ඡන්ද පොරොන්දු, උත්තරීතර සිහින, දැනුමෙහි ප්‍රභේද,
උන්මාදනීය රමණයන් සහ
තාරකා දූවිල්ලෙන්
සැකිලි හැව පිරුණා
ඇසිපිය නොගසන වීදුරු ඇස්, අනන්තය දෙස නෙත් අයාගත් පසු,
.
.
‘සදාකල්හිම’
කෞතුකාගාරයේ වීදුරු බරණියක මලානික එළිය යට
කෙටී තිබුණා
වේදනාව
ආගමක් වන තුරු
ඔප දැමුණි
ලේ ගලන තුවාලය බහාලීමට
ඔවුන් දුන්
වෙල්වට් මංජුසාව
අමිල මිණකැයි නම් කෙරුණි
එතැන් සිට,
අප එය
අවසන් ප්‍රශ්වාසය දක්වා
රැක ගත යුතු විය
විසල් දේ අප අරා පැතිරෙයි
ගුහාවේ බිත්ති මත…
ඉපැරැණි ම තර්ක ශිලාගත වෙයි
නො නවතින දෝංකාරය,
‘සත්‍යය’ නම් ව රැව් දෙයි
(2)
මිලක් නො ගෙවා
තාරකා අක්ෂර අත දරා සැරුවෙමු
දුලන සක්වළක
දැවි දැවී නිවුනෙමු
කලක් ගත වූ පසු
සංශයවාදී අඳුරේ දසයෙන් පංගුව
ආලෝකයේ
පුරාවෘත්තාගාරය වෙත පිදුවෙමු
ඉන් පසු,
එක් රාත්‍රියක තීන්ත අවසාන වී තිබුණු බව දුටුවෙමු
එක්වනම,
සීනුවක් තනි තීරණයකින්
බිම වැටෙයි
අත්පිටපතෙහි වලාකුළු ඉරිතලයි
වීදුරු බරණියක වූ
හාදුවකින් ලේ ගලයි
මංජුසාවක ලූ තුවාලය මත
මල් සහ කටු පිපෙයි
ආලෝකයේ තීන්ත වෙනුවට
සක්වළ හර්දයෙන්
අන්ධකාරය ඇද හැලෙයි
(3)
බිම වැටුණු සීනුවට අලුත් කුළුණක්
වලාකුළු මැද රිදී රේඛාවක්
ලේ ගලන හාදුවට පැලැස්තරයක්
අලුත් මල් දමන්නට අලුත් බඳුනක්
විවේකයේ දී
තාරකාවලින් බිමට පැන
ඇවිද යන්නට පොළොවක්
+++++
අල්තාරය මත බිලීවීම ද
වේදිකාවේ රඟ දීම ද
සිතියමක තිතක් වී නැවතීම ද
අගාධය තුළ සිරවීම ද
.
මේ අතර පාවීම ද?
(4)
අල්තාරයට ගිනිලෑම
වේදිකාවෙන් බැසයෑම
සිතියමෙහි පිටු ගැලවීම
පුරාවෘත්තයක්
සංකේතයක්, උපමාවක්
නො වී
පැවතීම
පාවීම වෙනුවට
පොළොව මත
නිරුවත් පයින් ඇවිදීම
කුමක්ද ඔබ කැමති ගැලවීම?
~ මාලතී කල්පනා ඇම්බ්‍රෝස්


