සටහන: සශිකලා මධුෂාණි
මැයි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් දකුණු ඉරානයේ මිසයිල ස්ථාන සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට උත්සාහ කරන බෝට්ටු ඉලක්ක කර ගනිමින් නව ප්‍රහාරයක් දියත් කළ බව නිවේදනය කර තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ ගිවිසුමකට යාමට ඉක්මන් නොවන ලෙස සිය සාකච්ජාකරුවන්ට සඳහන් කර දිනක් ගතවන විට මෙම ප්‍රහාරය දියත්කර ඇති අතර එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරි කපිතාන් ටිම් හෝකින්ස් විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමින් සඳහන් කර තිබුණේ, ඉරාන හමුදා විසින් එල්ල කරන ලද තර්ජන වලින් අපගේ හමුදා ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගනු ලැබූ බවයි.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, හෝමූස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඉරාන නාවික කඳවුරක නිවහනක් වන බන්ඩාර් අබ්බාස් අසල ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය දියත්ව ඇති අතර නවතම එක්සත් ජනපද ප්‍රහාරවලට ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.
එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති විය හැකි සාම ගිවිසුමකට ඒවා කුමන බලපෑමක් ඇති කරයිද යන්න පැහැදිලි නොමැති අතර ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බකායි මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදය සමඟ සාකච්ඡාවල යම් ප්‍රගතියක් ලබා ඇති නමුත් ගැටුම අවසන් කිරීම සඳහා වන ගිවිසුමක් ආසන්න නොවන බවයි.

