ඉර බැහැගෙන යන වෙලාවට මුහුදු වෙරළ වගේම ඉහල කඳුකරයත් බොහොම ලස්සනයි.
වසන්ත කාලෙ නිසා ඉහල කඳු මුදුන් හැර අනෙත් හැමතැනම කොල පාටට හැරෙනවා. ඒ වගේම තැන තැන මාගරීටා.. ඩැන්ඩොලියන්.. නිල් පාට බ්ලුවෙට් මල් යායට පිපෙනවා. මේ කාලෙ ඉර එලිය රැඳෙනවා රෑ නවය පහුවෙනකල්. ජූනි මාසෙ 21වැනිදාට රෑ දහය හමාර පහුවෙනකල් ඉර එලිය රැඳෙනවා මේ පලාතෙ.
බැහැගෙන යන ඉර එලියෙන් කඳු මුදුන්වල හිම රෝස පාටක් ගන්නෙ මැජික් එකකින් වගේ.
කොහොමද හිම කඳු රෝස පාටට හැරෙන්නෙ.?
ඒකට පාවිච්චි කරන යෙදුම ඇල්පෙන්ග්ලෝ (Alpenglow). බැහැගෙන යන ඉර හෙවත් සූර්‍යා සිතිජයට කිට්ටුවෙනවා. එතකොට සිතිජයේ ඉඳන් ඉහල කඳු මුදුන් දක්වා වායුගෝලය හරහා මහා දිග දුරක් ගමන් කරන්න ඉර එලියට සිද්ධවෙනවා. ඉර එලියේ වර්ණවලින් නිල් දම් වගේ පාට වැඩි දුරක් ගමන් කරන්නෙ නෑ. ඒ වර්ණ මුලින්ම අතුරුදන්වෙද්දි වැඩිම දුරක් ගමන්කරන වර්ණය වන්නේ රතු. මෙන්න මේ ඉතිරිවෙන රතු පැහැයයි සුදුපාට හිම කඳුවල ගැටෙන්නෙ. රතු හා සුදු එකතුවුනාම රෝස පාට නිර්මානය වන බව කවුද නොදන්නෙ?
උදේ පාන්දර ඉර එලිය වගේම හවස බැහැගෙන යන ඉර එලියටත් පුළුවන් හිම කඳු රෝස පාටට හරවන්න.
රෑ කාලෙ කෙටිවන දවල් කාලෙ දිගුවෙන වසන්ත කාලෙ බොහොම ලස්සනයි.
~ Malcolm Sang


