සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ , රජයේ අමාත්‍යාංශ සහ ආයතන යටතේ පාලනය වන මහල් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීමේ අවදානමක් ඇති බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මෙම මහල් ගොඩනැගිලිවල නිවාස ඒකක 908ක් ඇතුලත් වන බවයි පැවසෙන්නේ .
මෙම මහල් නිවාස කොළඹ, තිඹිරිගස්යාය, කොළොන්නාව, රත්මලාන සහ මොරටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටා ඇති අතර මෙම මහල් ගොඩනැගිලි නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව, කම්කරු දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ස්වාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය යටතේ පාලනය වන ඒවා වේ.
◾කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස ඒකක 420ක්,
◾තිඹිරිගස්යායේ නිවාස ඒකක 120ක්, ◾කොළොන්නාවේ නිවාස ඒකක 60ක්, ◾රත්මලානේ නිවාස ඒකක 01ක් සහ ◾මොරටුවේ නිවාස ඒකක 307ක්
මෙලෙස කඩා වැටීමට ආසන්න තත්ත්වයේ පවතින මහල් ගොඩනැගිලිවල පිහිටා ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
මොරටුවේ මහල් ගොඩනැගිලිවල නිවාස ඒකක 227ක් පාලනය වන්නේ ස්වාධිපත්‍ය කළමනාකරණ ඒකකය යටතේය.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රදීප් උදුගොඩ මහතා පැවසූවේ , කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස රැසක් අබලන් තත්ත්වයේ පවතින බවත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ද මෙම ගොඩනැගිලි භාවිතයට සුදුසු මට්ටමක නොමැති බව දැනුම් දී ඇති බවත්ය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
