Monday, June 27, 2022
spot_img
spot_img

Latest Posts

එංගලන්තේත් මයිනාගෝගමක් ළඟදීම හැදෙන ලකුණු, දක්ෂිණාංශයට වැඳුම් පිදුම් කරමු තව අවුරුද්දක්..!

බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මාර වාසනාවන්තයි නේ.. උන්නැහැ පාර්ටිගේට් සිදුවීමට අදාළව ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ කියලා ප්‍රසිද්ධියේ කිව්වා විතරක් නෙමෙයි, ඔන්න විශ්වාසය පළකිරීමේ මත විමසුමකුත් ජයග්‍රහණය කරලා…

ඊයේ දිනයේ බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට අදාළව විශ්වාසය පළකිරීමේ යෝජනාවක් හෙවත් ‘වෝට් ඔෆ් කන්ෆිඩන්ස්’ එකක් ගෙන එන බව මුලින්ම පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ 1922 ටෝරි කමිටුවේ ලොක්කා ග්‍රැහැම් බ්‍රේඩි. අග්‍රාමාත්‍යධුරය දරන පුද්ගලයකුට එරෙහිව එල්ල වුනු චෝදනාවකට අදාළව වරදකරු වුනු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු අග්‍රාමත්‍යවරයා වන බොරිස් ජොන්සන් ට පාර්ලිමේන්තුවේ තමන්ගේම පක්ෂයෙන් මෙහෙම විශ්වාසය පළකිරීමට අදාළ යෝජනාවක් ගේනවා කිව්වා ම නිකං ඒ පුවතම ඔහුගේ නමට ලැජ්ජාවක් වගේ නේ.

ජොන්සන් මේ මත විමසුමෙන් ජයග්‍රහණය කරනවා. ඒ පක්ෂව ඡන්ද 211ක් සහ විපක්ෂව ඡන්ද 148ක් ලබා ගනිමින්. මේක අනුපාතයක් විදියට 59:41 ක්. මේ වගේ මත විමසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුනාම අග්‍රාමාත්‍යවරයකුට ධුරයේ රැඳී ඉන්න නම් පක්ෂව ඡන්ද 180 ලබා ගත යුතුවනවා. ඒ අනුව වැඩි ඡන්ද 63 ලබා ගන්න බොරිස් ජොන්සන් ට තව අවුරුද්දක් තම අග්‍රාමාත්‍යධුරයේ රැඳී ඉන්න පුළුවන්.

ඒ අනුව එංගලන්තයට බොජෝ ගේ කෙරුවාව තව මාස 12ක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා.

බොජෝ ට රතු එළියක්?

හැබැයි මෙතන පොඩි පරහක් තියනවා. මේ ඡන්ද ප්‍රමාණය දැක්කාම පැහැදිලි වන දෙයක් තමයි, පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 148 දෙනෙකුම තමන්ගේම නායකයාට විරුද්ධව ඡන්දය පළකර තිබීම! ඇයි එච්චර???

ඔබට මතකද මේ ඡන්දය තියන්න හේතුපාදක විච්ච පාර්ලිමේන්තු ක්‍රියාව? ආන්දෝලනාත්මක පාර්ටිගේට් සිදුවීමෙන් පසුව තමන්ගේම පක්ෂයෙන් බොරිස් ජොන්සන් ට එරෙහිව විශ්වාස භංග ලිපි ඉදිරිපත් වුනා මතකද 1922 ටෝරි කමිටුවට? බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව, මෙසේ රාජ්‍ය නායකයාට අදාළව අකමැත්ත පළකිරීම සියයට 15 ක සීමාවේ පවතින්නේ නම් මත විමසුමකට යා හැකියි. මෙම කැමැත්ත පළකිරීමේ මත විමසුම පවත්වන්නේ එහෙම.

ඒ කියන්නේ බොරිස් ජොන්සන් හෙවත් බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ නායකයා තමන්ට එපා කියලා ඔහුගේ ම පක්ෂයෙන් එල්ල වූ සියයට 15 ක විරෝධතාවය මතයි මෙම මතවිමසුම පවත්වන්නේ. ඒ අනුව, පාර්ලිමේන්තුව තුළ තමා නියෝජනය කරන පාර්ශවයෙන්ම තමාට විරුද්ධව රාවයක් ගොඩනැඟෙන පසුබිමක තමයි බොරිස් ජොන්සන් ට මේ මත විමසුමට මුහුණ දීමට සිදුවන්නේ. එක විදියකින් ඔහු එතනින්ම පරාජයට පත්වෙලා ඉවරයි.

කොහොම වුනත් ඔහු මෙම මත විමසුමෙන් ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව ලබා ගත් එකක් නිසා අපි ඔහුට සුභපතන්න ඕනේ. හැබැයි, මේ ඡන්ද ප්‍රතිඵල වලින් පැහැදිලි වන කරුණ තමයි, ඔහු කෙරේ ඇති විශ්වාසය දැඩි ලෙස බිඳී ගොස් ඇති බව. ඒ කියන්නේ ටෝරි මන්ත්‍රීවරුන්ගෙන්ම අතිවිශාල ප්‍රමණයක් ඔහුට විරුද්ධව ඡන්දය පළකර ඇති බව. මෙහෙම දෙයක් එදා මෙදා තුර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වෙලා නැති තරම්. වෙනකක් තබා බහුතර බලය පෙන්වා ගැනීමට අසමත් වූ බොරිස් ජොන්සන් ගේ පූර්වගාමියා වූ තේරේසා මේ ට වත් මෙහෙම විරෝධයක් පාර්ලිමේන්තුව ඇතුළෙන් ගොඩ නැඟී නැහැ.

මේ අනුව, බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට ඇති බහුතර බලයත් ක්‍රමක්‍රමයෙන් අවදානමට ලක්වන බවක් පෙනෙන්නට තිබෙනවා. එය ඔහුගේ ඉදිරි දේශපාලන කටයුතු වලටත් දරුණු ලෙස බලපෑමේ ඉඩ තිබෙනවා.

ඉතිං තමන්ගේ ම පක්ෂය ඇතුළේ සෑම දහදෙනෙකුගෙන් හතරදෙනෙකුම තමාව එපා කියලා කියනවා නම්, තමා නොමැති පාලනාධිකාරියක් බ්‍රිතාන්‍යයේ තිබීම වඩා සුදුසුයි කියලා හිතනවා නම්, බොරිස් ජොන්සන් සෑහෙන්න බරපතලව මේ ගැන සිතිය යුතුයි. විපක්ෂය ඔහුව දැනටමත් ප්‍රතික්ෂේප කරලා ඉවරයි.

තම පූර්වගාමියා වූ තෙරේසා මේ ගේ ඉල්ලා අස්වීමෙන් පසුව බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යධුරයට බොරිස් ජොන්සන් පත්වන්නේ 2019 දී. ඒ, එදා මෙදා තුර බ්‍රිතාන්‍යයේ වැඩිම බහුතර බලයක් ලබාගනිමින්. දක්ෂිණාංශික කන්සර්වේටිව් පක්ෂය අවසන් වරට එවන් ජයග්‍රහණයක් ලබා තිබෙන්නේ 1987 හිටපු අග්‍රාමාත්‍ය මාග්‍රට් තැචර් ගේ පාලනය යටතේ.

බොරිස් ජොන්සන් ට පළමු දේශපාලන කනේ පාර වදින්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව යාම හෙවත් බ්‍රෙක්සිට් විවාදයේදී. ඔහු බ්‍රෙක්සිට් සඳහා පක්ෂපාතී වීමත් සමඟ යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව තරහා කර ගන්නවා. ඒකෙන් දේශපාලනික වශයෙන් ඔහු සුරක්ෂිත වුනාට, ඔහුට කෙලින්ම ඔලුවටම පොලුපාර වදින්නේ පාර්ටිගේට් ජරමරයෙන්. පාර්ටිගේට් සිදුවීමට අදාළව ඔහු කළ වරද අතේ පත්තුවුනා විතරක් නෙමෙයි, බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශික සාගරයේ ගිලී හිටපු මිනිසුන්ගේ මොකද්දෝ වාමාංශික ලක්ෂණයක් එලියට මතුවෙන්න පටන් ගනිමින් තමන්ගේ ම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සහ පාලනාධිකාරියේ හිටපු රාජ්‍ය නිලධාරීන්ගේ පවා අප්‍රසාදයට බොරිස් ජොන්සන් ලක්වුනා. ඔවුන් බොරිස් ජොන්සන්ට එරෙහිව විප්ලව කරන්න පටන් ගත්තා. ඒ සියල්ල එහෙම වෙද්දී, විදුලි සැරක් වැදුනා වගේ ඉතිහාසයේ පළමු වරට බ්‍රිතාන්‍යයේ දේශපාලන පිටියට වමේ නැංගුරම් ලෑමක් සිද්ද වෙනවා. අනාදිමත් කලක පටන් දක්ෂිණාංශික පාලනයක් තිබුණු ලන්ඩනයේ පළමු වරට බ්‍රිතාන්‍යයේ වාමාංශික මතධාරී කම්කරු පක්ෂය ලන්ඩනයේ පළාත් පාලන මැතිවරණයෙන් වෙස්ට්මින්ස්ටර් සභාව, වොන්ඩ්ස්වර්ත් සභාව සහ බාර්නට් සභාව ජයග්‍රහණය කරනු ලබනවා. ඒ අනුව දක්ෂිණාංශික මතධාරී බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ පාලනයේ තිබූ සභා 3 ක බලය හිමිකර ගැනීමට කම්කරු පක්ෂය සමත් වනවා. අධි බලැති කන්සර්වේටිව් කුළුණු තුනක් සුනුවිසුනු කර දැමීමට කියර් ස්ටාමර් ප්‍රමුඛ කම්කරු පක්ෂය සමත් වනවා.

කම්කරු පක්ෂයට බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුවේ බහුතර බලය දිනා ගැනීමට නම්, ඔවුන් බාර්නට් හි ජය තහවුරු කර ගත යුතු බවත්, පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය බාර්නට් සභාව ජයග්‍රහණය කර ඇති බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ත් ඔවුන්ම ටෝරි බලය හිමි මැතිවරණ කොට්ඨාශ ජයග්‍රහණය කළහොත් කන්සර්වේටිව් පක්ෂයට යළි රජයක් පිහිටුවීමට නොහැකි වනු ඇති බවත් මේ ගැන අවංක පාපොච්ඡාරණයක් කරන බාර්නට් සභාවේ කන්සර්වේටිව් නායක ඩැනියල් තෝමස් වරක පවසා සිටියා.

දැන් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ මතුව ඇත්තේ බරපතල අභියෝගයක්. තමන්ගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් 148 දෙනෙකු ඔහුව එපා කියද්දී, බ්‍රිතාන්‍ය දේශපාලනයේ වාමාංශික දර්ශනයට ඇති ප්‍රසාදය ක්‍රමක්‍රමයෙන් ඉහළ යන බවක් පෙනෙන්නට තියෙද්දී, තමාට ඉතුරු වී ඇති වසරක කාලය ඔහු කෙසේ හෝ ගතකළ යුතුයි.

බ්‍රිතාන්‍ය රජය විවිධ අක්‍රමිකතා රැසකට වගකිව යුතු බවට චෝදනා එල්ලවනවා. මීට කදිම උදාහරණය තමයි, එරට ඛනිජ තෙල් සංස්ථාව මෙම වසරේ මුල් කාර්තුව තුළ පමණක් ඩොලර් බිලියක ගණනක ලාභයක් උපයන විට ඊට පරස්පර විරෝධී ලෙස රටේ සාමාන්‍ය ජනයා ගේ (විශේෂයෙන්ම වියපත් ප්‍රජාවගේ) ජන ජීවිත පිරිහීමට ලක්වීම. රජයේ ආයතන ලාභ ලබන තත්ත්වයක පවතිද්දී මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු පැනවීම බොරිස් ජොන්සන් ප්‍රතික්ෂේප කරනවා. ඒ මන්ද කියා විමසූ විට ඔහු පවසන්නේ එසේ කළහොත් රටට ආයෝජන සිදුනොවන බවත් ඉන් ආර්ථිකය කඩා වැටෙන බවත්.

එමෙන්ම, මානව හිමිකම් පිළිබඳ කතිකාව අතිනුත් බොරිස් ජොන්සන් ප්‍රමුඛ රජයට එල්ලවන්නේ සුළුපටු චෝදනා නෙමෙයි. විශේෂයෙන්ම, LGBTQ ප්‍රජාව ඉලක්කකරන ‘කන්වර්ෂන් තෙරපි’ නම් ව්‍යාජ මනෝචිකිත්සාව බ්‍රිතාන්‍යයෙන් තහනම් කිරීමට රජය අසමත් වීමත්, ස්ත්‍රී-විරෝධී දේශපාලඥයන්ගේ කල්ක්‍රියාව මත කාන්තා දේශපාලඥයන්ට විවිධ කෙනහිලිකම් සිදුවීමත් එම චෝදනා අතර ප්‍රමුඛයි. පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඇති පුරුෂ මූලික සංස්කෘතිය මුලිනුපුටා දැමීම වෙනුවට එය තවදුරටත් පෝෂණය කිරීමට රජය කටයුතු කරන බවයි බොරිස් ජොන්සන් ප්‍රමුඛ රජයට එරෙහිව චෝදනා ගොනුවන්නේ.

මේ සියල්ල මැද බොරිස් ජොන්සන්ට එරෙහිවත් ළඟඳීම මයිනාගෝගමක් හැදුනොත් අපි පුදුම නොවිය යුතුයි.

ප්‍රමෝද් චින්තක පීරිස්

ඡායාරූප: අල් ජසීරා

කියවන්න:

යන්නේ නෑ නෑ මයි! බොරිස් ජොන්සන්ට අත්වන්නේත් මහින්ද ගේ ඉරණමම ද?

පාර්ටිගේට් බෝම්බයෙන් දෙදරායන දක්ෂිණාංශය සහ ලන්ඩනයේ දේශපාලන පෙරළිය

පාර්ටිගේට් නිසා දුෂ්ටයකු වූ, යුක්රේනය නිසා වීරයකු වූ බොරිස් ජොන්සන්ට දඩ වදිද්දී තමා වරදක් කළ බව මතක් වෙලා!

පාර්ටිගේට් ජරමරය: සද්දයක් නැති මෙට්‍රොපොලිටන් පොලීසිය රුසියාවේ ඔත්තුකාරයෙක් ද?

යුක්රේනයේ වලි නේ, ඉතිං අපි පාර්ටිගේට් විමර්ශන අතාරිමු!

පාර්ටිගේට් ජරමරය: සොරි කියපු බොරිස් ජොන්සන්ට මෙට්‍රොපොලිටන් පොලීසියෙන් නෛතික ප්‍රශ්නමාලාවක්!

ප්‍රජාතන්ත්‍රවාදය දැඩි සත්කාර ඒකකයේ – බොරිස් ජොන්සන් දැන්ම ඉඳන් සුදුකොඩි එල්ලනවා ද?

සුනිල් පේරේරාට ගීතය වැරදුනා වත් ද? ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා හෙවත් බොරිස් ජොන්සන් ලංකාවේ පොරක් ද?

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.