ඇමරිකානු යුද ලැයිස්තුවට චීන දැවැන්ත සමාගම් එක්වෙයි…

රෂිකා හෙන්නායක ජුනි 09 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද දින ඔබේ ජීවිතය ගැන මොහොතක් සිතන්න. ඔබ අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇණවුම් කරන්නේ Alibaba හරහා විය හැකිය. ඔබ ගමන් කරන නවීන විද්‍යුත් රථය BYD සන්නාමයේ එකක් විය හැකිය. එසේත් නැතිනම් ඔබ තොරතුරු සොයන්නේ Baidu හරහා විය හැකිය. ලොව පුරා පාරිභෝගිකයන්ගේ සමීපතම සගයන් බවට පත්ව තිබූ මෙම තාක්ෂණික දැවැන්තයන් පිළිබඳව ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය හෙවත් පෙන්ටගනය මෑතකදී කළ නිවේදනය මුළුමහත් තාක්ෂණික ලෝකයම කැළඹීමට පත් කර තිබේ. ලොව පුරා ප්‍රචලිත මෙම වාණිජ සන්නාම දැන් නිල වශයෙන් නම් කර ඇත්තේ “චීන හමුදා සමාගම්” ලෙසයි.

Alibaba, BYD සහ Baidu වැනි සමාගම් පෙන්ටගනයේ “කළු ලැයිස්තුවට” ඇතුළත් කිරීම දැඩි පියවරකි. චීනයේ විශාලතම ඊ-වාණිජ්‍ය ආයතනය වන Alibaba, ටෙස්ලා සමාගම අභිබවා යන තරම් වේගයෙන් වර්ධනය වන විද්‍යුත් වාහන (EV) නිෂ්පාදක BYD සහ චීන අන්තර්ජාල සෙවුම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන Baidu දැන් ඇමරිකාව විසින් සලකනු ලබන්නේ සරල වාණිජ ආයතන ලෙස නොව, “උපායමාර්ගික තර්ජනයන්” ලෙසයි.

මෙම පියවර මඟින් පසුගිය වසරේ WeChat හිමිකාරිත්වය දරන Tencent සමාගම නම් කිරීමේ සිද්ධිය තවදුරටත් ඉදිරියට ගෙන යයි. පෙන්ටගනයේ නිර්ණායකයන්ට අනුව, මෙම ලැයිස්තුවට ඇතුළත් වීමට නම් අදාළ සමාගම ඇමරිකාව තුළ ද සිය ව්‍යාපාරික මෙහෙයුම් පවත්වාගෙන යා යුතුය. මෙහි ඇති බරපතලම ප්‍රතිඵලය වන්නේ, මෙම මස අග සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස නම් කරන ලද සමාගම්වලට ඇමරිකානු ආරක්ෂක අංශයේ කිසිදු කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට අවස්ථාව අහිමි වීමයි.

මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් Alibaba සමාගමේ ප්‍රකාශකයෙකු මෙසේ පවසා සිටියේය:

“Alibaba යනු චීන හමුදා සමාගමක් නොවන අතර කිසිදු හමුදා-සිවිල් විලයන උපායමාර්ගයක කොටසක් ද නොවේ. අපගේ සමාගම වැරදි ලෙස නිරූපණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව අපි හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නෙමු.”

ඇමරිකානු බලධාරීන් චීන ආයතනික ව්‍යුහයන් දෙස බලන දැඩි සැක සහිත ආකල්පය මෙම ලැයිස්තුවේ වර්ධනයෙන් පැහැදිලි වේ. 2025 වසරේදී මෙම ලැයිස්තුවට ඇතුළත් වූයේ සමාගම් 134ක් පමණි. එහෙත්, 2026 වසරේ නවතම යාවත්කාලීන කිරීමත් සමඟ එම සංඛ්‍යාව 188 දක්වා ඉහළ ගොස් ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ රොබෝ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) වැනි අංශවල නියැලෙන RoboSense Technology සහ Unitree Robotics වැනි සමාගම් ද අලුතින් එක් කර තිබීමයි. මෙය චීන තාක්ෂණික ප්‍රගතිය හමුදාමය ශක්තියක් බවට පරිවර්තනය වීම වැළැක්වීමට ඇමරිකාව දරන දැඩි උත්සාහයේ ප්‍රතිඵලයකි.

පෙන්ටගනය මෙම සමාගම් නම් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ “Military-Civil Fusion – MCF)” නමැති සංකල්පයයි. මෙයින් අදහස් කරන්නේ සිවිල් ක්ෂේත්‍රයේ සිදුකරන අතිනවීන පර්යේෂණ සහ නවෝත්පාදන, බීජිං පාලනයේ හමුදාමය නවීකරණ කටයුතු සඳහා සෘජුව හෝ වක්‍රව දායක කර ගැනීමයි.

Alibaba, BYD සහ Baidu වැනි සමාගම් චීනයේ රාජ්‍ය වත්කම් අධීක්ෂණ හා කළමනාකරණ කොමිෂන් සභාව (SASAC) සහ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) වැනි රජයේ ආයතන සමඟ පවත්වන සබඳතා හරහා මෙම විලයනයට දායක වන බව ඇමරිකාව විශ්වාස කරයි. විද්‍යුත් වාහනවල බැටරි තාක්ෂණය හෝ සෙවුම් යන්ත්‍රවල ඇති දත්ත විශ්ලේෂණ හැකියාවන් හමුදාමය කටයුතු සඳහා ද්විත්ව භාවිතයකට යොදාගත හැකි වීම නිසා, වාණිජ තාක්ෂණය සහ ආරක්ෂක ප්‍රගතිය එකිනෙකින් වෙන් කිරීම ඇමරිකාවට විශාල අභියෝගයක් වී තිබේ.

මෙම දැඩි තීරණය නිකුත් වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන නායක ෂී ජින්පින් අතර බීජිංහිදී පැවැත්වූ දෙදින සමුළුවෙන් මසක් ගත වීමටත් පෙරය. එම සමුළුවේ මූලික අරමුණ වූයේ දෙරට අතර වසර ගණනාවක් තිස්සේ පවතින වෙළඳ යුද්ධයේ “උණුසුම අඩු කිරීම” වුවද, ජාතික ආරක්ෂාව මුල් කරගත් පෙන්ටගනයේ ක්‍රියාමාර්ග එම රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් යටපත් කරමින් ඉදිරියට යන බව පෙනේ.

මෙය සැබෑ පියවරක්ද නැතහොත් ප්‍රදර්ශනාත්මක ක්‍රියාවක්ද?

සී.අයි.ඒ. (CIA) ආයතනයේ සහ පසුව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ සේවය කළ චීනය පිළිබඳ ප්‍රවීණයෙකු වන ඩෙනිස් වයිල්ඩර් පවසන්නේ, ඇමරිකානු සමාගම් රැසක් දැනටමත් මෙම චීන දැවැන්තයන් සමඟ වෙන් කළ නොහැකි තරම් ගැඹුරු ව්‍යාපාරික සබඳතා පවත්වන බවයි. සැබෑ මූල්‍යමය දඬුවම් හෝ නීතිමය ක්‍රියාමාර්ග පැනවීමකින් තොරව මෙම සබඳතා අත්හැරීමට ඇමරිකානු ව්‍යාපාරික අංශ සූදානම් නැත.

“මෙතරම් පුළුල් පරාසයක පවතින සම්බාධක සාර්ථක වන්නේ නැත. ඇමරිකාව චීන ආර්ථිකයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වීමට (decouple) සූදානම් නැතිනම්, මෙම සම්බාධක හුදෙක් ප්‍රදර්ශනාත්මක ක්‍රියාවන් (performative) පමණි.” – ඩෙනිස් වයිල්ඩර්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...