සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):
පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බවයි.
පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට ගත යුතු පියවර මෙන්ම උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ග්‍රාම නිලධාරීන්ට අමතරව තවත් කණ්ඩායමක් වෙතද බලය පවරා ජංගම සේවා ක්‍රියාත්මක කිරිමේ හැකියාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බව සඳහන් වේ.
ජනතාව මේ කෙරෙහි උනන්දු කරවමින් එම ප්‍රතිලාභය ඔවුන් වෙත ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරී ඇති වගකීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළ අතර, පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට රජය කැපවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මෙහිදී සඳහන් කළ අතර එළැඹෙන ජූලි 03 වනදා ජාතික පාසල් සඳහා නව ගුරු පත්වීම් 2500ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
ඒ යටතේ රසායනික විද්‍යාව,භෞතික විද්‍යාව, ජිව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය, විදේශ භාෂා යන විෂයයන් සඳහා ගුරු පත්විම් 2100ක් සහ 2021 වසරේ දී පවත්වන ලද ඉංග්‍රීසි මාධ්‍ය උසස් ඩිප්ලෝමා විභාග ප්‍රතිඵල මත ගුරුවරුන් 500ක් බඳවා ගැනීමට කටයුතු සුදානම් කර ඇති බවත් ඒ සමඟ එම විෂය ධාරාවන්ට අදාළව ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු බොහෝ දුරට මඟ හැරෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.
එසේම ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟය පියවා ගැනීම වෙනුවෙන් දැනට විශ්‍රාම ගොස් සිටින ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවා ඔවුන්ව කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා අධ්‍යාපන පරිපාලන සේවයේ හා ගුරු අධ්‍යාපන සේවයේ නිලධාරින්ගේ හිඟය පියවා ගැනීම සඳහා ද කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සඳහන් කළේය.
මේ අතර අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුනු අතර,පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් ජනාධිපති ශිෂ්‍යත්ව ලබාදිමේ වැඩසටහන යටතේ බස්නාහිර පළාතට ශිෂ්‍යත්ව 16,152ක්, උතුරු පළාතට ශිෂ්‍යත්ව 8,636ක් සහ අනෙකුත් සෑම පළාතකටම ශිෂ්‍යත්ව 10,000 පමණ හිමිවන බව මෙහිදී අනාවරණය කෙරුණු බවද සඳහන් වේ.
එම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මසකට රුපියල් 3,000/- බැගින් මාස 12ක කාලයක් ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර, එසේම අ.පො.ස උසස් පෙළ හදාරන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් මසකට රුපියල් 6,000/- බැගින් මාස 24ක් ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහනේ කටයුතු ද මේ වන විට අවසන්ව ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 2000ක් වෙනුවෙන් එම ශිෂ්‍යත්ව ප්රදානය කිරීම එළැඹෙන ජූනි 19 වනදා අරලියගහ මන්දිරයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් සඳහන් කර ඇත.
ඊට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වන අතර ශිෂ්‍යත්ව ප්රදානය කරන දිනයේදීම හිඟ වාරික ද සමඟ සිසුන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කෙරෙන බවත්, ඉන් පසුව සෑම මසකම පළමු සතියේ online ක්‍රමවේදය යටතේ අදාළ ශිෂ්‍යත්ව මුදල් සිසුන්ගේ ගිණුම වෙත සෘජුව බැර කෙරෙන බවද පැවසේ.
පිරිවෙන් හා සිල්මතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීම අවසන් වු වහාම ශිෂ්‍යත්ව ප්රදානය ආරම්භ කෙරෙන බවත්, අ.පොස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහන වෙනුවෙන් ද අයදුම් පත් කැදවීම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් සඳහන් කෙරුණු අතර, මේ සියලු ශිෂ්‍යත්ව ප්‍රදානයන් වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 5100ක පමණ මුදලක් වැය වන අතර එම සම්පූර්ණ මුදල ජනාධිපති අරමුදලින් මේ වන විටත් වෙන් කර ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණු අතර දිස්ත්‍රික් මට්ටමින් මෙම ශිෂ්‍යත්ව ලබාදිමේ වැඩසටහන් සාර්ථක කර ගැනීමේදී ආණ්ඩුකාරවරුන් වෙත පැවරී ඇති වගකීම ද සාකච්ඡා වීඇත.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සිටි බව සඳහන් වේ.