ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරනවා – ජනාධිපති කාර්යාලය

Date:

ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට මාධ්‍ය කිහිපයක පළ කර ඇති වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඔවුන් විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට මාධ්‍ය කිහිපයක පළ කර ඇති වාර්තා ජනාධිපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බව ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගීතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වන ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා 2023 මැයි 24 වන දින නිකුත් කරන ලද ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) වාර්තාවේ විශ්වසනීයත්වය තහවුරු කරමින් වැඩිදුරටත් සඳහන් කළේ, එම වාර්තාව මහජන පරිහරණය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) වෙබ් අඩවියේ පළ කර තිබෙන බවයි.

එම වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් අදාළ දත්ත පිළිබඳ සත්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබියදී මාධ්‍ය කිහිපයක පළවී ඇති වාර්තා සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාවේ දත්ත පරස්පර විරෝධී වීම කනගාටුවට කරුණක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකික ජනගහණයෙන් 17%ක් එනම් ලක්ෂ 39ක් මධ්‍යස්ථව ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවයි.

පසුගිය වසරේ ජූනි/ජූලි මාස සමඟ සංසන්දනය කිරීමේ දී එය මේ වසරේ 40%ක අඩුවීමකි. මේ අතර දැඩි ආහාර අනාරක්ෂිත භාවයට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද 66,000ක සිට 10,000දක්වා අඩු වී තිබේ.

‍ආහාර සුරක්ෂිතතාවයේ මෙම දියුණුව ආහාර පරිභෝජනයේ වැඩිවීමක් ලෙස දැක්විය හැකි අතර, අස්වැන්න නෙළන කාලය තුළ කෘෂිකාර්මික ප්‍රජාව අතර අඩු ආහාර වියදම් සහ ඉහළ ආදායම මෙයට හේතු වී ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) සමීක්ෂණයේ අරමුණ වන්නේ ආහාර අනාරක්ෂිතභාවයේ ප්‍රමාණය හා බරපතළකම පිළිබඳ නිවැරදි හා සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් සැපයීම මගින් අවදානමට ලක්ව ඇති ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය තොරතුරු රජය සහ ජාත්‍යන්තර ප්‍රජාව වෙත සැපයීමයි.

ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම මගින් සම්පූර්ණ ආර්ථික වාතාවරණය සැලකිල්ලට ගනිමින් සාර්ව සහ ක්ෂුද්‍ර මට්ටම් දෙකෙහිම ආහාර සුරක්ෂිතතා තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණය කරයි. එම විශ්ලේෂණයට කෘෂිකාර්මික නිෂ්පාදන, වෙළෙඳපොළ තත්ත්වයන්, ඉල්ලුම් – සැපයුම් ගතිකතාවයන් ඇතුළත් ජාතික ධාන්‍ය/ප්‍රධාන ආහාර ශේෂ පත්‍රයක් (NFBS) සකස් කිරීම සහ ඉදිරි අලෙවිකරණ වර්ෂයේදී ප්‍රධාන ආහාර ආනයනය සඳහා අවශ්‍ය කරන එහෙත් සපුරා නොමැති ඇස්තමේන්තු සකස් කිරීම ඇතුළත් වන බව ද ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...