රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW :
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාර සම්බන්ධයෙන් කොළඹ අගරදගුරුතුමාට කිසි විටෙකත් පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දී නොතිබූ අතර, අප්රේල් 21 වන දින උදෑසන කොළඹ බිෂොප් මන්දිරයේ පෞද්ගලික දේව මෙහෙයක් පැවැත්වීමෙන් පසු ඇති වූ කලබලය පිළිබඳව ඔහුට දැනුම් දුන් බව කාදිනල් රංජිත් පියතුමාගේ ප්රකාශක සිරිල් ගාමිණී ප්රනාන්දු පියතුමා අද (17) පැවසීය.
“ප්රහාරයට පෙර ඔහුට කිසි විටෙකත් ආරක්ෂාව ලබා දී නොතිබූ බැවින්, කාදිනල්තුමාට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විසින් දැනුම් දුන් බවට එල්ල වන චෝදනාව ද වැරදියි. පාස්කු ඉරිදා ප්රහාරයෙන් පසුව පමණක් ඔහුට ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ලබාදුන්නා, ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න මේ තනතුරුවලට පත් කරන්න කියලා කාදිනල් හිමිපාණන්වත් කතෝලික සභාවවත් කිසි දවසක ප්රකාශ කරලා නැහැ. ඊබ්රහීම් ට ඇප දුන්නේ අධිකරණය. ඇප දුන්නා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඔහුව නිදොස් කොට නිදහස් කළා කියලා. ඒ නඩුව තාම යනවා. ඒ වගේම ඔය කියන දේපොළ ඊබ්රහීම් නානාගේ දේපොළ නෙමෙයි. මේ දේපොළ ඊබ්රහීම් නානාගේ සහෝදරයෙකුගේ දේපොළ. ඒ නිසා ඒක අධිකරණයෙන් තමයි ඉල්ලීම කළේ ඒ දේපොළ නිදහස් කරන්න කියලා. එතකොට අධිකරණය තමයි නිදහස් කළේ. අත්අඩංගුවට ගන්න එපා කියලා ගෝඨාභය මහත්තයා අධිකරණයට පෙත්සමක් භාරදීපු එක ඔහුගේ අයිතියක්. තීන්දුව ලැබෙනකම් අපිට බලන් ඉන්න වෙනවා.අසත්ය ප්රචාර සහ විවිධ මඩගැසීම්..මේ සියල්ලේම අරමුණ වෙලා තියෙන්නේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්රහාරයේ සත්ය හෙළිදරව් කරගනිමින් සැබෑ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා සිදුකෙරෙමින් පවතින විමර්ශනවලට බාධා කරමින් ඒවා කඩාකප්පල් කිරීමේ දුෂ්ට අරමුණින් බව හොඳින්ම පේන්න තියෙන කාරණයක්. එමනිසා සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙන කිසිම පදනමකින් තොර අසත්ය ප්රකාශයන්ට නොරැවටෙන ලෙස අපි මේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”ගාමිණී පියතුමා තවදුරටත් පැවසීය.
අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ කර තිබූ ප්රකාශයක් සම්බන්ධයෙන් මාධ්ය කළ විමසීමකදී කොළඹ අගරදගුරු පදවියේ මාධ්ය ප්රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා අද (17) ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.


