වසර පහකට පෙර හදිසියේ ම ඉසුරු චාමර සෝමවීරගේ මුහුණුපොතේ මෙලෙස සටහනක් පළ වී තිබෙනු දැක වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමක් දැනුණා.
‘මගේ තාත්තාගෙ හදිසි අභාවය ගැන කාටවත් දැන්නුවේ නැහැ. ආරංචියට ආව, ශෝකය විවිධ අයුරින් බෙදා ගත්ත, සහයෝගය දුන්න, අසීරු මොහොතක හයිය වෙච්චි හැමොටම පිං.’
ඉසුරුගේ තාත්තා හදිසියේ ජීවිතයෙන් සමුගැනීම මිය ගිය පුද්ගලයා කළුද සුදුද යන්න පවා නොදන්නා, වෙනත් දීපංකරයක පුද්ගලයෙක්ගේ හිත පාරවන්නේ ඇයි කියන කාරණය මම යළි යළිත් කල්පනා කළා.
මුහුණුවරෙන් නොදන්නා නමුත් ඉසුරු චාමර සෝමවීරගේ කවි ඇතුළේ ඒ තාත්තා හැංගිලා හිටියා. ඔහු රොබින්හුඩ් කතා මාලාවේ ‘හර්න්’ වගේ ඉසුරුගේ කවි ඇතුළේ වරින් වර පෙනී නොපෙනී යනවා. මම ඒ තාත්තාව මුලින් ම දැක්කේ ඔහු 2011 වසරේ පල කරපු ‘තාණ්ඩව’ නම් කාව්‍ය සංග්‍රහයේ එන ‘පොඩි එකා’ කියන කවි පංතියෙන්. ඒ කවිය තුළ ඔහුගේ මුහුණ කිසිසේත්ම දක්නට නැහැ. එසේ වුවත් ඉසුරුගේ තාත්තාගේ ආස්ථානය සමස්ත කවිය ම වෙලාගත් මහා සෙවණැල්ලක් මෙන් නැගී සිටියා.
- පොඩි එකා | තාණ්ඩව
වමනෙ ගිය
උණ රහට මඟ කඩේකින්
කහට තේ බිව්
ඉවරයක් නැති
දිගම දිග ඒ
බස් ගමන
තාත්තා හොයන්නට
අම්මත් එක්ක
බූස්සට ගිය
ලෑටි ගෑ අඹ ගැටය
කොල්ලෝ උදුරන් යද්දි
උන්ට පාඩම් උගන්නන්නට
තාත්ත නැති නිසා
තොල විකා
ඉකිය හිර කරගත්
කිසිදාක පේන්නට නාඬන
අම්මා හොරෙන් අඬන බව දැක
නො නිදා නිදි වගේ
කොට්ටය විකා ඇඬු
ගඟේ රැළි බිඳෙන හැටි
ඉද්ද මල් පිපෙන හැටි
තරු කඩා වැටෙන හැටි
තට්ට තනියෙන් බලපු
කොච්චර එළෙව්වත් නොයන
ඒ කළු කෙසඟ, ඇට්ටර, පොඩි එකා
ඉන්නවා තවමත්
ඌ මහ රෑට ඇහැරිලා
තනියෙන් අඬනවා ඉඳහිට
මගේ කොට්ටෙ තෙමෙනවා
බූස්ස සහ එළියකන්ද ගැන පොත් පත්තරවලින් පමණක් කියවපු, වවුල්කැළේට සැතපුම් කීපයක් මෙපිටින් ජීවත් වන මේ කවිය කියවන සියනෑ පුත්‍රයෙක්ට ඉසුරු සහ අම්මා එදා යනවිට ඒ කියන තාත්තා බූස්සේ කඳවුරේ හිටියා ද කියන කුතුහලය උපදිනවා. ඒ අතරතුර ඉසුරු චාමර 2013 වසරේ දී තමන්ගේ ‘මලක් කතා කරයි’ නම් කෙටිකතා සංග්‍රහය නිකුත් කරනවා.
‘ඒ කාලෙ ගඟේ මිනී යන කාලෙ…..මම දැක්කා මිනියක් ගං ඉවුරට ගොඩගහලා කබරයි තුන් දෙනෙක් වට වෙලා ඒක කනවා. මට කබරයි දිහා බලන් ඉන්න හිතුණා මිසක් දුකක් බයක් දැනුණෙ නෑ. මට දුක දැනුණෙ පොඩි පොඩි දේවලට මිසක් ලොකු ලොකු දේවලට නෙමේ. සීනියාස් පැළයක් ගොළුබෙල්ලො කාලා තිබුණොත් මට ඇඬුණා’
- මගේ මාලුවා : මලක් කතා කරයි –
අවසානයේ දී කවියාගේ අබිරහස් තාත්තා පිළිබඳ පාඨකයාගේ දැවෙන කුහුලට පිළිතුරු සපයමින් ඉසුරු චාමර සෝමවීර 2015 වසරේ දී මංජුල වෙඩිවර්ධන සමග jdslanka.org වෙබ් අඩවියට සාකච්ඡාවක් ලබා දුන්නා. ඔහු එක තැනක මෙහෙම සඳහන් කළා.
‘මට සුන්දර හීල්හෙවණේ වැඩෙන ළමා කාලයක් තිබුණෙ නැහැ. පොඩි කාලෙ එක දිගට සිදුවුණු සිදුවීම් වැලක් දිහා මම බලාගෙන හිටියා. මට කියන්න දේවල් බොහෝ තිබුණා. අහන්න අප්‍රමාණ ප්‍රශ්න තිබුණා. මගෙ ළමාකාලෙන් වැඩි හරියක් ගෙවුණෙ මගෙ අම්මගෙ මහගෙදර. මගෙ නෑදෑ සහෝදරයො හුඟ දෙනෙක් පැහැපත්.මම කළුයි. එයාල සුදු පුත්තු වෙද්දි මම නිකම්ම නිකන් පුතා වුණා. නැත්තන් පොඩි එකා වුණා. තව…. අපේ අම්මට ආර්ථික ප්‍රශ්න තිබුණා. තාත්තව හොයන්න අපි කඳවුරක් කඳවුරක් ගානෙ ගියා. ඔය 89, 90 කාලෙ. මගෙ පන්තියෙ, මගෙ අවට හිටපු යාළුවන්ට වඩා මගෙ ජීවිතේ තිබුණෙ වෙනස් විදියට. මට මේවා ගැන කතා කරන්න කෙනෙක් හිටිය නෑ. මම තෝරගත්තෙ ලියන එක. ලිවීම මාව බේර ගත්තා කියලා මම හිතනවා. ඒත් ඒ ලිව්ව දේවල් ගොඩක් වෙලාවට මම ලිපට දැම්මා. මොකෝ එව්වා කවුරුවත් කියවනවට මම කැමති වුණේ නැහැ. ඒත් ඒ ලිවීම හරහා මට ලොකූ සහනයක් ලැබුණා.’
ඒ සාකච්ඡාව තුළ ‘ලිවීම මාව බේර ගත්තා කියලා මම හිතනවා’ යනුවෙන් ප්රතිරාව නංවන ඉසුරු තාත්තා අහිමිව සොයන්නට යෑමේ වේදනාව සහ අන්ධකාරය වචනයෙන් විස්තර නොකරම පාඨකයාව ප්‍රපාතයකින් පහළට තල්ලු කරනවා.
ඉන්පසු 2016 වසරේ දී ‘අප දෙදෙන මැද මහ මුහුද’ නම් කාව්‍ය සංග්‍රහය එළිදක්වන ඔහු ‘මගේ අම්මා’ නම් කිසිදු පූර්ව නිර්මිත හැඩතලයකට අසමාන කවියකින් අම්මාව විස්තර කරන අතරවාරයේ මීදුම අතරින් මතුවන සෙවණැල්ලක් සේ වරින්වර අප හමුවේ සැඟව යන තාත්තාව සිහිපත් කරන්නට අමතක කරන්නේ ද නැහැ. ඉසුරු ! ඔබගේ ජීවිතයේ උර දරා සිටින කුරුසිය වන්නේ අම්මා නොව තාත්තා ම බව අපට තවදුරටත් පැහැදිලි කළ යුතු නැත.
- මගේ අම්මා | අප දෙදෙන මැද මහ මුහුද
“ඉඳිකඩ ළඟ ඉඳන්
මග බලන
පැලක් නැති හේනක
අකල් වැසි වැටෙද්දී
තුරුළු කර පුතු රකින
තම්බා බතල දළු
ලුණු දියර ඉස කවන
දුම්මල ගලට යන
වඳුරඹින් කොපි පොත් ගේන ”
ඒ මගේ අම්මා නොවේ
මතකයි,
කුඩා මා අතින් ගෙන
ඇවිද ගිය හැටි ඔබ
තොටළඟ වීදි වල
මඩ කඩිති තුළ ඇඳි
දේදුණු පෙන්වමින්
සිරි සිරි පොදේ තෙමෙමින්
තාත්තා හොයන්නට
බූස්සට ගිය දවස් වල
බස් එකේ මඟ දිගට
කියා දුන්නා ඔබ
වෘකයා පැරද වූ
රතු හැට්ට කාරිය ගැන
වීසි කර කුඩා මා ගඟ දියට
“ඉතිං පීනා වර “, කියා
ගිලෙද්දී අතින් ඇද
මහ හඬින් හිනැහිලා
පහුවදා ආයෙමත් ඔබ
ගඟ දියට මා විසි කළා
ගුටි කා, තොල පැලී, ඉදිමී
මා ගෙදර ආ පෙර දිනෙක
නොගෙන ඔබෙ ඔය තුරුළට
තනියෙන්ම අඬන්නට ඉඩ හැර
ජෝතිගේ සිංදු ඇහුවා ඔබ පාඩුවේ
කිසිවක් නුදුටු විලසට
සායට රිබන් අල්ලන
“තරුණි” පත්තර බලා
මල් මෝස්තර හොයන
සුදු කෙස් කළු කරන
අම්මා ඔබයි මගෙ
කිසිදාක සාරි නොඅඳින
අමතකව ගිය ඇන්ජිගේ ගීයක
තනුව තාමත් මුමුණන
උපැසින් බලා හෙමිහිට
රිබන් එම්බ්‍රොයිඩරි කරන
පොළට ගොස් කේවල් කරන
හවස තේකට පැටිස් සාදන
මල් වවන, ඉරිදා පත්තර බලන
මගේ අම්මා ඔබයි
මා ලියන කවි නොකියවන
දුරින් හිඳ මඳහස නගන
මේ සියලුම කියැවීම් මැද ඉසුරුත් සමඟ කතාබස් කරන්නට ඉඩක් හසරක් හමු වූ විට මෙතෙක් සිතේ පිටාර යන්නට ඔන්න මෙන්න තිබූ ප්‍රශ්න සියල්ලම ඔහු ඉදිරියේ ගොඩ ගසන පාඨකයා ට තම තාත්තා ගැන අත්දැකීම උපේක්ෂාවෙන් විස්තර කරන්නට ඉසුරු පැකිළුණේ නැහැ. 88-89 භීම සමයේ දී අතුරුදන් වුණු තාත්තා සොයන්නට අම්මාගේ සාරි පොටේ එල්ලී යන කළුඅග්ගල ජෝන් බොස්කෝ විදුහලේ කුඩා සිසුවෙක්ගේ විඩාබර මුහුණ මට මැවිලා පේනවා. මේ හේතුව නිසා හුඟක් දවසට ඒ ශිෂ්‍යාගේ ඩෙස්ක් බංකුව හිස්ව පැවති බවත් , අවුරුදු පහක් යනතුරු ම පියා සොයමින් ගිය ගමන නිම නොවූ බවත් පැවසූ ඉසුරු හදිසියේ ම වසර පහකට පසු පියා නිවසට පැමිණීමේ විස්මයජනක පුවත සාවධානව පැවසුවා. ඉනික්බිතිව සියල්ලෝම සතුටින් විසිර යන තාලයෙන් කතාවක් ඉවර වෙනවා නම් එහෙම වෙන්නේ දයාරත්න රටගෙදර අධ්‍යක්ෂණය කරපු ‘සිත නිවන කතා’ නාට්‍ය මාලාවේ තිබුණු කතාවල විතරමයි. එතෙක් කාලයක් කුඩා සිසුවෙක්ගේ හිතට ලොකු බලපෑමක් ඇති කරමින් අතුරුදන් වුණු තාත්තා වසර පහකින් පස්සේ ආපසු හමු වුණත් ඒ ආගමනය මුල් කාලයේ දී තමන්ට මහත් ආගන්තුක හැඟීමක් ඇති කළ බව ඔහු පැවසුවා. ඒ හැඟීම කෙබඳු එකක්දැයි අදටත් මට වැටහෙන්නේ නැහැ. නමුත් එය මුහුණ දීමට අසීරු අත්දැකීමක් බව මට තේරුම්ගත හැකියි.
පසුකාලීනව, ඒ කියන්නේ තාත්තාගේ මරණයට මාස දෙකකට උඩ දී විනෝදජනක සටහනක් ලියන ඉසුරු, ඔහුගේ වීරක්‍රියා මෙසේ සිනහවකට මුසු කළා.
‘බියුටි කචල් බෝතල් කුප්පි සහ වෙනත් එවැනි දේ ඉතා පරිස්සමින් ස්ථානගත කළ යුතුය. අපේ තාත්තා hair conditioner මූණේ ගා මුණ හෝදයි. After shave සුවඳ විලවුන් ලෙස තවරයි. මේ ලඟදි සිට ගෙදර උදවිය mouth wash බෝතලය hand sanitiser ලෙස ඉවර කිරීමට පටන් ගෙන ඇත. තව මොනවා කොහොම පාවිච්චි කරනවාදැයි නොදනිමි. සමහර බෝතල් කුප්පි හිටි හැටියේ ඉවර වෙයි’
මෙතෙක් කල් පොදු නිර්මාණ අනුභූතියක්ව සිටි ඉසුරු චාමරගේ තාත්තා එක්වරම ‘අපේ තාත්තා’ යනුවෙන් හඳුන්වා ඉසුරු විසින් ඔහුගේ අයිතිය තහවුරු කිරීමට ගත් උත්සාහය ගැන පෙර කී පාඨකයා කිපුණේය. නමුත් ඔහු එය ඉවසා වෙනත් ප්‍රතිචාරයක් යොදා ඉසුරු චාමරට හිතින් බැණ බැණ සිටියේ ය. ‘අපේ තාත්තා’ හහ් !
ඉන් පසු ගෙවුණු ඉතා කාර්‍ය්බහුල දෙමසක කාලයකට පසු එක් සිකුරාදා දිනෙක හවස වැඩ ඇරී කාර්යාලයෙන් එළියට බසින පාඨකයා ඉසුරු චාමර සෝමවීර ‘මගේ තාත්තාගෙ හදිසි අභාවය’ යනුවෙන් ලියූ සටහන කියවා කම්පනයට පත් විය. ඔහු ඉසුරුගේ තාත්තා ඉසුරුට ම හිමි බව පවසන්නට යුනිකෝඩ් වලින් මාගලක් ම ලියා පරාජය භාර ගත්තේ ය.
ඉසුරුගේ තාත්තාගේ කතාව ඔළුව ඇතුළේ නින්නාද දෙන අතරේ මට ආචාර්ය රෝහණ වීරසිංහ ගයන ‘නැති බැරි මොහොතක පිහිටට එන්නේ – මවුනි පියාණෙනි ඔබ පමණයි’ සිංදුව මතක් වෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඒ ගීයේ අවසාන අන්තරා කොටසේ මෙහෙම ලියනවා.
අපේ නමට ඇස කඳුලු උනන්නේ
ඔබට පමණි මේ සිතිජ වළල්ලේ
සැබෑ පෙමක් සෙනෙහසක් ලබන්නේ
ඔබේ උතුම් නිය රැස් ගඟුලැල්ලේ
සමස්ත ගීතයේ ම තිබෙන භාවතිෂ්ය බව අමතක කරවන ‘අපේ නමට ඇස කඳුලු උනන්නේ – ඔබට පමණි මේ සිතිජ වළල්ලේ’ පදය ශෝකී රසයක් සහ තනිකමක් එක්ක හිත සිතිවිලි ගබඩාවක හිර කරනවා. ඇතුළේ නොයෙක් මතක සටහන් පොදි වුණු එතනින් සදාකාලික ගැලවීමක් නැහැ.
මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ඇයගේ ‘ඔබ ගැඹුරු නින්දක’ කවි පොතේ පෙරවදනේ එක් තැනක මෙහෙම ලියනවා.
‘ගිනියම් තාර පාරක, නිලන ගහකොළ අතර, දාහය නිවන සුළඟක මුසුව තාත්තා සිටින බව ද ඔහු පොරොන්දු වූ පණිවුඩය කිසිදාක නොඑව්වේ ඒ නිසා බව ද මටම කියා ගනිමි’
ඉසුරි උදානි කරුණාතිලක ලියූ ‘සිංහයාගේ දියණිය’ කවි පංතිය බොහෝ දෙනෙක්ගේ ඇගයුමට සහ පැසසුමට ලක් වුණා. ඒ කවියේ අවසාන පද පේළි දෙක , ඇස් බොඳ නොවී කියවීම ඉතා ම දුෂ්කර ව්‍යායාමයක්.
‘තාත්තේ මම සිංහ සීවලී වුණා නම්
නාටකේ අග වෙනස් කරනවා
තාත්තට මියෙන්නට නොදී එසැණින් ඇවිත්
ඊ හිසට පපුව පා මැරෙනවා
සිංහබා බලද්දී වැටුණු කඳුලක දෙකක
තාත්තේ මං ඔබව සොයනවා
එදාටත් වඩා අද ඔබෙ උරිස්සේ සුවය
නැති අඩුව මට තදින් දැනෙනවා’
චතුරි දමයන්ති ලියූ ‘දුර බැහැර සිට පැමිණි තාත්තා’ කවි පංතිය කීයෙන් කී දෙනෙක් කියවලා ඇති ද කියලා දන්නේ නැහැ. නමුත් ඒ කවිය ආරම්භයේ ම ඉන්න තාත්තා දැක්කාට පස්සේ වෙන කිසි ම දෙයක් අවශ්‍ය නැහැ. මොකටද ?
‘අන්න අර මහ කන්ද නැගලා
ඕළු මානෙල් විලක් තනලා
විලේ සුවඳත් එතැන තියලා
තාත්තා හෙමි හෙමින් ආවා’
සමාධි සේනානායක ‘කිරල බිත්තර සුසුම් හෙළමින් නියර අද්දර නිදනවා ඇති’ කියලා ආරම්භ කරන කවි පංතිය තාත්තා කෙනෙක් එහා ලෝකයේ ඉඳන් පවා දරුවන්ට හොඳම දේ දෙන්න උත්සාහ කරන ආකාරය විස්තර කරලා හිතේ ලොකු බරක් තැන්පත් කරනවා.
‘පාන්දරකට තෙමුණු වැස්සෙන්
කෙසඟ නඟුලට රිදෙනවා ඇති
ඉරි තැළුණු නළලතින් වෙන් වූ
වැවක දා බිඳු ගිලෙනවා ඇති
ඇද ගැහුණු කෙවිටකින් කඳුළක්
අවේලාවෙත් වැටෙනවා ඇති
තාත්තගෙ අළු හැළුණු තැන්වල
හොඳම මා වී හැදෙනවා ඇති’
වයස අවුරුදු අටේ දී තම ඇස් ඉදිරිපිට ම පියා ඝාතනය කරනු දුටු යශෝදරා සිරිමාවෝ කුමාරතුංග 1994 වසරේ දී ‘A Butterfly’s Wise Words & other Poems’ නමින් කාව්‍ය සංග්‍රහයක් පළ කළාය. එවකට දහ හතර හැවිරිදි වූ යශෝදරා තම කාව්‍ය සංග්‍රහයේ පිදුම මෙලෙස සටහන් කර තිබිණ.
To my beloved Thaththi
with love in the hope that the blood which flowed so vainly from your beautiful face would mingle with the earth of my land, to give forth the blossoms of Peace & Brotherhood for which you fought so passionately.
‘ඔබේ ලස්සන මුහුණෙන් එසේ නිරර්ථක ව ගලාගිය ලෙය, ඔබ එතරම් බලවත් හැඟීමෙන් කළ සටනේ අරමුණ වූ සාමයේ සහ සහෝදරත්වයේ මල් පුබුදුවනු සඳහා මගේ රටේ පසට මුසු වේවා යන පැතුමෙන් මගේ ආදරණීය තාත්තාට … ‘
කාංචනා අමිලානි කරුණාමුනි ‘තාත්තා බලන්න නොයාම ලොකු වැරැද්දකි’ කියලා ආරම්භ කරන කවි පංතිය , කියවන අපිට සිදු කරන්නේ බරපතල වැරැද්දක්. හිතෙන් අමතක කරන්න බැරි දේවල් හිතට ඔබ්බවන එක ම විශාල වැරැද්දක්.
‘ඔබ නිදන හැටි
බලන්නට මා නො එමි
අවසන් වරට මා ඔබ හැරලූ
පාලු තැනකට
පස් කඳු යටක බොහෝ කරදර ඇති
මල් නෙළන අය ඔබට රිදවනවා ඇති
අහඹු වැහි ඔබව තෙමනවා ඇති
මා,
ඔබ බලන්නට නො එමි
අපි මේ විදිහට ම
මතක තියාගමු
අපේ මතකය
කලු ගලක් මෙන් බරට’
මේ සියලුම මතක පද අතරින් එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ‘කැරකෙන රෝදේ – පුංචි කරත්තේ’ ගීතයේ දෙවැනි අන්තරා කොටස ඈතින් ඇහෙන්න ගන්නවා.
‘කිරිකැටි දෙඅතේ සවිබල දියැවේ
පමා වුනොත් අප මහමග තනිවේ
අම්මා මග ඇති නෙත් හරවාගෙන
තල්ලු කරන් පුතුනේ’
ඔබගේ මුළු ජීවිත කාලය පුරා ම , මේ මොහොතේ දී පවා නෙත් හරවාගෙන අම්මා බලා සිටින බව අමතක කළ යුතු නැත.
අනූව දසකයේ දී රුචිරා සුරංගි ද අල්විස් නම් දැරිය විසින් පුවත්පතට ලියූ ‘දුවකගේ කඳුළු’ නම් ප්‍රකට තීරු ලිපි මාලාව එනමින් ම පසුකාලීනව පොතක් ලෙස මුද්‍රණය කෙරුණා. ‘සුරංගීට දුක සිතුණා – යටි තොළ කණපිට හැරුණා’ යනුවෙන් සුරංගීට කරාබුවක් පැළඳූ දිනය පිළිබඳ ආඩම්බර සතුටකින් ගී පද ලියූ ඇයගේ පියා ප්‍රේමකීර්ති ද අල්විස් ඇය වෙත ලියූ පද වැලක් ඒ ‘දුවකගේ කඳුළු’ කෘතියේ පිට කවරයේ වැතිරිලා තියෙනවා.
‘ඔබ
යුවතියක් වන දින
මම පස් ගොඩක් පමණි
දුවේ එය පාගන්න’
සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාට්‍යයේ පීතෘදාරක ස්නේහයෙන් වැලපෙන ආදරණීය තාත්තා; භාවතිෂ්ය නොවන සංවාදයකට මුණ ගැසිය හැක්කේ කොතනදැයි යමෙක් විමසන්නේ නම් මම පෙන්වන්නේ ඉහත සඳහන් ප්‍රේමකීර්තිගේ කෙටි කවියයි.
~ සහන් කසීර වික්‍රමසිංහ


