*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

සජබ සහ ජවිපෙ කරන්නේ පීඩිත ජන මනැසට ලන්සු තැබීමක් පමණක් ද?

ආණ්ඩුවට තව දුරටත් රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය. ඒ ඊයේ(03)විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.වත්මන් දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම වෙනුවෙන් විපක්ෂය විසින් ජනතා අරගලය ආරම්භ කරන බවත් ඒ වෙනුවෙන් පක්ෂ පාට භේද අමතක කොට පෙරට පැමිණෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ය.

මේ රට නැවත ගොඩනැඟීම වෙනුවෙන් අවම වශයෙන් වසර පහක කාලයක් ගතවන බවත් ඉන් මෙහා මේ රට ගොඩනඟන බවට කියන කතා නිශ්ඵල බවත් මාස පහකින් මේ රටේ පවත්නා ප්‍රශ්න ක්ෂණිකව විසඳිය නොහැකි බවත් කී විපක්ෂ නායකවරයාවරයා තවදුරටත් මේ රටේ ජනතාව රැවැට්ටීමට හෝ ඇන්දවීමට කවුරුන් හෝ කටයුතු කරනවා නම් එය අවාසනාවන්ත තත්ත්වයක් බව ද කීය.

විපක්ෂ නායක වරයා සේම සැවොම දන්නා අන්දමට ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින්නේ බංකොලොත් රාජ්‍යයක් ලෙසිනි. ලෝකය අපව බංකොලොත් රාජ්‍යයක් ලෙස හැදින්වීමට පටන් ගත්තේ ජාත්‍යන්තර ණය නොගෙවීමට ගත් තීරණයත් සමඟ ය. ණය ගෙවීම නවතා දැමීමට ගත් තීන්දුවත් සමඟ ඇමරිකානු මූල්‍ය ආයතනයක් ලංකාවට හා රාජපක්ෂවරුන්ට විරුද්ධව පවා නඩුවක් එරට අධිකරණය හමුවේ ගොනු කර තිබේ.එමෙන්ම එතෙර මෙතෙර බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ ද මෙම ජාතික ඛේදවාචකයේ කේන්ද්‍රීය සාධකය රාජපක්ෂ පවුල් දේශපාලනය බවකි.

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක්ය යන මතය ලෝකයට යාමත් සමඟ අපේ බැංකු විවෘත කරන ණයවර ලිපි පිළිගැනීමට ලෝකයේ අනෙකුත් මූල්‍යායතන හා බැංකු අකමැත්ත පළ කර තිබේ. එම නිසා ලංකාවට භාණ්ඩ ආනයනය පවා ගැටළු සහගත වී ඇත. ඉන්ධන ආනයනය පවා බරපතල තත්ත්වයකට පත්ව ඇත්තේ මෙම කාරණය හේතුවෙනි.

දැන් සති දෙකක් තිස්සේ රට තුළ දැඩි ඉන්ධන අර්බුදයක් උද්ගතව තිබේ. මේ නිසා රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාලව පවතියි. මේ සියළු අර්බුදයන්ට ආසන්නතම හේතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගත් අමනෝඥ ක්‍රියාවන් බව පැහැදිලි ය. ඔවුන් කෝවිඩ් වසංගතය හමුවේ එන්නත් ආනයනය කිරීම වෙනුවෙන් නිසි වේලාවේ ඇනවුම් කළේ නැත.රජය කොවිඩ් වසංගතය පිටුදැකීමට විසඳුම් පැතුවේ “මේසන් බාස්” ලාගෙනි.ධම්මික බණ්ඩාර යන ව්‍යාජ නමකින් පෙනී සිටි කුට්ටි අප්පු කංකානමලාගේ ධනපාල නමැත්තකුට ඔහුගේ ඔල්මාද වට්ටෝරුවකට අනුව කොවිඩ් පැණියක් නිපදවීමට රාජ්‍යානුග්‍රහය පවා හිමි විය.හිටපු කර්මාන්ත ඇමති විමල් වීරවංශ ඒ මේසන් බාස්ට කොවිඩ් පැණි සෑදීමට ජනතා බදු මුදල් වලින් යන්ත්‍රයක් පවා සැපයීය. එවන් විකට විකාරාදිය නිසා එක් එන්නතක් වෙනුවෙන් පමණක් ඩොලර් 5 ත් 10 ත් අතර මුදලක් වැඩිපුර ගෙවන්නට රජයට සිදුවිය.

දෙවෙනි කාරණය ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව පාවෙන්නට ඉඩ නොදීම ය. එම නිසා ඩොලරය එකම අගයක පවත්වාගෙන යාම වෙනුවෙන් මහ බැංකුවට ඩොලර් සහ රත්‍රන් වෙළෙද පොලට නිකුත් කිරීමට සිදුවිය. කෝවිඩ් නිසා රටේ ප්‍රධාන ඩොලර් ආදායම් මාර්ග වන සංචාරකයන්ගේ පැමිණීම, විදෙස් ශ්‍රමිකයන් එවන මුදල් එවීම නතර විණි. එම නිසා රටට මාසිකව සාමාන්‍යයන් එන ඩොලර් මිලියන 500 ක 600 ක පමණ මුදලක් නතරවී ගියේ ය.

ඩොලරය එකම අගයක පවත්වාගෙන යාමට මහ බැංකුව කටයුතු කළ නිසා ඩොලර් වෙනුවෙන් කලු කඩයක් නිර්මාණය විය.මහබැංකුව ඩොලරයකට රුපියල් 203 ක් ගෙවද්දී කලු කඩය ඩොලරයකට රුපියල් 250 ක් ගෙව්වේය. එම නිසා විදෙස්ගත ශ්‍රමිකයෝ බැංකු හරහා රටට මුදල් එවනවා වෙනුවට කලු කඩය හරහා මුදල් එවීමට පුරුදු වූහ.

කඩා වැටුණු ආර්ථිකය ඉදිරියට එද්දී දේශපාලන අර්බුදයක් ද උද්ගත විය. ඉන්ධන පෝලිම් රටපුරා නිර්මාණය වන්නට විය. ගෑස් පෝලිම් ඇතිවිය. දිනකට පැය ගණන් විදුලිය කපන තත්ත්වයට රට පත්විය. මැයි 09 දා අරලියගහ මන්දිර සිද්ධියත් සමඟ ඇතිවූ ගැටුමත් සමඟ එය පුපුරා ගියේය. අගමැතිවරයා ඉල්ලා අස්වී රට අස්ථාවර වෙද්දී ජනාධිපතිවරයා අගමැති ධූරය බාර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන අයගෙන් ඉල්ලා සිටියේය.

ආර්ථික අර්බුදයේ දිග පළල දන්නා ඔවුන් එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළේ ජනාධිපතිධූරයේ ගෝඨාභය රාජපක්ෂ සිටින තුරු අගමැතිධූරය බාර නොගන්නා බව කියමිනි. අවසානයේ මහ බැංකු අධිපතිවරයා පවා කීවේ වහාම ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන ලෙසය. නැතහොත් ඔහු ඉල්ලා අස්වන බව ද කියා සිිටියේය. ඒ අනුව අගමැතිධූරය රනිල් වික්‍රමසිංහ බාර ගත්තේය.එහි දී ඔහු කීයේ මරණයට කැප වූ දරුවකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා තම දිවි කැප කළ “හුනු වටයේ කතාවේ” ගෲෂා මෙන් තමන් මෙලෙස ඉදිරිපත් වූ බවකි.මේ තත්වය තුළ මේ වන විට ඔහුගේ දේශපාලන ජීවිතය ද ප්‍රබල අවදානමකට ලක් ව තිබේ.

ඒ සමඟම ඔහු අර්බුදයේ දිග පළල හා ගැඹුර රටට හෙළිදරව් කළේය. ඉදිරිය ඉතා අමාරු බව රටට කීවේය. ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ගැන කීවේය. අගමැතිවරයා ඉන්ධන හිඟයක් ගැන කියද්දී බලශක්ති ඇමති කාංචන විජේසේකර කීවේ තෙල් නැව් කිහිපයක් පැමිණෙන නිසා ඉන්ධන අර්බුදයක් මතු නොවනු ඇති බවයි. ඔහු යළිත් රාජපක්ෂවරු ඉදිරියට ගෙනාවේය. බලශක්ති අමාත්‍යාංශයේ සාකච්ඡාවලට නාමල් රාජපක්ෂ ද එක්කර ගත්තේය. බලශක්ති ඇමති වරයා මෑතක කළ කටාර් සංචාරය එහි නාමල් රාජපක්ෂ සතු ඉන්ධන සමාගමකින් ඉන්ධන ගෙන ඒමට බවට ජන මතයක් සමාජ ගතව තිබේ.එසේ නම් එය අතිශය බරපතල කාරණයකි.රාජපක්ෂ “වරු” රාජපක්ෂ “හොරු” ලෙසින් සමාජ ගත විය යුතු බව පැවසෙන කතාව තව දුරටත් තහවුරු කරවන්නකි.

පවතින අර්බුදයත් සමඟ රට බාර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ද කියයි. පවතින පාර්ලිමේන්තුවෙන්ම තමන්ට අවශ්‍ය කැබිනට් මණ්ඩලය පත් කර ගන්නට දෙන්නේ නම් වත්මන් ජනාධිපතිවරයා යටතේ අගමැතිධූරය ඇතුළු ඇමතිකම් බාර ගැනීමට කැමති බව ද ඔහු කියයි.එහෙත් ඩොලර් අර්බුදයට විසදුම් සකස් කරන්නේ කෙසේදැයි ඔහු අදහසක් ඉදිරිපත් කළේ නැත. පවතින්නේ ඩොලර් අර්බුදයකි. එම නිසා රට ණය ගෙවීම අත්හිටුවා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණයක් දීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ. ජවිපෙ මුලින් කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මුදල් සොයා ගත යුතු බවකි.නමුත් එම මුදල් උපයන ක්‍රමය ගැන දැන් ඔව්හු නොකියති.

එය කෙසේ වෙතත් මාස හයක් තුළ ඉන්ධන, ගෑස්, කිරි පිටි ඇතුළු ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් පවතින ගැටළු විසඳන බව ඔහු කියයි. රාජපක්ෂවරු සිටින තුරු බැංකු හරහා මුදල් රටට එවන්නේ නැතැයි විදෙස් ගත ශ්‍රමික පිරිසක් ප්‍රකාශ කරමින් සිටිති. තමන් එවන මුදල් රාජපක්ෂවරුන් සොරකම් කරන බව ඔවුහු සඳහන් කරති. අනුර දිසානායක සොරෙකු නොවන නිසා ඔහු බලයට පැමිණියහොත් ඔවුන් මුදල් එවනු ඇත.එහෙත්,දැනට රටේ පවතින ආර්ථික අර්බුදය විසඳීමට එය පමණක් ප්‍රමාණවත් නැත. විදෙස්ගත ශ්‍රමිකයන් මාසයකට එවන සාමාන්‍ය ඩොලර් අගය ඩොලර් මිලියන 300 ත් 400 ත් අතර ගණනකි. මෙරට මාසික තෙල් බිල පමණක් ඩොලර් මිලියන 500 කි. තමන්ගේ උපරීම මුදල් ප්‍රමාණය එව්වත් ඔවුන්ට තවත් එවිය හැක්කේ ඩොලර් මිලියන 700 ක් පමණකි.

ඔවුන් ඩොලර් බිලියනක් එව්වා යැයි උපකල්පනයත් කළත් රටේ පවතින අර්බුදය විසඳීමට එය ප්‍රමාණවත් නොවේ. දැනට පවතින අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් රටට ඩොලර් බිලියන 4 ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය බව ආර්ථික විශේෂඥයෝ සඳහන් කරති. එම කාරණය සමඟි ජනබලවේග මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද මෑත කාලයේ ප්‍රකාශ කළේය.ජාතික ජන බලවේග මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය කීයේ මෙම අර්බුදය විසඳීමට අඩුම තරමින් වසර තුනක් වත් වැය වන බවකි.එසේ නම් රටේ ඩොලර් අර්බුදය විසදා ගැනීමට අවශ්‍ය පෝලිම් නැති කිරීම වැනි හදිසි කෙටි කාලීන විසඳුම් සඳහා අවශ්‍ය මෙම මුදල සොයා ගන්නේ කෙසේදැයි අනුර දිසානායක රටට හෙළිකළ යුතු ය. ඒ මන්ද මෙය ජනතාවගේ පීඩනයත් සමඟ සෙල්ලම් කිරීමට ඇති අවස්ථාවක් නොවන බැවිනි.

ඔහු එම වැඩපිළිවෙල ඉදිරිපත් නොකර මාස හයකින් විසදනවා යැයි කීම ප්‍රමාණවත් නොවේ. ඔහු රටට ඩොලර් එන වැඩපිළිවෙල කිව්වොත් ජනතාවට විශ්වාසයක් ඇතිවනු ඇත. නැති නම් එය තවත් “අන්දරේගේ ගල ඉස්සූ කතාව”ක් ම වනු ඇත.විපක්ෂයේ ප්‍රධන පක්ෂය වන සමගි ජනබලවේගය ද තමන්ට බලය දෙන ලෙස කියයි. නමුත් විපක්ෂ නායක සජිත් කියන්නේ ඔවුන්ට ඒ වෙනුවෙන් වසර පහක කාලයක් ගත වන බවකි. නමුදු වර්තමාන අර්බුදය සඳහා වන තමන් සතු කෙටි කාලීන විසඳුම් මොනවා දැයි ඔව්හු නොකියති.නමුත් විපක්ෂ නායක වරයා පසුගිය කාලයේ කියා සිටියේ තමන් බලයට පැමිණිය හොත් මැද පෙරදිගින් තෙල් සහනයක් ලබා ගත හැකි බව ය.එහෙත්, ඒ සහනය ගැන තබා අඩුම තරමින් ඒ රටවල් මොනවා දැයි වත් ඔහු කීයේ නැත.

මේ කතා කියමින් විපක්ෂ නායක වරයා නිතර තම පියා සිහි කළ ද ඔහුගේ මෙම කතා වලින් මෙරට බුද්ධිමත් ජනතාවට සිහිවනුයේ ඔහුගේ පියා වන ආර් ප්‍රේමදාසව නොවේ.එම්.එස් ප්‍රනාන්දු වය.මේ සියළු කරුණු මුල් කොට සමඟි ජන බලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට එක් කරුණක් පෙන්වා දෙනු කැමැත්තෙමි.එනම් සජබය සහ ජවිපෙ වත්මන් පීඩිත ජන මනැසට ලන්සු තැබීමෙන් ඔබ්බට ගොස් තමන්ට කළ හැකි යමක් ගැන ජනතාවට කිව යුතු බවකි.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan