*
Friday, April 19, 2024
spot_img

Latest Posts

මොකා ගියත් මම යන්නේ නෑ. යුක්රේනයට මාව අවශ්‍යයි නේ – එංගලන්ත ආණ්ඩුව පත්ලට කිඳා බසිද්දී බෝජෝ සිනාමුසු මුහුණින්!

එක්සත් රාජධානියේ මුදල් අමාත්‍ය චාන්සල් රිෂි සුනාක් සහ එරට සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් මීට සුළු මොහොතකට පෙර තම ධුරයන් ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

තම ඉල්ලා අස්වීම පිළිබඳ අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ, මෙය තමාගේ අවසාන අමාත්‍යංශ රැකියාව විය හැකි බවත්, බ්‍රිතාන්‍ය රජය නිසිපරිදි, බැරෑරුම්ව සහ දක්ෂ ලෙස ක්‍රියාකරනු දැකීම ජනතාවගේ අපේක්ෂාව බවත්, එසේ සිදුනොවන්නේ නම් තමා එහි තනතුරක් දැරීමේ ඵලක් නොවන බවත් ය.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ද තම ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ තවදුරටත් යහපත් හෘදසාක්ෂියක් ඇතිව මෙම තනතුර තමාට හෙබවිය නොහැකි බවයි.

එමෙන්ම එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කෙරේ ඇති අප්‍රසාදය ද හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. ඔහුට විරුද්ධව ගොනුකළ විශ්වාසභංගයට තම සගයන් විශාල ප්‍රමාණයක් සහාය පළකළ බවත් එය නිහතමානීව ගනු ලැබූ තීරණයක් බවත් සජිඩ් ජාවිඩ් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා පවසනවා. බොරිස් ජොන්සන් කෙරේ තිබූ විශ්වාසය ගිලිහී ගොස් ඇති බවත් ඔහු සඳහන් කරනවා.

එක්සත් රාජධානියේ පාලනාධිකාරියේ විශාල සාමාජිකයන් පිරිසකට එරට රජය පිළිබඳව තිබෙන්නේ විශාල කලකිරීමක්. බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ගේ අදූරදර්ශී පාලනය සහ අක්‍රමිකතා පිළිබඳව එරට විපක්ෂයෙන් පමණක් නොව පාලක පක්ෂය වන බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයෙන්ම විශාල විවේචන ගණනාවක් එල්ල වෙමින් තිබෙනවා.

මෙකී විවේචන සුළු පටු ඒවා නොවන අතර කුප්‍රකට පාර්ටිගේට් සිදුවීමේ සිට බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අක්‍රමිකතා සහ එරට ඉහළ යන උද්ධමනය හා ආර්ථික අර්බුදය හමුවේ රජය නිසි වැඩපිළිවෙලක් නොයෙදීම දක්වා මෙම චෝදනා දිව යනවා.

ලක්ෂ සංඛ්‍යාත බ්‍රිතාන්‍ය වැසියන් කොවිඩ් වසංගතය මධ්‍යයේ සහ ඉහළ යන ආර්ථික අර්බුද මධ්‍යයේ නිවසට කොටුවී සිටින විට කොවිඩ් විධිවිධාන අමු අමුවේ උල්ලංඝනය කරමින් නො. 10 ඩවුනිං වීදියේ මත්පැන් බොමින් විනෝද වෙමින් සාද පැවැත්වීම හෙවත් කුප්‍රකට පාර්ටිගේට් සිදුවීමට බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා වරදකරු වූ අයුරු ඔබට මතක ඇතැයි සිතනවා. එපමණක් නොවෙයි, තොරතුරු වසන් කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හිතාමතා නොමඟ හැරීම පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල වූවා.

ඒ සියල්ල එසේ තිබියදී, තම පක්ෂයේ ඇතැම් පුද්ගලයන්ගේ අක්‍රමිකතා ආරක්ෂා කළ බවට ද ඔහුට චෝදනා එල්ලවනවා. මින් බරපතලම චෝදනාවක් වන්නේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස් පින්චර්ට එරෙහිව ගොනුවී ඇති ලිංගික අඩත්තේට්ටම් චෝදනා පිළිබඳව දැන දැනම ඔහුට උසස් වීම් ලබා දීමයි. මීට සතියකට ඉහත අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් පවසා සිටියේ පින්චර්ට එරෙහිව ගොනුවී ඇති චෝදනා පිළිබඳව බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා කිසිවක් දැන නොසිටි බවයි. එහෙත් ඊයේ (04) දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක් හරහා මේ පිළිබඳව බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා දැන සිටි බව පිළිගෙන තිබෙනවා. දිව දෙකේ ප්‍රකාශ කරන සහ ඇඟ හිරිවට්ටාගෙන හැඟීම් දැනීම් කිසිවක් නැත්තාක් මෙන් රෑ කළ ප්‍රකාශය දවල් වෙනස් කරන තක්කඩි දක්ෂිණාංශික දේශපාලන චර්යාව මනාව ප්‍රගුණ කළ පුද්ගලයකු වන බොරිස් ජොන්සන් ට මෙය අමුතු දෙයක් නොවෙයි. මේ කී දෑ මේ වෙනස් කරන ප්‍රකාශ ඔහු විසින් සිදුකළ පළමු අවස්ථාව ද මෙය නොවෙයි!

කන්සර්වේටිව් කඩා වැටීම…

පාර්ටිගේට් ජරමරය සමඟ උත්සන්න වූ දේශපාලන අස්ථාවරභාවය හමුවේ එක්සත් රාජධානියේ රජයේ නිලධාරීන් රැසක් තම ධුරයෙන් සමුගනු ලැබුවා. එසේ තනතුරු වලින් සමුගත් රජයේ නිලධාරීන් ලැයිස්තුවට අලුතින්ම එකතු වන්නේ රිෂි සුනාක් සහ සජිඩ් ජාවිඩ්. මේ දේශපාලන අස්ථාවරභාවය මොනවට පසක් කරමින් ඉකුත් දින පැවැත්වූ අතුරු මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයට දැවැන්ත පරාජයක් අයත් වූවා. එපමණක් නොවෙයි, ඉතිහාසයේ පළමු වරට එරට පළාත් පාලන මැතිවරණයෙන් කන්සර්වේටිව් පාලනය තිබූ දක්ෂිණාංශික කුළුණු තුනක් වන වෙස්ට්මින්ස්ටර්, වොන්ඩ්ස්වර්ත් සහ බාර්නට් සභා වල බලය තහවුරු කරගැනීමට වාමාංශික බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමත් වනවා. මෙය බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන ගමනට එල්ල වූ තදබල පහරක්.

එක්සත් රාජධානියේ විපක්ෂය, පාලක පක්ෂය, වෘත්තීය සමිති සහ පාලනාධිකාරිය ඇතුළු සෑම අතකින්ම බොරිස් ජොන්සන් ට මෙසේ විවේචන සහ විරෝධතා එල්ල වෙද්දී ඔහුට ඉතිරිව ඇති එකම තුරුම්පුව වන්නේ යුක්රේනයයි. මේ දවස් වල බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාගේ ගජ මිතුරා වොලොදිමිර් සෙලෙන්ස්කි ලු! යුක්රේනයේ ජනාධිපතිවරයා ලු! ඒ තරමට යුක්රේනයට ආධාර කිරීමට බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට උනන්දුවක් තිබෙනවා ලු. ඇතැමුන් කියන්නේ බොරිස් ජොන්සන් යනු යුක්රේනයේ නිල නොලත් අගමැතිවරයා කියලා ලු!

බොරිස් ජොන්සන්ට එරෙහිව ගොනුවූ විශ්වාසය පිළිබඳ යෝජනාව ජයග්‍රහණය කළ නිසා තව වසරක කාලයක් ධුරයේ රැඳී සිටීමට ඔහුට හැකියාව තිබෙනවා. කෙසේවෙවත්, තමා යුක්රේනයට දක්වන සහාය මත වීරයකු වීමට හේතු තිබෙනවා විනා, අන් කිසිඳු ආකාරයකින් ආදර්ශමත් නායකයකු වීමට ඔහුට හැකියාවක් නැති බව බොරිස් ජොන්සන් විසින්ම දැන් ඔප්පු කරමින් සිටිනවා.

මා මීට පෙර අවස්ථාවකදීත් කියා සිටි පරිදි, දේශපාලනය තුළ ප්‍රතික්ෂේප වනවා නම්, ජනතාවගෙන් ද ප්‍රතික්ෂේප වනවා නම් තවදුරටත් බලකෑදරකමින් ධුරයේ රැඳී සිටීම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එල්ල කළ හැකි නින්දිතම ප්‍රහාරයක්. අර්බුදයක් මතුවූ තැන එය ආර්ථික වැනි තාක්ෂණික කරුණු ඔස්සේ පමණක් විග්‍රහකර දේශපාලනික වශයෙන් විග්‍රහ නොකර සිටීම, හෝ එවන් දේශපාලන විග්‍රහයක් හමුවේ ඊට මුහුණ නොදී මඟහැර යාමත් එම තක්කඩිකමේ ම කොටසක්. පසුගිය අවස්ථාවන් කිහිපයකදී ම පැවති මාධ්‍ය සාකච්ඡාවලදී බොරිස් ජොන්සන් මෙම තක්කඩිකම මනාව පසක් කර පෙන්වූවා. කොවිඩ් නීති උල්ලංඝනය කිරීම, අපරාධ වලට සම්බන්ධ චූදිතයන් ආරක්ෂා කිරීම හා කඩා වැටෙන ආර්ථිකයට පිළියම් යෙදීමට අසමත් වීම ආදී කරුණු ගැන තමාගේ පාර්ශවයෙන්ම විවේචන එල්ලවන විට ඒ කිසිවක් නෑසුනා මෙන් නෑ මා ඉල්ලා අස්වන්නේ නැහැ යැයි ප්‍රකාශ කිරීමට තරම් ඔහු තක්කඩි වනවා. අඩුම තරමේ බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් කඩා වැටීම හමුවේ එම පක්ෂයේ සභාපති වූ ඔලිවර් ඩෝව්ටන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම හරහා ඔප්පුකර පෙන්වූ මහත්මා දේශපාලන ගතිය වත් බොරිස් ජොන්සන්ට ඇත්තේ නැහැ. බොරිස් ජොන්සන් ලංකාවේ පොරක් ද යන බරපතල සැකය අපට මතුවන්නේ මේ තක්කඩි දේශපාලන චර්යාව මේ දවස් වල මදි නොකියන්න ලංකාවේ රටහදන තැනත් දක්නට ලැබෙන නිසා.

බොරිස් ජොන්සන් අවට සිටින පිරිස ක්‍රමක්‍රමයෙන් ඔහුට අහිමි වෙමින් තිබෙනවා. අද ඉවත් වූයේ රිෂි සුනාක් සහ සජිඩ් ජාවිඩ්. මීට ඉහත මුනිරා මිර්සා ඇතුළු රජයේ ඉහළම නිලධාරීන් සිව් දෙනෙකු ඔහුට අහිමි වූවා. තම පක්ෂයේම සියයට 41 ක් ඔහුව ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. විපක්ෂයෙන් ද එල්ල වන්නේ සුලුපටු විරෝධයක් නොවේ.

මේ බොරිස් ජොන්සන් ට අයත්ව ඇත්තේ නම් එතරම් හොඳ කලක් නොවේ..

ප්‍රමෝද් චින්තක පීරිස් – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan