සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු යුරෝපය පුරා පවතින අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ග්‍රීසිය ඇතුළු රටවල් රැසක දරුණු ලැව්ගිනි පැතිර යමින් පවතී. මෙම ලැව්ගිනි හේතුවෙන් මේ වන විට හෙක්ටයාර 20,000කට (අක්කර 49,500කට) අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ.
ප්‍රංශයේ ස්පාඤ්ඤ දේශසීමාව ආසන්නයේ පිහිටි පිරනීස් කඳු පාමුල ඇති වූ දරුණු ලැව්ගින්නෙන් හෙක්ටයාර 5,000ක පමණ ප්‍රදේශයක් දැවී ගොස් ඇති අතර, එම ගින්න හේතුවෙන් 10,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර අති අතර මේ වන විටත් ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 700කට අධික පිරිසක් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරමින් සිටිති.

ස්පාඤ්ඤයේ නැගෙනහිර කැස්ටෙලෝන් පළාතේ, කැටලෝනියාවට දකුණින් පිහිටි සියෙරා ද එස්පාඩන් ජාතික වනෝද්‍යානයට ලැව්ගින්න පැතිර යාමෙන් පසු 500කට වැඩි පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේ අතර, මධ්‍යම පෘතුගාලයේ වූසෙලා ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා ආරම්භ වූ ලැව්ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 1,200කට වැඩි පිරිසක්, වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් සහ ගුවන් යානා 15ක් යොදවා තිබේ. කෙසේ වෙතත්, ඉරිදා වන විට එම ගින්නෙන් හෙක්ටයාර 13,000ක ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බව වාර්තා වේ.
ග්‍රීසියේ අගනුවර වන ඇතන්ස් නගරයට බටහිරින් ඉරිදා පස්වරුවේ තවත් විශාල ලැව්ගින්නක් හටගෙන ඇති අතර, මැන්ඩ්‍රා ප්‍රදේශයේ පයින් වනාන්තරය හරහා වේගයෙන් පැතිර යන ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 210 දෙනෙකු, ස්වේච්ඡා සේවක කණ්ඩායම්, විශේෂිත ගිනි නිවන ඒකක සහ ගුවන් යානා 29ක් යොදවා ඇත.
කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ දකුණු යුරෝපය පුරා පවතින අධික උෂ්ණත්වය සහ දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළත් ලැව්ගිනි පැතිරීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවයි.

