රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :
පසුගිය දින කිහිපය පුරා මෙරට සාමාන්‍ය ජන ජීවිතයේ නිහඬ බව බිඳී ගියේ රුදුරු වෙඩි හඬිනි. මේ වසරේ මේ දක්වා වෙඩි තැබීම් 22ක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයන් 15 දෙනෙකුට ජීවිත අහිමි වී තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇත. මෙම සමස්ත සිදුවීම් මාලාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්, එනම් සිදුවීම් 10ක්ම වාර්තා වූයේ ජූලි 11 සිට 25 දක්වා වූ දින 14ක කෙටි කාලය තුළ වීමයි.
ජූලි 11 සිට 25 දක්වා දින 14ක් තුළ වාර්තා වූ වෙඩි තැබීම් 10, හුදු අහඹු සිදුවීම් මාලාවක් ලෙස බැහැර කළ නොහැකිය. පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී (ASP) එෆ්.යූ. වුට්ලර් මහතා පවසන පරිදි, මෙය අපරාධකරුවන් විසින් ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද “පොකුරු” මෙහෙයුම් මාලාවකි.
අපරාධකරුවන් තම ඉලක්කයන්ගේ දෛනික චලනයන් පිළිබඳව දීර්ඝ කාලයක් බුද්ධි තොරතුරු රැස් කරයි. ඔවුන් ප්‍රහාරය සඳහා අවස්ථාව තෝරා ගන්නේ පොලිස් ආරක්ෂාව හෝ අවධානය අවම මට්ටමක පවතින මොහොතකදීය. සාමකාමී කාලපරිච්ඡේදයකින් පසු එකවරම වෙඩි තැබීම් රැල්ලක් මතු වන්නේ, ඔවුන් තම ඉලක්කය නිවැරදිව හඳුනාගෙන අවස්ථාව එනතුරු රැක සිට ප්‍රහාර මාලාව දියත් කරන බැවිනි. මෙය හුදු වෛරය පිරිමසා ගැනීමක් නොව, වෘත්තීය මට්ටමේ මෙහෙයුම් රටාවකි.
මෙම විමර්ශනවලදී හෙළි වූ වඩාත් අඳුරුතම පැතිකඩ වන්නේ ඝාතන කොන්ත්‍රාත්තු සඳහා ගෙවීම් කරන අලුත්ම ක්‍රමයයි. මෑතකාලීන පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, වර්තමානයේ මිනිස් ජීවිතයක මිල මුදල් නොව, මත්ද්‍රව්‍ය බවයි. බෙල්ලන්විල ප්‍රදේශයේදී ආපනශාලා හිමිකරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවන් බව තහවුරු විය.
ඇතැම් අපරාධකරුවන් ඉතා සුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් වෙනුවෙන් පවා මිනී මැරීමට පෙළඹෙති. මෙහිදී මත්ද්‍රව්‍ය යනු ගෙවීමක් පමණක් නොවේ; එය මෙරට සිටින කුලී ඝාතකයා සහ විදේශගතව සිටින මෙහෙයවන්නා අතර ඇති “මනෝවිද්‍යාත්මක බැඳීමක්” සහ “පාලන පටි” වැනිය. මත්ද්‍රව්‍ය මත යැපෙන අපරාධකරු තමාට අවශ්‍ය කුඩා මාත්‍රාව වෙනුවෙන් ඕනෑම ම්ලේච්ඡ ක්‍රියාවකට යොමු කිරීමට මහ මොළකරුවන්ට හැකි වී තිබේ.පොලිස් ප්‍රකාශක ASP එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
විදේශයක සිට ක්‍රියාත්මක වන “දුරස්ථ පාලක” අපරාධ
වර්තමාන අපරාධ රැල්ලේ තවත් භයානක ලක්ෂණයක් වන්නේ එහි “දුරස්ථ පාලක” ස්වභාවයයි. ප්‍රධාන මෙහෙයවන්නන් විදේශගතව සිටිමින් තාක්ෂණය ඔස්සේ මෙරට අපරාධ මෙහෙයවනු ලබයි. මොවුන් තම ප්‍රතිවාදීන් බිය ගැන්වීම සඳහා තම ඉලක්කයන් පමණක් නොව, ඔවුන්ගේ ඥාතීන් හෝ හිතවතුන් පවා ප්‍රහාරයන් සඳහා තෝරා ගනී. විදේශීය මෙහෙයුම්කරුවන් මෙම ඝාතන දකින්නේ තම “ව්‍යාපාරික මෙහෙයුම් පිරිවැයක්” (Operational costs) ලෙසය.
වෙඩි තැබීම් පිටුපස ඇති සැබෑ “ව්‍යාපාරික” අරමුණ
පසුගිය දින 14 තුළ සිදු වූ සිදුවීම් දෙස බැලීමේදී, ඒවා පෞද්ගලික කෝන්තර නොව, සංවිධානාත්මක අපරාධ ජාලයන්හි වෙළඳපල බලය තහවුරු කර ගැනීමේ උපාය මාර්ග බව පැහැදිලිය. මෙම සිදුවීම් ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදා දැක්විය හැකිය.
- නීතිය බිය ගැන්වීම: බෙලිඅත්ත ප්‍රදේශයේ පොලිස් සැරයන්වරයෙකුගේ නිවසට වෙඩි තැබීම (ජූලි 22) සහ කටුනායකදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර නිලධාරියෙකුගේ ගිනි අවිය පැහැරගෙන ඔහුටම වෙඩි තැබීම (ජූලි 15). මෙමගින් ඔවුන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මර්දනය කිරීමට උත්සාහ කරයි.
- ගිණුම් පියවීම සහ ඝාතන: බෙල්ලන්විල ආපනශාලා හිමිකරු ඝාතනය (ජූලි 25) සහ වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී දරුවෙකුගේ උපන් දින සාදයක් අතරතුර පුද්ගලයෙකු ඝාතනය කිරීම (ජූලි 23). මේවා මූල්‍ය ආරවුල් සහ කල්ලි අතර වෛරය පදනම් කරගත් ඝාතනයන්ය.
- වෙළඳපල සහ බලය රැකගැනීම: දෙමටගොඩ කුප්පියාවත්ත සුසාන භූමිය අසලදී පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීම (ජූලි 23) සහ නවගමුව ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීම (ජූලි 16). මෙවැනි ප්‍රහාර හරහා ප්‍රතිවාදී කල්ලි තම සීමාවන්ගෙන් ඉවත් කර තැබීමට ඔවුන් කටයුතු කරයි.
මීට අමතරව මතුගම, දෙවිනුවර සහ පිළියන්දල වැනි ප්‍රදේශවලින් ද මෙම දින 14 තුළ වෙඩි තැබීම් වාර්තා වී ඇත.
පොලිස්පතිවරයාගේ සෘජු මගපෙන්වීම යටතේ සන්නිවේදන විශ්ලේෂණ සහ බුද්ධි මෙහෙයුම් තීව්‍ර කර තිබුණද, මෙම අපරාධ රැල්ල නතර කිරීම අතිශය දුෂ්කර වී ඇත. බෙල්ලන්විල සිදුවීමේදී මෙන් පැයක් ඇතුළත සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසිය සමත් වුවද, මත්ද්‍රව්‍ය සහ අපරාධ අතර පවතින මෙම අවියෝජනීය බැඳීම සමාජය තුළ ගැඹුරටම මුල් බැස තිබේ.


