ජූලි 29, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ නව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රේය කුල්කර්ණි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුහද හමුවක් අද (29) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
මෙහි දී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් රැසක් හුවමාරු විය.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ අග භාගයේ දී මුහුණ දුන් දිට්වා ආපදා තත්ත්වයන්හිදී සමීප අසල්වැසියා ලෙස ඉන්දියාව ලබා දුන් කඩිනම් සහ මානුෂීය සහාය සම්බන්ධයෙන් මෙම අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමස්ත ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් සිය ස්තුතිය සහ කෘතන්‍යතාව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වෙත පළ කළේය.
එමෙන් ම කොවිඩ්-19 වසංගත සමයේ දීත් ආර්ථික අර්බුධය සමයේදීත් සමීප අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් වටිනා සහයෝගය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී විශේෂයෙන් අගය කළේය.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියේදී ද සංවර්ධන, ආර්ථික සහ ජනතා සුබසාධන ක්ෂේත්‍රවල සමීප සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ ව ද මෙහි දී දෙපාර්ශ්වයේ ම අවධානය යොමු විය.


