විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් හඬ නැඟූ  ” ජන වරමේ නීතිඥවරු”

රෂිකා හෙන්නායක ජූලි 30 කොළඹ LNW:

අධිකරණ පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සේවා පනත සංශෝධනය කරමින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. කැබිනට් අනුමැතිය හිමිව ඇති මෙම යෝජනාව, පද්ධතියේ වෙනසක් අපේක්ෂා කරන පිරිස් සහ එහි ස්වාධීනත්වය ගැන ප්‍රශ්න කරන පිරිස් අතර උණුසුම් වාද විවාද මාලාවකට මග පාදා ඇත.

ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් පමණ ඉහළ නැංවීම ඇතැමුන්ගේ විවේචනයට ලක් වුවද, ජාතික ජන බලවේගයට අනුබද්ධිත “ජනවරමේ නීතිඥයෝ” සංවිධානය පෙන්වා දෙන පරිදි, දියුණු අධිකරණ පද්ධති පවතින රටවල තත්ත්වය මෙසේය.

  • ඕස්ට්‍රේලියාව සහ ඩෙන්මාර්කය: විනිසුරුවන් විශ්‍රාම යන්නේ වයස අවුරුදු 70 දී ය.
  • කැනඩාව සහ බ්‍රසීලය: විශ්‍රාම වයස අවුරුදු 75 කි.
  • එක්සත් ජනපදය: එරට ෆෙඩරල් විනිසුරුවන් සඳහා විශ්‍රාම ගැන්වීමේ නිශ්චිත වයස් සීමාවක් පනවා නොමැත.

මෙම දත්තයන්ට අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව සිදු කිරීමට යන්නේ ලෝක නීති ප්‍රවණතාවන්ට සාපේක්ෂව පසුගාමීව තිබූ වයස් සීමාවන් යාවත්කාලීන කරමින් ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමේ උත්සාහයක් බවත්, නීතිය යනු හුදෙක් පොතේ පතේ කරුණු පමණක් නොවේ; එය අත්දැකීම් සහ පරිණතභාවය මත පදනම් වූ විද්‍යාවකි. විනිසුරුවරයෙකු තම බුද්ධිමය මට්ටමේ සහ වෘත්තීය පරිණතභාවයේ උපරිමයට පැමිණෙන්නේ වසර ගණනාවක සේවා අත්දැකීම්වලින් පසුව බවත් ඔවුන් පෙන්වා දෙයි.

එම අවස්ථාවේදී ඔවුන් විශ්‍රාම ගැන්වීම අධිකරණ පද්ධතියට සිදුවන “බුද්ධි ගලනයක්” (Brain Drain) බවද “ජනවරමේ නීතිඥයෝ” සංවිධානය පෙන්වා දෙයි.

ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් සතු මෙම පළපුරුද්ද තුළින් වඩාත් ගුණාත්මක සහ ස්ථාවර තීන්දුවක් ලබා දීමේ හැකියාව ඉහළ යන බවත්, එමගින් එම තීන්දුවලට එරෙහිව ඉදිරිපත් වන අභියාචනා ප්‍රමාණය අවම වන අතර, එය අවසාන වශයෙන් නඩු ප්‍රමාදය අඩු කර යුක්තිය කඩිනම් කිරීමට සෘජුවම දායක වන බවත් “ජනවරමේ නීතිඥයෝ” සංවිධානය පැහැදිළි කරයි.

අධිකරණ පද්ධතිය ඇණහිටීමට බලපාන ප්‍රධානතම ප්‍රායෝගික ගැටලුව වන්නේ පුරප්පාඩු පිරවීමට නොහැකි වීමයි. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, මහාධිකරණ විනිසුරු තනතුරු 110 ක් අනුමත කර තිබුණද, දැනට සේවයේ යෙදී සිටින්නේ විනිසුරුවන් 93 දෙනෙකු පමණි. මෙම හිඟය පියවීමට සහ අත්දැකීම් සහිත නිලධාරීන් රඳවා ගැනීමට යෝජිත නව වයස් සීමාවන් මෙසේය:

  • ශ්‍රේෂ්ඨාධිකරණය: අවුරුදු 65 සිට 67 දක්වා. (අග්‍රවිනිශ්චයකාරවරයා වයස අවුරුදු 67 පිරෙන තෙක් හෝ පත්වූ දින සිට වසර හයක් යනතුරු – එයින් පළමුවෙන් සිදුවන අවස්ථාව අනුව – සේවයේ නිරත වනු ඇත).
  • අභියාචනාධිකරණය: අවුරුදු 63 සිට 65 දක්වා.
  • මහාධිකරණය: අවුරුදු 61 සිට 63 දක්වා.
  • මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණ: අවුරුදු 60 සිට 62 දක්වා.

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම හරහා පවතින පුරප්පාඩු ප්‍රමාණය පාලනය කිරීමටත්, ඒ මගින් ගොඩගැසී ඇති ලක්ෂ සංඛ්‍යාත නඩු කඩිනමින් විභාග කිරීමටත් රජය අපේක්ෂා කරන අතර, මෙම පනත් සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බවට පවතින මතය, දූෂණ චෝදනා පවතින දේශපාලනඥයන් විසින් මවන ලද “බොරු බිල්ලෙකු” බවට “ජනවරමේ නීතිඥයෝ” සංවිධානය චෝදනා එල්ල කරයි. අකලංක උක්වත්ත, හේමක සේනානායක, මනෝද්‍යා ගල්පාය සහ අනුරාධ කිරලවැල්ල ඇතුළු “ජනවරමේ නීතිඥයෝ” (ජාතික ජන බලවේගය) සංවිධානය පෙන්වා දෙන්නේ මේ පිටුපස දේශපාලන වුවමනාවක් පවතින බවයි.

ඔවුන්ගේ තර්කය වන්නේ, දැනටමත් දූෂණ නඩුවලට මුහුණ දී සිටින හෝ ඒ පිළිබඳ පරීක්ෂණ පවතින පුද්ගලයන්, අත්දැකීම් සහිත සහ ස්ථාවර අධිකරණ පද්ධතියක් බිහිවීම වැළැක්වීමට උත්සාහ කරන බවයි. මෙම ප්‍රතිසංස්කරණ කිසිදු තනි පුද්ගලයෙකු ඉලක්ක කර ගත් ඒවා නොවන බවත්, රටේ පුළුල් දූෂණ විරෝධී වැඩපිළිවෙල ශක්තිමත් කිරීම මෙහි සැබෑ අරමුණ බවත් ඔවුහු අවධාරණය කරති. මෙහිදී ඇති වී තිබෙන්නේ පද්ධතියේ වෙනසක් සඳහා වන වුවමනාව සහ දේශපාලන පැවැත්ම සඳහා වන බිය අතර ගැටුමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...