*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

2024 ජනාධිපතිවරණය – ජයග්‍රහණය කාටද ?

ජනිත සෙනෙවිරත්න

නිව්යෝර්ක්, එක්සත් ජනපදය (LNW): මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ ජුනි මාසයේ හෝ ජුලි මාසයේ හෝ ඊට ආසන්නයේ පැවැත්වීමට නියමිතව තිබේ. එම නිසා ලබන වසරේ ජනාධිපතිවරණයට මේ වනවිට සියලු පක්ෂ සූදානම් වෙමින් සිටිති. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන පෙලේ අපේක්ෂකයන් ගනනාවක් සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් පවතී.

වර්තමාන ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස , රටේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරික දෙපලක් වන ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර, ජාතික ජන බලවේගයේ හරිණි අමරසූරිය, පොහොට්ටුවේ විකල්ප කණ්ඩායම නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම හා හතලිස් තුන්වන සේනාංකයේ පාඨලී චම්පික රණවක යන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන අංශ වල දැඩි අවධානය යොමුවී තිබේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ වන විට ප්‍රධාන වශයෙන්ම සහයෝගය දක්වමින් සිටින්නේ පොහොට්ටුවේ එනම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් පිරිසකි,මේ වන විට ප්‍රසන්න රණතුංග , නිමල් ලන්සා ,කාංචන විජේසේකර .රමේෂ් පතිරණ ඇතුළු පොහොට්ටු ප්‍රබලයන් පිරිසක් දැන් රනිල්ගේ ප්‍රධානතම හිතවදීන්ය. කෙසේ වෙතත් පොහොට්ටුවේ ප්‍රධානීන් මේ වන විට මේ සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් වෙත සිය විරෝධය දන්වා තිබෙන බව දැන ගන්නට ඇත. එහෙත් එම පිරිස අදාළ විරෝධය නොතකමින් දිගටම රනිල් සමග කටයුතු කරන්නට තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතකු බවට මෑතකදී පත්ව සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට පොහොට්ටුවේ දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇත.

ලන්සාගේ සන්ධානය ගැන බැසිල්ගෙන් විරෝධයක් ?

නිමල් ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින පිරිසක් සහ තවමත් පොහොට්ටුවේ සිටින පිරිසක් සම්බන්ධ කර ගනිමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට මේ වන විට සැලසුම් කරමින් සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පසු ගිය සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවේ පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙලෙස කටයුතු කිරීම පක්ෂයේ කටයුතුවලට ගැටලුවක් වී ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතාගේ එහිදී පවසා ඇත.

නිමල් ලංසා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින අනුර ප්‍රියදර්ශන යාපා , ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න ,ප්‍රියංකර ජයරත්න, සුසිල් ප්‍රේම ජයන්ත යන මැති ඇමතිවරුන් මෙන්ම,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින පිරිසක් ද,එකතු කර ගනිමින් මෙම නව සන්ධානය ගොඩනැගීමට කටයුතු කරමින් සිටින අතර,පොහොට්ටුවෙන් තවත් පිරිස් ගැනීමටද සූදානමින් සිටින බව පැවසේ.මේ වන විට නිමල් ලන්සා , ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කරන අතර,ඔහුට ජනාධිපති කාර්යාලයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්ද ලබාදී ඇත.
ඔවුන් නව දේශපාලන පෙරමුණක් නිර්මාණය කර ඒ හරහා ජනාධිපතිවරණය මීළඟ මහා මැතිවරණය ඇතුළු මැතිවරණ තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිති.

රනිල්ට ඇති අභියෝග

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඇති අභියෝග රැසකි. එක පැත්තකින් බලයේ සිටින ජනාධිපතිවරයා ලෙස රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ජනතාවට උහුලාගත හැකි මට්ටමකින් පවත්වා ගෙන යා යුතුව තිබේ. විදුලි බිල් හා ජල බිල් වැඩි කිරීම නිසා සාමාන්‍ය ජනතාව තුල රජය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පවතී. එසේම බඩුමිල ජනතාවට දරා ගැනීමට අපහසුය. ඒ අතරේ සම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයන් තමන් වෙත රඳවා ගැනීමද ජනාධිපතිවරයාට ඇති අභියෝගයකි. ඊට හේතුව එක්සත් ජාතික පාක්ෂිකයන් සැලකිය යුතු පිරිසක් මෙන්ම රටේ දිළිඳු ජනතාවගෙන් වැඩි පිරිසක් සජිත් ප්‍රේමදාස සමග කටයුතු කිරීමය. අනෙක් අතට දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය හා බලය බෙදීම වැනි කාරණා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ ලිබරල්වාදී මතය මෙරට බහුතර සිංහල බෞද්ධ ජනතාව කුමන ආකාරයකට පිළිගනු ඇද්ද යන පැහැදිලි නැත. අනෙක් අතට පොහොට්ටුවට හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ඡන්දය ලබා දෙන පිරිස් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් දරන මතය මෙවර ජනාධිපතිවරනයේදී අතිශය වැදගත්ය. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අත්දැකීම් බහුලම පුද්ගලයා රනිල් වික්‍රමසිංහය.
එක පැත්තකින් එක්සත් ජාතික පාක්ෂිකයන්ට සැමදා තිබු ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු පත් කර ගැනීමය. කවර ආකාරයකින් පත් වුවද රනිල් අද වන විට ජනාධිපති ධුරය හොබවයි. එහෙත් ඔහු වටා පාක්ෂිකයන් හා රටේ ජනතාව රඳවා ගැනීමට එය ප්‍රමාණවත්ද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් පක්ෂය යලි ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු මේ වන විට ලහි ලහියේ සිදු කෙරේ. පක්ෂයේ ප්‍රධානතම බලකොටුව වන කොළඹ දිස්ත්‍රික්කයේ ආසන බලමණ්ඩල පිහිටුවීම කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ වන විට රට පුරා එජාප බල මණ්ඩල පිහිටුවීම බොහෝ දුරට සාර්ථකව අවසන් වෙමින් පවතී.

සජිත් ජනතාව අතරට ………

සමගි ජනබලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන ප්‍රධානතම අපේක්ෂකයෙකි. දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුතුනුවන් වන ඔහු සිය පිය මෙන්ම මෙරට දිළිඳු ජනතාව නගා සිටුවීම තම මුලික අරමුණ කර ගෙන රට පුරා විවිධ සමාජ සුභසාධක ක්‍රියාකාරකම් රැසක් දියත් කරමින් කටයුතු කරන බවක් පෙනේ. පසුගියදා මිහින්තලේ රජමහ විහාරයේ විදුලිය විසන්ඳි කල අවස්ථාවේ ඊට මැදිහත්වී එම විදුලි බිල ගෙවා දමා මිහින්තලා පුද බිම යලි ආලෝකවත් කලේ සජිත් ප්‍රේමදාසය.ඒ හරහා මෙරට බෞද්ධ ජනතාවට හා ආගමික සිද්ධස්ථානවලට තම ලැදියාව ක්‍රියාවෙන්ම පෙන්නුම් කලේය.රටේ සාමාන්‍ය ජනතාවට විදුලිය ජලය හා අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට සපයන ක්‍රමවේදයක් ඔහු ජනතාවට ඉදිරිපත් කළහොත් ජනතා ප්‍රසාදය ඔහු වෙත හිමිවනු ඇත.

පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ධම්මික පෙරේරාටද ?

මේ වන විට දැනගන්නට ඇති පරිදි මෙවර පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ව්‍යාපාරික ධම්මික පෙරේරා හට ලබා දීමට නියමිතය.ඔහු දැනටමත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. එසේම ශ්‍රීලංකාවේ දැනට සිටින ලොකුම ධනවතා ඔහුය. එසේම ඔහු මේ වන විට විවිධ අධ්‍යාපන යෝජනාක්‍රම සහ සමාජ සේවා වැඩසටහන් ඔස්සේ රට පුරා ජනතාවට ආමන්ත්‍රණය කරමින් සිටී. එහෙත් ඔහු දේශපාලනඥයකු ලෙස හෝ නායකයකු ලෙස රටේ ග්‍රාමීය ජනතාව හෝ සාමාන්‍ය ජනතාව පිළිගන්නේද යන්න ඔහු මුහුණදෙන ප්‍රධානතම ගැටලුවයි.විශේෂයෙන්ම පසුගිය සමයේ ඔහු ව්‍යාපාරිකයෙකු ලෙස ජනතාව අතර යහපත් නාමයක් දිනා ගෙන නැත.අනෙක් අතට ඔහු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වන්නට ආසන්න මොහොතේ රනිල්ට අභියෝග කරන්නට ගොස් දේශපාලන වශයෙන් සුවිසල් හානියක් සිදු කර ගත්තේය.එසේ නොවන්නට ඔහු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ රටේ භාරධුර කාර්යයක් ඔහුට පෑවරෙන්නට ඉඩ තිබිණි.

මීළඟ විපක්ෂනායක නාමල් ?

මෙවර ජනාධිපතිවරණ ජයග්‍රහණයට වඩා පොහොට්ටුවේ අවධානය යොමුව ඇත්තේ මීළඟ මහා මැතිවරනයෙදී සැලකිය යුතු ආසන ප්‍රමාණයක් දිනාගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය හිමිකර ගැනීමය. ඒ සඳහා නාමල් රාජපක්ෂ පත්කර ගතහොත් 2030 මීළඟ ජනාධිපතිවරණය අරමුණු කරගෙන නාමල් හට විශාල දේශපාලන ගමනක් යා හැකිවනු ඇත.

පොදු අපේක්ෂක දිලිත් ජයවීර ?

දෙරණ මාධ්‍ය ජාලය ඇතුළු ව්‍යාපාර රැසක හිමිකරුවන දිලිත් ජයවීර මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන බව පැවසේ.මෙතෙක් කල් ඔහු නිරූපණය කලේ රජුන් තනන්නේකුගේ චරිතයකි, ඍජු දේශපාලනයට ඔහු එක්වන ප්‍රථම අවසථාව මෙයයි. මේ වන විට ඔහු රටපුරා විවිධ සමාජසේවා වැඩසටහන් වල නිරත වන අතර විවිධ කාරණා සම්බන්ධයෙන් තම මතවාදය ජනතාවට ඉදිරිපත් කර තිබේ. සාම්ප්‍රදායික දේශපාලනඥයන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තුල දිලිත් වැනි චරිතයක් වෙත යම් ජනතා කැමැත්තක් ආකර්ෂණය වීම් හැකියාවක් පවතී. එහෙත් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරන්නට තරම් එම ජනතා ආකර්ෂණය ප්‍රබලයි තවමත් කිව නොහැක.අනෙක් අතට ලොව වෙනත් බොහෝ රටවල එවැනි චරිත එකවරම ජනතාව අතරට පැමිණ බලය හිමිකරගත් අවස්ථා තිබුනද ශ්‍රීලංකාවේ එවැනි තත්වයක් නිර්මාණය වේදැයි කිව නොහැක. කෙසේ වෙතත් ඔහුගේ දෙරණ මාධ්‍ය ජාලය හා ඔහුට අයත් දැන්වීම් ආයතනය ඔහු සතු ප්‍රධානතම ශක්තිය වේ. එසේම මීට පෙර දේශපාලයේ යෙදී නොසිටීම හා මුල්ම අවස්ථාවේ අත්හදබලෙන චරිතයක් ලෙස ජනතාව යම් තරමකට ඔහුට ආකර්ෂණය වීමේ ප්‍රවනතාවයක්ද පවතී.

ඩලස් – සජිත් සන්ධානයක් ?

මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල ඇමතිවරයකු මෙන්ම හිටපු මාධ්‍යවේදියෙකුද වන දැනට පොහොට්ටුවේ විකල්ප කණ්ඩායම් නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බව පැවසෙන තවත් ප්‍රධානතම අපේක්ෂයෙකි. පොදු ජනතාවගේ ජන විඥානය සම්බන්ධයෙන් මනා වැටහීමක් ඇති ඔහු ජනතාවගේ හදවතට කතා කිරීමේ දක්ෂයෙකි.එසේම ඔහුගේ කණ්ඩායම නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගේ නමද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කියවේ. මේ අතර මෙම කණ්ඩායම , ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව පුළුල් දේශපාලන බලවේගයක් නිර්මාණය කෙරෙන බවටද එම දේශපාලන බලවේගය හරහා ඉදිරි මැතිවරණ තරඟ කරන බවටද පැවසේ. යම් ලෙසකින් එවැනි දේශපාලන බලවේගයක් නිර්මාණය වන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රධාන සන්ධාන දෙකක් බිහි වනු ඇත. ඒ රනිල් වික්‍රමසිංහ මුලික කරගත් එක්සත් ජාතික පක්ෂයේ හා පොහොට්ටුවේ කොටසක් ඇති කරගන්නා සන්ධානය හා සමගි ජන බලවේගය සමග පොහොට්ටුවේ විකල්ප කණ්ඩායම සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඇති කර ගන්නා සන්ධානයයි.

ජාතික ජන බලවේගයෙන් හරිණි අමරසූරිය ?

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණය සඳහා හරිණි අමරසූරිය ඉදිරිපත්වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ. 2022 වසරේ ශ්‍රීලංකාව තුල පවතී ජනමතය මේ වන විට යම් ආකාරයකට වෙනසකට භාජනය වී තිබීම සැලකිල්ලට ගෙන ජනාධිපතිවරණය සඳහා හරිනි තරග කරවීම වඩා වාසිදායක බව ඇතැම් විට ජාතික ජන බලවේගය සිතනවාට සැක නැත. එඩින්බරෝ සරසවියේ උපාධිධාරිනියක වන හරිනි විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරියක වන අතරම රටේ කාන්තා ප්‍රශ්න ,තරුණ ප්‍රශ්න හා ළමා ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියකි . බොහෝ දුරට ජනාධිපතිවරණයේ එකම කාන්තා අපේක්ෂිකාව ලෙස කාන්තා සහ තරුණ ඡන්ද මෙන්ම විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස උගත් මධ්‍යම පාන්තික ඡන්ද හා වෘත්තීයවේදීන්ගේ ඡන්ද ඇය වෙත ආකර්ෂණය වනු ඇත. සම්ප්‍රදායික ජනතා විමුක්ති පෙරමුණු ඡන්ද ප්‍රමාණයද එක්වූ විට ඇය විශාල ඡන්ද ප්‍රමාණයකට හිමිකම් කියනු ඇත.

පාඨලී චම්පික රණවක කොයිබටද ?

හතලිස් තුන්වන සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බව පැවසෙන තවත් අපේක්ෂකයෙකි. ඔහු නව පෙරමුණක් හරහා විවධ බලවේග සම්බන්ධ කරගන්නට උත්සහ ගත්තද දැනට පෙනෙන ආකාරයට එවැනි බලවේග ඔහු සමග ඒකරාශී වූ බවක් නොපෙනේ., වරින්වර විවිධ ප්‍රතිවිරුද්ධ බලවේග නියෝජනය කල ඔහු සම්බන්ධයෙන් රටේ වෘත්තීයවේදීන් තුල ඇත්තේ ධනාත්මක බලාපොරොත්තුවකි. මූල්‍යමය අතින් හා තාක්ෂනය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් අතින් අනෙකුත් අපේක්ෂකයන් අතරේ ඔහු ඉදිරියෙන්ම සිටින්නෙකි.එහෙත් රටේ සාමාන්‍ය ජනතාව ඔහු සමග සිටින්නේද යන්න තවමත් පැහැදිලි නැත. සැබවින්ම ඔහු ජනාධිපති ධුරය සඳහා සැලසුම් සකස් කලේ මුලින්ම ඇමති ධුරයක් දැරූ කාලයේ සිටය. ඒ සඳහා ඔහු විසින් තෝරාගත් පිරිස් හා ඔහු සමග සමීපව කටයුතු කරන සෑම තරාතිරමකම පිරිස් රටේ ජනාධිපති කාර්යාලයේ සිට ප්‍රධාන ස්ථාන සියල්ලකම දැනටත් සේවය කරති. ඔහු ජනාධිපතිවරණයකට තරඟ කරන අවස්ථාවක මේ සියලු දෙනා ඔහු සමග එක්වනු ඇත, එහෙත් ඒ සියලු සැලසුම් හා සම්පත් සපයා ගත්තද රටේ සාමාන්‍ය ජනතාවට දැනෙන යමක් කර ඒ සාමාන්‍ය ජනතාවගේ හදවත් තුල රැඳෙන්නට දෙයක් ඔහු සිදු කර නැත. එසේත් නැතිනම් ඔහු කල හොඳ දේ සාමාන්‍ය ජනතාවට දැනුනේ නැත. අනෙක් අතට ඔහුගේ අධික උපායශීලීභාවය සම්බන්ධයෙන් රටේ ප්‍රධාන තැන්වල සිටින බොහෝ දෙනෙකු බියෙන් පසු වෙති.

තරුණ අපේක්ෂකයා විමුක්ති කුමාරණතුංගද ?

මේ සියල්ල අතරේ අප තේරුම්ගත යුතු තවත් කාරණයක් වන්නේ තරුණ නායකත්වයක් මේ සියලු දෙනා අතරේ නැති බවය. මෑත කාලයේ ලොව දියුණු රටවල් බොහොමයක තරුණ නායකයන් බලයට පත්වූ අවස්ථා දක්නට තිබේ. එවැනි අත්හදා බැලීමකට ශ්‍රීලංකාවේ ජනතාව සුදානම්දයි තවමත් පැහැදිලි නැත. ඒ සඳහා ඇතැම් විට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තම පුතුණුවන් වන විමුක්ති දේශපාලන කරලියට ගෙන එන්නට බලාසිටිනවා වන්නටද පුළුවන. ශ්‍රීලංකාවේ අගමැතිවරුන් දෙදෙනෙකුගේ මුනුපුරකු ලෙසත් හිටපු ජනාධිපතිනියකගේ හා දිවංගත විජය කුමරනතුංගගේ පුතුණුවන් ලෙසත් ඔහු ඒ සඳහා මුලික සුදුසුකම් සියල්ල මේ වන විට සපුරා ගෙන තිබේ. එහෙත් තවමත් ඔහු ඒ සඳහා කැමැත්ත පළකර නැති බවද පැවසේ. ඔහුගේ කැමැත්ත ලැබේ නම් ඒ සඳහා මෑතකදී පිහිටුවන ලද දේශපාලන පක්ෂයක්ද ඊට සුදානමින් තිබේ.

මේ කරුණු කාරනා කෙසේ වෙතත් රටේ ජනතාව පසුවන්නේ දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේය. විදුලි බිල වැඩිවීම නිසා දැඩි අපහසුවෙන් සිටි ජනතාවට ජාල බිල්පත් වැඩි කිරීම කිසිසේත් ඔරොත්ත්තු දෙන්නේ නැත. දැන් සාමාන්‍ය රැකියාවක් කරන්නෙකුගේ වැටුප විදුලි බිල හා ජල බිල ගෙවා දැමූ පසු අවසන්ය. මේ බව පාලකයන් අවබෝධ කරගත යුතුය. එම නිසා ජනතාවට සහන ලබා දිය හැකි ක්‍රම රජය විසින් වහාම සොයා බැලිය යුතුය. අසාධාරණ ලෙස භාණ්ඩ මිල වැඩි කරමින් ජනතාව ගසා කන සමාගම් හා ව්‍යාපාරිකයන්. දෙමාපියන් ගසා කන ටියුෂන් මාෆියාව හා අසාධාරණ ලෙස ජනතාව ගසා කන දොස්තර මාෆියාව වැනි දේ පාලනය කරන්නට වහාම නව නීති හා පාලන මිල පැනවිය යුතුය. එවිට ජනතාවට රජය කෙරෙහි කිසියම් පැහැදීමක් හෝ ඇති වනු ඇත.ඉදිරි වසරේ මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිතව ඇති බැවින් මේ කාරනා ගැන අවධානය යොමු කිරීම රජය පැත්තෙන් ඉතාම සුභදායක වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan