EXCLUSIVE-22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරිය: ජනාධිපතිවරයා තීරණයක් අරන්?

කොළඹ LNW:අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම මුල්කරගනිමින් යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ දින වල විශාල සාකච්ජාවක් ගොඩනැගී තිබෙන අතර රජයට සහය දක්වමින් එය කළ යුත්තක් බවට එක් පාර්ශවයක් මතවාදයක් ගොඩනගමින් තිබෙන අතර අනෙක් පසින් ඊට එරෙහිව තවත් පාර්ශවයක් මතවාදයක් ගොඩනගමින් තිබේ.

කෙසේවෙතත් එම ව්‍යවස්ථා සංශෝධනය සිදුවන බවට පූර්ව සංඥාව ලබාදෙමින් එය මේ වන විටත් ගැසට් නිවේදනයේ පළකර ඇත.

එහෙත් පවතින මෙම සංවාදමය පසුබිම මත මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොවිය යුතු බවට ආරම්භයේ පටන් සිය මතය ප්‍රකාශ කරමින් සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඊයේ (12) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වී මේ ගැන සාකච්ජා කිරීමට අවස්ථාවක් ලැබීය.

එම සාකච්ජාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ජාව සාර්ථක බවත් ඒ අනුව රජයේ ස්ථාවරයේ යම් වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

”අපි බලාපොරොත්තු වෙනවා අද සාකච්ඡාව ඉදිරියට ගිහිල්ලා පුළුල් විද්වත් සාකච්ඡාවක්. නීතිඥ සංගමය විතරක් නෙවෙයි. විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ඉන්නවා. මේ ගැන පර්යේෂණ කරපු අය ඉන්නවා. වෙන වෙන වාර්තා අපි ඉදිරිපත් කරලත් තියෙනවා. ඒවා හදපු අයත් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ සියලු දෙනාගේම අදහස් අරන් මේ තීරණය ගැන නැවත හිතලා බලලා, හරි තැනකට එන්න පුළුවන් වෙයි කියලා.

අද හොඳ සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවෙන් අපි බලමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ආණ්ඩුවට බලය තියෙනවා. ඒකට විරුද්ධ වෙලා ඒක වැරදියි කියන එක අපේ අයිතිවාසිකම. අද සාකච්ඡාවෙන් පස්සේ හොඳ අතකට හැරෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. අපි හමුවුණේ අතිගරු ජනාධිපතිතුමා. එතුමත් පරිණත නායකයෙක්. පරිණත දේශපාලනඥයෙක්. නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අවුරුදු ගාණක් සටන් කරලා තියෙනවා. මම හිතන්නේ පාරටත් බැහැලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු කොහොමද ඒක වෙන්නේ කියලා” යනුවෙන් රජීව් අමරසූරිය තවදුරටත් ප්‍රකාශ කර තිබුණි.

මේ අතර රජයේ පාර්ශවය නියෝජනය කරමින් ජනාධිපති මාධ්‍ය අංශයද නිවේදනයක් නිකුත් කර තිබුණු අතර එහි දක්වා තිබුණේ විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරඹයා නොව, රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බව ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි.

මෙම සංශෝධනය සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණයන්හි එක් පුරුකක් පමණක් බවත්, එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි මතයක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ අනුව මේ වන විට මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව දැනගන්නට ඇත්තේ පාර්ශව කිහිපයක විවිධ විවේචන එල්ල වෙමින් පැවතියද පොදු යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව සහ යහපත අපේක්ෂාවෙන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

අගෝස්තු 7 වන දින ගැසට් කරන ලද යෝජිත 22 වන සංශෝධනය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස 65 සිට 67 දක්වා සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස 63 සිට 65 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත. මෙම සංශෝධනයට එරෙහිව විරෝධතා රැල්ලක් ඇති කර තිබෙන එනමුත් ඒ සම්බන්ධයෙන් රජය නොසලකා හරිමින් සිටින බවයි බොහෝ පාර්ශව පෙන්වා දෙන්නේ. මෙය අධිකරණ ස්වාධීනත්වයට සෘජුවම මැදිහත් වීමක් ලෙස විස්තර කරමින් නීතිඥ සංගමය යෝජනාව ඒකමතිකව ප්‍රතික්ෂේප කර තිබෙන අතර ආගමික නායකයින්, සිවිල් සමාජ සංවිධාන සහ විදේශීය නීති සහ අධිකරණ සංගම් ද මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර තිබේ. ප්‍රධාන බෞද්ධ නිකාය තුනේ ප්‍රධාන නාහිමිවරුන් රජයෙන් ඉල්ලා ඇත්තේ එය නැවත සලකා බලන ලෙසයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්නා ලෙසද යෝජනා වී ඇතත් ඊට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබීම අවශ්‍ය වෙයි.

කෙසේවෙතත් මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන ප්‍රධාන පාර්ශවයක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ජාව ඉතා ආචාරශිලිව පවත්වා ඇති අතර සියලු අදහස් මතයන් පිළිබඳ ජනාධිපතිවරයා ඉතා විමසිල්ලෙන් පසුව ඇති බවත් සඳහන්. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලු යෝජනා, අදහස් සම්බන්ධයෙන් සිය සාවධාන අවධානය යොමුකර ඇති අතරම මෙම ව්‍යවස්ථා සංශෝධනය නැවත හරවා ගැනීමක් පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රකාශ කර නොමැති බවද වාර්තා වෙයි.

ඊයේ පැවති සාකච්ජාව අතරතුර, ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අධිකරණයෙන් පමණක් සිදු නොවන බවයි. එය විමර්ශන, නඩු පැවරීම, අධිකරණ යන සියලු අංශ ඒකාබද්ධ ක්‍රියාවලියක් බවත් ඒ අනුව එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණි. එසේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙන බවත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම ජනතාවට පහසු වන පරිදි අභියාචනාධිකරණ කටයුතු පළාත්බදව ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කරනු පිණිස මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ අධිකරණ සඳහා අවශ්‍ය භෞතික පහසුකම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එහිදී විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට හෝ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධත්වයක් නොමැති බව නීතිඥ සංගමයේ නියෝජිතයින් පවසා ඇති නමුත් පුළුල් එකඟතාවයකට පැමිණීමේ අරමුණින් තීරණය නැවත සලකා බැලිය යුතු බව ඔවුන් යෝජනා කර තිබේ.

ඕනෑම අවසන් තීරණයකට පෙර නිසි පාර්ශවකරුවන්ගේ උපදේශනය සඳහා සංශෝධනය පාර්ලිමේන්තු තේරීම් කමිටුවකට යොමු කරන ලෙස නීතිඥ සංගමය ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...