ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: මේ වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල දැඩි වියළි කාලගුණයක් පැවතියද ජල සැපයුමේ බාධාවක් නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසයි.
ඉදිරියේදී යම්කිසි ආකාරයකින් ජල හිඟයක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණ දීමට භූගත ජලය ලබා ගැනීමට මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින අතර අඩු පීඩන යටතේ හෝ ජලය නොලැබෙන ප්‍රදේශ වේ නම් ඒ සඳහා බවුසර් මඟින් ජලය ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරයි.
”මේ වන විටත් සියලුම ජල පිරිපහදු මධ්‍යස්ථානවල උපරිම ධාරිතාවයෙන් ජල සම්පාදනය සිද්ධ කරනවා. කිසිම දිස්ත්‍රික්කයක වියළි කාළගුණය පැවතුණා කියල ජල සම්පාදනය අඩු කිරීමක් කරලා නැහැ. ජූලි සහ අගෝස්තු මාසය කියන්නේ වැඩිපුර වියළි කාලගුණයක් තියෙන කාලයක්. නමුත් මේ අවුරුද්දේ සමහර ප්‍රදේශවලට වැඩි උෂ්ණත්වයක් ලැබෙන ස්වභාවයක් පවතිනවා. නිතරම අපි ජල මුලාශ්‍ර ලෙස භාවිතා කරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන අධිකාරිය සතු ජලාශවලින්. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය සතු ජලාශ 5ක් වගේ ප්‍රමාණයකුත් ලංකාවේ විසිරිලා තියෙනවා. මේ මොහොත වන විට ජල කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණය කරගෙන යනවා. ඔවුන්ගේ ජලාශවල ජල මට්ටම 56%ක මේ මොහොත වන විට පවතිනවා. එම නිසා අපිට ජල සම්පාදනයේ කිසිදු ගැටළුවක් නැහැ මේ මොහොත වෙනකොට. අපි දෙන්න පුළුවන් උපරිම ජලය බෙදා හැරීම කරනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශ වල ඇතැම් ඒවායේ 56% ට වඩා අඩු ජල ධාරිතාවක් තියෙන ඒවා තියෙනවා. නමුත් එය ජල සම්පාදනයට තීරණාත්මක බලපෑමක් එල්ල කරලා නැහැ.”
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව එල්නිනෝ වැනි තත්ත්වයක් හමුවේ ඉදිරි කාලයේ යම් ජල හිඟතාවක් මතු විය හැකි වුවත් මේ වසෙරේ එය බලපැවත්වෙයි කියා නොසිතන බවත් කාලගුණ විද්‍යා පුරෝකථන අනුව සැප්තැම්බර් මාසයේ සිට නැවත ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වීමට නියමිත හෙයින් ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තුවන බවද චන්දන බණ්ඩාර මහතා කියාසිටියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව එල්නිනෝ වැනි තත්ත්වයන් හමුවේ දැඩි වියළි කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැක්කේ ලබන වසරේ පෙබරවාරි සිට අප්‍රේල් කාලය දක්වා වන හෙයින් අවශ්‍යතාව අනුව භූගත ජලය සම්පාදනය කරගැනීමට අවශ්‍ය කටයුතුද මේ වන විට සම්පාදනය කරමින් පවතින බව සභාපතිවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.


