සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ සිරගත කර සිටින හිටපු අගමැති සහ ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ට “මානුෂීය ප්‍රතිකාර සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර” ලබා දෙන ලෙස ක්‍රිකට් ක්‍රිඩාවේ ප්‍රවීනයන් 21 දෙනෙකු විසින් පාකිස්තානයේ වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත ලිපියක් මඟින් ඉල්ලිමක් කර ඇති බව වාර්තා වේ.
කීර්තිමත් ක්‍රීඩකයින් වන සුනිල් ගවස්කාර්, කපිල් දේව්, ශ්‍රී ලංකාවේ හිටපු නායක අර්ජුන රණතුංග, ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ ස්ටීව් වෝ, එංගලන්තයේ මයිකල් ඇතර්ටන් සහ මයිකල් බ්රේර්ලි ඇතුළු ප්‍රවීණයන් මෙම ලිපිය අත්සන් කර ඇති අතර ඔවුන් ඉල්ලා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ පරිදි ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික වෛද්‍යවරුන්ද ඇතුළත් ස්වාධීන වෛද්‍ය කමිටුවක් මගින් සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම, විශේෂයෙන් ඔහුගේ දකුණු ඇසේ පෙනීම පිළිබඳ වාර්තා වූ ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සහ සතිපතා පවුලේ සාමාජිකයන් හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.
පාකිස්තාන රජය පවසන්නේ ආරක්ෂක හේතු මත ඔහුව පෞද්ගලික රෝහලකට රැගෙන යාම වෙනුවට රාජ්‍ය රෝහලකදී පරීක්ෂා කළ බවත්, වෛද්‍යවරුන් ඔහු සම්පූර්ණයෙන්ම සුවයෙන් සිටින බව ප්‍රකාශ කළ බවත්ය. කෙසේ නමුත් ක්‍රිකට් ප්‍රවීණයන් එම වෛද්‍ය ක්‍රියාවලිය පිළිබඳව තවදුරටත් කනස්සල්ල පළ කරති.
ඛාන් ලොව මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසත්, පාකිස්තානයේ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසත් පුළුල් ලෙස සැලකේ. ඔහු 1992 දී තම ජාතිය පළමු ලෝක කුසලාන ජයග්‍රහණය කරා ගෙන ගිය අතර පාකිස්තාන නායකයෙකු සඳහා වැඩිම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත් වාර්තාවට හිමිකම් කියයි.
ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගතව සිටින අතර, ඔහුට එරෙහිව නඩු 100කට වැඩි සංඛ්‍යාවක් පවතින බව Reuters වාර්තා කර තිබේ. ඛාන් සහ ඔහුගේ ආධාරකරුවන් මෙම නඩු බොහොමයක් දේශපාලනික අරමුණු මත ගෙන යන බව පවසන අතර, බලධාරීන් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

