ලෙබනනය පුරා මාරාන්තික පේජර් උපකරණ පිපිරීම් මාලාවක්; 200 දෙනෙකුගේ තත්වය බරපතලයි

0
491

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ලෙබනනය පුරා පේජර් උපකරණ පිපිරීම් මාලාවක් හේතුවෙන් 8හැවිරිදි දැරියක් ඇතුළුව 12 දෙනෙකු මියගොස් 2,800 තුවාල ලබා ඇති බව වාර්තා වේ.

හිස්බුල්ලා සංවිධානය විසින් මාස කිහිපයකට පෙර මෙම පණිවුඩ හුවමාරු කරන සන්නිවේදන උපකරණ මිලදීගෙන තිබු අතර ඒ වෙත කෙටි පණිවුඩයක් ලැබීමෙන් අනතුරුව සියල්ල එකම වෙලාවක පුපුරා ගොස් ඇත. මේ සම්බන්ධයෙන් ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍ය ෆිරාස් අබියාඩ් පැවසුවේ රෝහල් 150 ක පමණ පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්, බොහෝ තුවාල මුහුණ, අත් සහ බඩේ වන බවත්ය.

මෙම ප්‍රහාරය ඊශ්‍රායල ඔත්තු සේවය වන මොසාඩ් සහ ඊශ්‍රායල හමුදාව අතර ඒකාබද්ධ මෙහෙයුමක් බව CNN වාර්තා කර ඇති අතර පිපිරීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කර ඇත.

මේ සම්බන්ධයෙන් හිස්බුල්ලා ඊශ්‍රායලයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිඥා දුන් අතර ලෙබනන් රජය එම ප්‍රහාරය “සාපරාධී ඊශ්‍රායල ආක්‍රමණයක්” ලෙස හෙළා දැක ඇත.

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය අමාත්‍යවරුන්ට මේ අවස්ථාවේදී සම්මුඛ සාකච්ඡා ලබා නොදෙන ලෙස නියෝග කර ඇති බවයි.