තිලීපන් සමරුවේදී සිංහල මැර පිරිසකගෙන් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ප්‍රහාරයක් ! (VIDEO)

0
623

1987 වසරේදී දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් වෙනුවෙන් මාරාන්තික උපවාසයක නියැළී මියගිය තිලීපන් හෙවත් රාසයියා පාර්තීපන් නම් හිටපු LTTE සාමාජිකයා සැමරීම වෙනුවෙන් ගමන්ගත් සාමකාමී රථ පෙළපාලියකට ඊයේ (17) ත්‍රිකුණාමල ප්‍රදේශයේදී සිංහල මැර කණ්ඩායමක් විසින් පහරදී තිබේ.

එහිදී සිංහ කොඩි සහ පොලු මුගුරු රැගෙන පැමිණි එම මැර කණ්ඩායම තිලීපන්ගේ රුව රැගත් කැබ් රථයට සහ එහි පැමිණි දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට පහරදී තිබුණේ පොලිස් නිලධාරීන් ද බලා සිටියදීම ය.

“මූ LTTE නායකයා” යැයි කියමින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් එම මැර කණ්ඩායම පහරදී තිබුණු අතර එම මැර පිරිසේ සිටි එක් කාන්තාවක් පහරදී තිබුණේ සිංහ කොඩිය සවි කළ දිග ලීයකිනි.

මෙම මැර ප්‍රහාරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් සහ ඔහුගේ පක්ෂයේ සාමාජිකයකු වන නීතීඥ නටරාජ් කාන්දීපන් යන අය තුවාල ලබා ඇති බව සඳහන්.

ප්‍රහාරය හමුවේ තිලීපන්ගේ රුව රැගත් කැබ් රථය ආපසු හරවාගෙන යාමට මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කටයුතු කළ නමුත් මැර පිරිස ඔවුන්ට පන්න පන්නා පහරදෙන ආකාරය ද මාධ්‍යවේදීන්ගේ වීඩියෝ පටවල සටහන්ව ඇත.

මෙම මැර ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවකු අත් අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය පවසන්නේ තමන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවකි.

RN