සංවර්ධන ව්‍යාපෘතිවල ඉක්මන් ප්‍රතිඵල ගන්න නම් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවය පොදු අරමුණකින් වැඩ කරන්න – අගමැති

කොළඹ LNW:දේශාපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවය එක්ව ජනතාවාදී පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම තුළින් සංවර්ධන ව්‍යාපෘතිවල ඉක්මන් ප්‍රතිඵල ජනතාවට ලබා දිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ​කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා බලප්‍රදේශයට අයත් රත්මලාන කඳවල මාර්ගය සහ දෙපස කාණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම වෙනුවෙන් ඊයේ (18) දින බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවට එක්වෙමිනි.

​2026 සැප්තැම්බර් 10 වන දින ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2027 ජූනි 30 වන දිනට ප්‍රථම අවසන් කිරීමට යෝජිතය. පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය (PRDA) මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 64ක වියදමින් පාලමක්, රුපියල් මිලියන 930ක වියදමින් කාණු පද්ධතියක් සහ රුපියල් මිලියන 115ක වියදමින් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

​මීට පෙර පැවැති කමිටු රැස්වීමේදී ගත් තීරණවලට අනුව බස්නාහිර පළාත් සභාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැවැරුණු වගකීම්වල ප්‍රගතිය මෙන්ම ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLRDC) මගින් සිදුකරන සැලසුම් සහ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය (PRDA) මගින් සිදුකරන ඉදිකිරීම් හා නඩත්තු කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමු විය.

​ව්‍යාපෘතියේ කටයුතු ඉතා කඩිනමින් හා ප්‍රශංසනීය ලෙස සිදුවන බව මෙහිදී පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ඊට අදාළ සියලු රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව සහ දේශපාලන අධිකාරිය සමග එක්ව කටයුතු කිරීමට නිලධාරීන් දක්වන උනන්දුව විශේෂයෙන් ඇගයීමට ලක් කළාය.

​එසේම, මෙම වසරේ අවසාන භාගයේදී බස්නාහිර පළාතට ඇතිවිය හැකි වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රැසකට මුහුණ දීමට සිදුවන ජලගැලීම් පාලනය කිරීමට සහ එමගින් සිදුවන බලපෑම් අවම කරගැනීමට දැනට සිටම පියවර ගැනීමේ වැදගත්කම පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

​මෙම සාකච්ඡාව සඳහා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මාර්ග අනුකමිටු සභාපති දේවානන්ද සුරවීර, දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති පැරකුම් ශාන්ත, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.ජී. ප්‍රදීප් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...