සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවුනා.
සිවරාසා අනෝජන්ගේ පියා වන තම්බිරාජා සිවරාසා, මව වන රාසමානික්‍යම් යෝගලක්ෂ්මි සහ සහෝදරයා වූ සිවරාසා හම්සිදන් ඇතුළු පවුලේ ඥාතින් එම පිරිසට අයත් වුනා.
ඔවුන් සමඟ සිදු කළ සාකච්ඡාව අතරතුර සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන අමීර් අජ්වාඩ් මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් සජිත් ප්‍රේමදාස මහතා අනෝජන් ගේ නිදහස සම්බන්ධයෙන් රටක් ලෙස අපට ගතහැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ජා කළා.
ඊට අමතරව දැනට සෞදි බන්ධනාගාරයේ සිටින සිවරාසා අනෝජන් මහතාට ද දුරකථනය ඔස්සේ කතා කර ගනිමින් ඔහුගේ තත්ත්වය සොයා බැලූ සජිත් ප්‍රේමදාස මහතා ඉන් අනතුරුව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය සම්බන්ධ කරගනිමින්, අදාළ නීතිමය තත්ත්වය සහ සිවරාසා අනෝජන් නිදහස් කරගැනීම සඳහා රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද සොයා බැලුවා.
විදෙස්ගතව සිටිමින් තම රට වෙනුවෙන් ශ්‍රමය කැප කළ ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ නිදහස උදෙසා කළ හැකි උපරිම දේ සිදු කිරීමටත්, අදාළ පාර්ශව වල අවධානය ඒ වෙනුවෙන් අඛණ්ඩව යොමු කරවමින්, ඔහු නිදහස් කර ගැනීම සඳහා අඛණ්ඩව සහය ලබාදෙන බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී සහතිකයක් ලබාදුන්නා.


