ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:කරුණු කිහිපයක් මුල්කරගෙන ජන අරගල සන්ධානය විසින් නොවැම්බර් මාසයේ මුල් සතියේදී විරෝධතා සතියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ජන අරගල සන්ධානය ජාතික විධායක සභික දුමින්ද නාගමුව පවසන්නේ ජීවන වියදම විශාල ලෙස වැඩි වීම මුක්කරගනිමින් එම විරෝධතාව සංවිධානය කරන බවයි.
මේ බදු පීඩනය දැඩි වී තිබෙන අතර ආහාර මත පනවා ඇති බදු මෙන්ම සෞඛ්‍ය උපකරණ හා සේවාව මත පනවා තිබෙන වැට් බදු ඉවත් කරන ලෙස බලකරන බව දුමින්ද නාගමුව සඳහන් කරයි.
මේ අතර 2020න් පසු විශ්‍රාම ගිය අයගේ විශ්‍රාම වැටුප මේ වන විට ප්‍රමාණවත් නොවන හෙයින් එය අද ඇති ජීවන අංකයට ගලපන ලෙසත් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියි.
එමෙන්ම අර්ථ සාධක අරමුදල හාම්පුතුන්ට භාර දීම වෙනුවෙන් මේ වන විට කම්කරු දෙපාර්තමේන්තුව යෝජනාවක් සකස් කරමින් සිටින බවත් වහාම එය නතර කරන ලෙසත් බලකරන බව දුමින්ද නාගමුව කියා සිටියි.
ඒ අනුව මෙකී කාරණා මුල්කරගනිමින් අදාළ විරෝධතා සතිය පැවැත්වෙනු ඇත.


