සටහන – රුවන් නෙළුගොල්ල
ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක වෙනුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ඇප තැබූ මුදල් රාජසන්තක කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (30) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව ප්‍රියංකා නියෝමාලි විජේනායක රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබුණු නමුත් මේ වනවිට ඇය අධිකරණය මගහරිමින් විදේශගතව සිටින බව සඳහන්. ඒ අනුව ඇයව අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති අතර, එය ජාත්‍යන්තර පොලීසිය වෙතද යොමුකිරීමට පියවරගෙන තිබේ.
ඊයේ දිනයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී ඇපකරුවන් තම නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ ප්‍රියංකා නියෝමාලි නමැති සැකකාරිය තම සැමියා සියදිවි නසා ගැනීම සහ ඇයගේ ජීවිතයට ඇති අසීමිත බිය හේතුවෙන් මෙරටට පැමිණීමේ බියෙන් පසුවන බවත්, මේ මොහොතේ සැකකාරිය තම පාලනයෙන් තොර බවත් ය. ඒ අනුව ඇපකරුවන්ට සහනයක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටින ලදී.
එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඇප ලබා විදේශ ගත වී සිටින අදාළ සැකකාරිය, ඇයගේ සැමියා වන කපිල චන්ද්‍රසේන මිය යාමට පෙරද අධිකරණය මග හැර වරෙන්තු නිකුත් වී ඇති බවයි.
ඒ අනුව ඊයේ දිනයේදී රුපියල් මිලියන 20ක් ගෙවන බව ඇපකරුවන් විසින් දැනුම් දුන් අතර ඉතිරි රුපියල් මිලියන 20 ගෙවීම සඳහා ඔවුන්ට ඔක්තෝබර් 14 වනදා දක්වා කල් ලැබුණි.


