සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : යුක්‍රේන යුද්ධය මධ්‍යයේ රුසියානු ස්වාභාවික ගෑස් යුරෝපයට සැපයීම යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා පැවැත්වෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
ජර්මනියට ගෑස් සැපයීම සඳහා භාවිත කළ නෝර්ඩ් ස්ට්‍රීම් (Nord Stream) නළ පද්ධතියට ඇමෙරිකානු ආයෝජකයකු සම්බන්ධ කර ගැනීම පිළිබඳව දෙරටේ නියෝජිතයන් සාකච්ඡා කර ඇති අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ජැරඩ් කුෂ්නර් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උපදේශක කිරීල් දිමිත්‍රිව් ද මෙම සාකච්ඡාවලට සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, රුසියානු ගෑස් සැපයුම් සම්බන්ධ සම්බාධක සහ ජර්මනිය ඇතුළු යුරෝපා රටවල විරෝධය මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට බාධාවක් වී තිබේ.
2022 වසරේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු නෝර්ඩ් ස්ට්‍රීම් නළ පද්ධතියට සිදු වූ පිපිරීම් හේතුවෙන් එහි ගෑස් සැපයුම් අඩාල විය.
මේ අතර, රුසියානු බලශක්ති සමාගමක් වන ලුකොයිල් සතු ව්‍යාපාරික වත්කම් මිලදී ගැනීම පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවතින බව වාර්තා වේ. කෙසේ වෙතත්, ගෑස් සැපයුම් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවක් ඇති වී නොමැත.

