ජැක්සන් ඇන්තනී ජීවිතය සහ මරණය අතර සැරිසැරීම අවසන් කර බව නිවේදනය කර ඇත.මරණය හමුවේ ආශ්චර්යයක් වෙනු ඇතැයි ජැක්සන් වෙක ලබා දුන් අතිරේක කාලය හානි කළේ ඔහුටමය.මේ රටේ ජනතාව අප්‍රමාණ වින්දන පරාසයක රැඳ වූ අපූරු රසවතෙක් වූ ජැක්සන් අතිනි සිඳු වූ දේශපාලන වැරදි අභිබවා මිනිසුන්ගේ හදවත් තුළ ඔහුව රැදී ඇදී බැදී තිබුණේ ඔහුගේ නිසර්ග කලා කුසලතාවයන් නිසාය.
නමුත් ඒ සියල්ල ජැක්සන්ට දුන් අතිරේක කාලය තුළ එළියට ඇදිණ.මිනිහෙක් මැරෙන්න දිය යුතුය යන්න යෝජනා නොකළ ද,සමාජමය වශයෙන් තර්කය වූයේ ඔහු නිසා වෙන කිසිවෙක් මිය නොයා යුතු බවය.එහි වරදක් නැත.නමුත් සහෘද ඥාතීත්වයන්ට එම තීරණය ගැනිමට හැකියාවක් ඇතැයි තර්ක කර පළක් නැත.ඇත්ත තත්ත්වය තේරුම් ගෙන එය කළ යුකුව තිබුණේ රෝහල් පරිපාලනයය.සමහර විට එයට බලපෑම් එල්ල වන්නට ඇත.
කෙසේ වුවත් ජැක්සන් යනු අසම සම මිනිසෙක්ය.විවිධ වූ හැකියාවන් සහිත මේ මිනිසා දෙස් – විදෙස් රංග සම්ප්‍රදායන් සියල්ලෙහි කෙළ පැමිණි සමතෙක්ය.ප්‍රතාභව සම්බන්ධයෙන් තිබිය යුතු සියල්ල ඔහු තුළ විය.ඉතා සියුම්ව මිනිසුන්ගේ ආකල්ප ස්පර්ශ කර ඒවා ප්‍රකාශිත අදහස් වෙක නමනීය කර ගැනීමේ හැකියාව ජැක්සන්ට හොඳින්ම තිබිණි.ඔහු දේශපාලනය විසින් භාවිතයට ගත්තේ ද ඒ නිසාය.එයින් ඉලැයූ ප්‍රමාණය කොතෙක් වුවත්,එයින් ඔහු අහිමි කර ගත් ආදරය ඒ මුදල්වලට කවදාවත් මිලට ගන්න නොහැකිය.
ජැක්සන් ඇන්තනි යන්නට පනාපුත්‍ර කුහුඹුපැණියා යන්න පරිවර්ථනය කර දුන්නේ දයානන්ද ගුණවර්ධන සූරීන් බව කොතැනක හෝ ජැක්සන්ම කියා ඇති බව මතකය.(සමහර විට එය නිවැරදි නොවේනම් සමාව අයදිමි.) කෙසේ වුව ඊඑම්ඩී උපාලිගේ මෙතනින් මාරුවෙනු නාට්‍යයෙන් කරළියට සපැමිණි ජැක්සන්ගේ ප්‍රසිද්ධ වේදිකා ඇගයුම් අතර ඔහුගේ සූරත්වය පළමු කොට සූරා ගත්තේ දයානන්ද ගුණවර්ධන සූරින් විය යුතුය.
වේදිකාවේ ජැක්සන්මය මංතීරුවක් වෙනම සැකසී තිබිණ.ජයන්ත චන්දුසිරි,ධර්මසිරි බණ්ඩාරනායක,සරත්චන්ද්‍රයන්,සුගතපාල ද සිල්වා ආදී මේ සියළුම විවිධ ගණයේ නිර්මාණකරුවන්ට ජැක්සන්ගෙන් ගන්න දෙයක් තිබිණ.ජැක්සන්ට දෙන්න දෙයක් තිබිණ.ඔහු කුහුඹුවෙක් මෙන් රසගුලාවන් හී රිංගුවේය.රසම පමණක් නොව නැණ ද උකහා ගත්තේය.ඇවිදින විශ්ව කෝශයක් තරමට පළල් වූ ඔහුගේ කතාවන් වැරදි දෙයක් වුව තාර්කිකව පුමඹා ගන්නට ඇති හැකියාව පසු කලෙක දේශපාලනය තුළ දිය කර හැරීම කණගාටුදායකය.
ඔහු දක්ෂ රංගන ශිල්පියෙක් විය.වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක් විය.අධ්‍යක්ෂවරයෙක් විය.නමුත් ඔහුගේ රස ගුලාවේ ඇති රස සහ නැණ එකතු වී සැකසි මී බිඳු ජන මනසට ගැලුවේ ඟඟ දිගේ වැනි වැඩ සටහන් ඔස්සේය.එහිදී මහා පළල් දැණුමක් ඔහු පළල් සමාජයක විවිධ දැණුම් ස්ථර සියල්ලට විඳ ගන්නට හැකි අන්දමට ඉදිරිපත් කළේ ඔහුගේ ජන විඥානයේ වර්ගපලයේ විශාලත්වය කදිමට පෙන්වමින්ය.
ජැක්සන් හා සසඳද්දී ඔහුට වඩා ලක්ෂවාරයකටක් වඩා කුඩා මිනිසුන් තුළත් යම් කිසි බියක් ඒ මරණයේ ස්වභාවය විසින් ඇති කරනු ලැබීය.මිනිසෙක් සිහිසන් නොමැතිව මරණය කරා යාමේදී ඔහු සිිහියෙන් කළ අපූරු බොහෝ දේ ඔහු ගැන තීරණ ගැනීම ඔහුගේ පාලනයෙන් මිදුණු කළ වෙනස් විය හැකිය යන්න ඒ බියය.එයින් මරණය කරා යා යුතු මිනිසාට හිමි ගෞරවය බොහෝ සෙයින් හීන වන්නේය.
ජැක්සන් කළ රූපමය සත්කාර බොහෝමය.එහෙත් ඒවායේ ජීවය රැදුණු ඔහුගේ හඬ පෞරුෂය රුපය ඉක්මවා මිනිසුන්ගේ සිත් තුළ රැඳෙනු ඇත.එය ඒ තරම්ම බරය.ජැක්සන් ලස්සන රඟන කොටය.ඔහු රූප සම්පත්තියක් ඇති නළුවෙක් වුව,ඔහුට වඩා රූප සම්පත්තිය ඇති අයෙක් පවා රංගනයේදී අවලස්සන කළ හැකි ප්‍රතිභාවක් ජැක්සන්ගේ නළුකමේ තිබිණ.ඒ ඔහුගේ දැණුම විසින් සහ අත්දැකීම් විසින් සකස් කර ගත් අධ්‍යාත්මයේ ගැඹුර නිසා ලැබුණ දෙයක්ය.
ආදරය ලබන්න හොඳටම කුසලතා තිබුණ ජැක්සන් ජීවිතයේ ලබන්නට හැකි බොහෝ ගෞරව සම්මාන නො’අඩුව ලද්දෙක්ය.ඒවා වරදාන වරප්‍රසාද නිසා නොවේය.ඔහුගේ හැකියාවට කුසලතාවයට නොදී බැරි වූ දේ ය.එහෙත් සර්ව සම්පූර්ණ මිනිස්සු නැති බව අපි දනිමු.ඔහු පියව් ලෝකයෙන් ඈත්ව විශාල කාලයක් තිස්සේ රැදුන ලෝකය ගැන දුකය.ඒ දුක ඔහුගේ නමට දුකක් නොවී මීට වඩා ගෞරව සමුගැනීමකට යා යුතුව තිබිණි.
අවසානයට මේ සටහනට ඔහුගේ නික්ම යාම ගැන චන්දන සිරිමල්වත්ත තැබූ සටහනක අවසානය එකතු කිරීම සදාකාලිකව කාට වුව වටින බව සිතමි.
“ඒත් සහෘදයනි
කළ දේවල් වෙනස් කරන්න කාලය ඉතුරුයි.
ජැකා අපට ඉතිරි කළ දේ ගන්නත්
ජැකා නොකළ යුතුව තිබුණ දේ ඉගෙන ගන්නත් වග බලා ගනිමු !
සටහන – නිෂ්මං රණසිංහ