*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ජනාධිපතිගේ චීන සංචාරයෙන් පසු රටේ ප්‍රබල වෙනසක් – ඡන්ද ක්‍රමයේ වෙනසට නීති මත විමසීමක් – අවුරුදු 36 ක් පැරණි 13 – ඉන්දියාව ඇමරිකාව හා චීනය බැලන්ස් කරන්න රනිල්ට පුලුවන් ද?

  • ජනාධිපතිගේ චීන සංචාරයෙන් පසු රටේ  ප්‍රබල වෙනසක්
  • ඡන්ද ක්‍රමයේ වෙනසට නීති මත විමසීමක්
  • අවුරුදු 36 ක් පැරණි 13
  • ඉන්දියාව ඇමරිකාව හා චීනය බැලන්ස් කරන්න රනිල්ට පුලුවන්ද?
  • එජාපයේ දැවැන්ත වෙනසක්
  • සජිත්ට ADB  ආධාර

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන ජනමත විචාරන ආදී සියලු තුරුම්පු විටෙක අත්හදා බලමින් ද තවත් වරෙක එවැනි දේ සම්බන්ධයෙන් ජනතා මතය පරීක්ෂා කරමින් ද සිටින බව පෙනේ. මේ තත්ත්වය හේතුවෙන් දේශපාලන පිටිය දිනෙන් දින උණුසුම් වෙමින් පවත්න්නේ හෙට දවසේ කුමක් සිදුවේදැයි අනුමාන කිරීමට පවා අසීරු ලෙසට ය.

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නැවතත් පූර්ණ බලැති අගමැති තනතුරක් ස්ථාපිත කිරීමට අදාළව කෙටුම්පත් කරන ලද නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව වෙත ජනාධිපති කාර්යාලයේ නීති අංශයෙන් නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට යවා ඇති බවට රාවයක් පවතී.

මෙම කෙටුම්පතේ විශේෂ අන්තර්කාලීන විධිවිධානයක් ඇතුළත් කර ඇති බවට පැවසෙන අතර ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන තැනැත්තා අග්‍රාමාත්‍ය ධූරයට පත්විය යුතු බව දක්වා තිබේ. එසේම නාමමාත්‍ර ජනාධිපති ධූරයක් ස්ථාපිත කිරීම ද එහි තවත් යෝජනාවකි. කෙසේ වුව ද පාර්ලිමේන්තුවේ එක ආසනයක් පමණක් සහිත එක්සත් ජාතික පක්ෂයට මෙවැන්නක් සම්මත කර ගැනීම අපහසු වනු ඇත්තේ ඒ සඳහා පොහොට්ටුවේ යම් පිරිසක් එකඟ කර ගත්ත ද අද වන විට සමස්ත පොහොට්ටුව කොටස් කීපයකට කැඩී ඇති බැවිනි. අනෙක් අතට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සැබෑ උවමනාවක් මේ බොහෝ දෙනෙකුට නොමැති අතර අවශ්‍ය ව ඇත්තේ මැතිවරණ කල්දැමීම හෝ එසේත් නැතිනම් යම් යම් පිරිස් බලයට පත්වීම වැලක්වීම හෝ එසේත් නැතිනම් අතිශය පෞද්ගලික කාරණා පමණි.

කෙසේ වෙතත් යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අනුව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 4 සහ වගන්ති අංක 30 සිට 41 දක්වා වන විධායක ජනාධිපති ධූරයට අදාළ වගන්ති සංශෝධනය කෙරෙනු ඇතැයි පැවසේ. නීති කෙටුම්පත් සම්පාදන කාර්යාලය විසින් මෙම කෙටුම්පත අනුමත කළ පසු නීතිපතිගේ සහතිකය ඊට ලබාගැනීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇත.

පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙලෙස සංශෝධනය කිරීමට නම් මැතිසබයේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක අනුමැතියෙන් සහ අධිකරණ තීන්දුව මත ජනමත විමසුමකින්ද එය අනුමත විය යුතු බව නීති අංශ පවසයි.

යලිත් ආසන ක්‍රමය …………

එසේම මෙම ව්‍යවස්ථා සංශෝධනයට සමගාමීව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සහ පාර්ලිමේන්තු සංයුතිය වෙනස් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දැනටමත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇත. එනිසා ඉදිරි කාලයේ දී මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුළුල් වෙනසක් සිදුකිරීමට රජය උත්සාහ දරමින් සිටින අතර විපක්ෂය පවසන්නේ මැතිවරණ වලට ආණ්ඩුව බියක් දක්වන නිසා මැතිවරණ කල් දැමීමට මෙසේ කටයුතු  කරන බව ය.

කෙසේ වෙතත් අදාළ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම,  සීමා නිර්ණ කොමිසමක් හරහා සිදු කිරීමට යෝජනා වී තිබීම හරහා ඊට කලක් ගතවීම මැතිවරණ කල්යාමට හේතුවක් වන බව දේශපාලන අංශ වල මතයයි. ඒ යටතේ ආසන 225 න් 160 ක් ආසන මට්ටමින්ද සෙසු 65 සමානුපාතික ක්‍රමයෙන්ද බෙදී යනු ඇත. ආසන 160 ක ප්‍රමාණය 1977 තෙක් පැවති  ක්‍රමය වන අතර තවමත්  දේශපාලන පක්ෂවල ආසන සංවිධායකවරුන් පත් කෙරෙන්නේ එම ක්‍රමය අනුව ය.  ඉතිරි 65 ක ප්‍රමණය සඳහා ජාතික ලැයිස්තුව හෝ පක්ෂ මගින් නම් කිරීමක් සිදු කළහොත් මහජන කැමැත්තකින් තොරව පක්ෂ නායකයන්ගේ ගෝලබාලයන් හෝ ඔවුන්ගේ සමීපතමයන් ඒ හරහා පාර්ලිමේන්තුවට පැමිණීම සිදුවේ. දිස්ත්‍රික්ක මට්ටමින් ජයගන්නා පක්ෂ වලට අදාළ ආසන හිමිවන ක්‍රමයක් නිර්මාණය වන්නේ නම්  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රධාන පක්ෂ වලට පමණක් හිමිවී ප්‍රබල රජයන් බිහිවීමේ ඉඩකඩ පවතී. කෙසේ වෙතත් කුඩා පක්ෂ වලට පාර්ලිමේන්තුව නියෝජනය අහිමිවී යාම තුල තරුණ නැගිටීම් වලට ඇති අවස්ථා වැඩිය.

113 බහුතරය ප්‍රමාණවත්?

මේ කරුණු කෙසේ වෙතත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් එනම් 113 ක ගේ කැමැත්තෙන් සම්මත කර ගත හැකිය. මේ අතර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම හෝ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සිදු කරන්නේ නම් වහාම වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කල යුතු බවට මේ වන විට යෝජනා ඉදිරිපත් වී තිබේ. එම නිසා මේ සියලු යෝජනා මෙන්ම ඒ සඳහා ඉදිරිපත්ව ඇති මතවාද එකිනෙකට පරස්පරය. එසේ වී ඇත්තේ ද ඒ ඒ පිරිස්වල අරමුණු වෙනස් නිසාය. කෙසේ වෙතත් මතුපිටින් බැලූ විට මෙහි දැඩි ව්‍යාකූල බවක් ඇති අතර මේ වෙනස්කම් පසුපස සිටින්නන්ගේ අරමුණ ද ඇතැම් විට මේ ව්‍යාකූල තත්ත්වයම රට තුල ඇති කිරීම විය හැක.


1987 දී ගෙනා 13 වන සංශෝධනයක අවශ්‍යතාවය වර්තමානයට අදාළ ද?

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ප්‍රශ්නයද මෙවැන්නකි. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ 1987 දීය. එනම් දැනට වසර 36 කට පෙරය. එහෙත වර්තමාන තාක්ෂණයේ දියුණුවත් සමග අද එවන්නක අවශ්‍යතාවය සම්බන්ධයෙන් ගැටළු පවතී. 13 ඉල්ලන්නේ උතුරු නැගෙනහිර දේශපාලඥයන් සුළු පිරිසක් පමණි. එම ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවට ඒ ගැන වගේ වගක් නැත. යුද්ධය අවසන් නිසා සාමාන්‍ය ජනතාව එම ප්‍රදේශවල සතුටින් ජීවත් වෙති. එම ප්‍රදේශවල ජනතාවගෙන් සියයට අසුවකගේ පමණ පවුලේ සාමාජිකයකු හෝ සමීපතමයකු විදෙස් රටවල රැකියා කරති. එම නිසා රටේ සෙසු පළාත්වල ජීවත් වන ජනතාවට තරම් ජීවත්වීමේ අසීරුවක් උතුරු නැගෙනහිර බොහෝ දෙනෙකුට නැත. එහෙත් උතුරු නැගෙනහිර දේශපාලනඥයන්ට 13 අවශ්‍ය වේ. ඒ මැතිවරණ සටන් පාඨයක් ලෙස හෝ ඔවුන්ගේ බලය පවත්වා ගැනීම සඳහා ය. ඔවුන්ට බලය පවත්වා ගැනීමට ජාති හෝ ආගම් බේද සදාකාලිකව අවශ්‍ය වේ.

අනෙක් අතට අද තාක්ෂණය ඉතාම දියුණු ය. 1987 දී පැවතියේ මෙවන් තාක්ෂණික වශයෙන් දියුණු ලොවක් නොවේ. අද රටේ ඕනෑම තැනක සිට ඕනෑම සේවාවක් ලබා ගත හැකි පරිදි තාක්ෂණය දියුණු ය. පාස්පෝට් , රියදුරු බලපත්‍ර, හැඳුනුම් පත් ලබා ගන්නට එකල කොළඹට පැමිණීමේ අවශ්‍යතාවයක් පැවතිය ද අද එවැන්නක් නොමැත. අනෙකුත් අවශ්‍යතාද එලෙසම ය. අනෙක් අතට 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍යනම් රට තුල ජනමත විචාරණයක් පැවැත්විය හැක. එසේ නොමැතිව රටේ ජනමතය පිළිඹිබු නොකරන වර්තමාන පාරිලිමේන්තුව හරහා එය සිදු කරන්නට යාම යලිත් වරක් දීර්ඝ කාලීන ප්‍රශ්න රැසකට පාර කැපීමක් වනු ඇත.

රනිල්ගේ චීන ගමන ගැන ඇමරිකාව හා ඉන්දියාවේ දැඩි අවධානය

ජනාධිපතිවරයා මේ වන විට චීන සංචාරයක නිරතවී සිටී. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා චීනය සමග සමීප සම්බන්ධතා පැවැත්වීම ඉන්දියාව කෙසේවත් ඉවසන්නේ නැත. ඇමරිකා එක්සත් ජනපදය ද ඒ සම්බන්ධයෙන් දී විරෝධයක් දක්වයි. පසුගිය දිනවල මාලදිවයිනේ විපක්ෂය බලයට පත්වූ අතර එරට විපක්ෂය දැඩි චීන හිතවාදී පිරිසක් බව පැවසේ. බලයට පත්වූ වහාම එරට ඇතැම් දුපත්වල ඉන්දීය හමුදාව ඉවත් කරන්නට මේ පිරිස කටයුතු කළහ. මේ තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි කනස්සල්ලෙන් පසුවෙන බව නොරහසකි.

දකුණු ආසියාවේ චීන අත ගැසීම් සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි ස්ථාවරයක පසුවේ. මාලදිවයිනේ ඇතිවූ තත්ත්වය නිසා චීන හිතවාදී රජයක් ශ්‍රී ලංකාවේ බිහි නොවීමට ඉන්දියාව කළ හැකි සෑම දෙයක්ම කරනු ඇත. අනෙක් අතට ඉන්දීය මහමැතිවරණය ද ආසන්නයේ පවතින නිසා ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය දෙපාරක් සිතන්නේ නැත. කැනඩාව සම්බන්ධයෙන් දැනට ඉන්දියාවේ දැඩි  ස්ථාවරය එරට ජාතිවාදී කණ්ඩායම්  කුල්මත් කර තිබේ. එම නිසා චීනය සමග කටයුතු කිරීමේදී ඉන්දියාවේ කෝපයට ලක් නොවන පරිදි කටයුතු කලයුත්තේ එක පැත්තකින් අපගේ සමීපතම අසල්වැසියා වන අතරම ඉන්දියාව ලෝක බලවතකුද වන නිසාය.

ඉන්දියාව – චීනය හා ඇමරිකාව බැලන්ස් කරන්න රනිල්ට පුලුවන්ද?

ලොව අත්දැකීම් බහුල නායකයන් අතරින් රනිල් වික්‍රමසිංහට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. සැමදාම රනිල්ගේ මතය වුයේ සියලු ප්‍රධාන රටවල සහයෙන් ශ්‍රීලංකාව දියුණු කල යුතු බවය. එහෙත් වර්තමාන ලෝක තත්වය අනුව මේ සියලු දෙනා බැලන්ස් කිරීම පහසු කටයුත්තක් නොවේ.

ජනාධිපතිවරයාගේ චීන සංචාරය චීන ණය ප්‍රති ව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉතාම වැදගත් ය. චීනය නොමැතිව එය කල නොහැක. එහෙත් චීන ණය උගුලේ යලිත් නොවටෙන්නටද ජනාධිපතිවරයා වග බලාගත යුතුය. අනෙක් අතට ලබන වසරේ ශ්‍රීලංකාවේ මැතිවරණ පැවැත්වෙන නිසා එහිදීද මේ සියලු රටවල් තීරණාත්මක කාර්යයක් ඉටු කරනු ලබයි. ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත්භාවයට පත්වූ අවස්ථාවේ චීනය තීරණාත්මක ලෙස ශ්‍රී ලංකාවට උදව් කලේ නැත. එහෙත් රනිල් සමග නව ගමනක් ආරම්භ කරන්නට දැන් චීනය බලා සිටිනවා වන්නට ද පුළුවන. එම නිසා රනිල් තමන් වෙත දිනා ගන්නට චීනයද හැකි සියලුදේ කරනු ඇත. එහෙත් චීනය බේරාගෙන ඉන්දියාව හා ඇමරිකා එක්සත් ජනපදය තරහ කර ගැනීමද අතිශය භයානකය. එම නිසා රනිල් කල යුත්තේ සියලු පාර්ශව බැලන්ස් කර ගැනීමය.

චීනයට යන්න කලින් ඉන්දියාව සමග ගිවිසුම්

ඉන්දියා සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුව ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු අතර දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන නව ද්විපාර්ශවික ගිවිසුම් තුනකට එහිදී අත්සන් තැබිණි.

එසේම ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරට ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කිරීම ද මෙහිදී සිදු විය. නිවාස දස දහසකින් යුත් මෙහි හතරවන අදියරේ එක් නිවාස ඒකකයක් සඳහා රුපියල් මිලියන 1.026ක මුදලක් වෙන් කර තිබුණ ද නිවාස ඒකකයක් සඳහා වන පිරිවැය ඉහළ යාම හේතුවෙන් එය රුපියල් මිලියන 2.8ක් දක්වා සංශෝධනය කිරීමට අදාළ ගිවිසුමට එළැඹීම සිදු විය.

ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි නගා සිටුවීම වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘති නවයක් කඩිනමින් අවසන් කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැපයීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙන අතර ඊට අදාළ ගිවිසුමට ද මෙහිදී එළැඹිණි. මේ යටතේ උතුරු පලාතේ පාසල් 27ක් නවීකරණය කිරීම, මන්නාරම සහ අනුරාධපුර නිවාස ව්‍යාපෘති, හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය විද්‍යලය වැඩිදියුණු කිරීම, පොළොන්නරුවේ බහු – වාර්ගික ත්‍රෛයිභාෂා පාසලක් ඉදිකිරීම, යාපනය ප්‍රදේශයේ වර්ෂා ජලය රැස් කිරීමේ ව්‍යාපෘති 2889 ක් ඉදිකිරීම, දඹුල්ල ප්‍රදේශයේ එලවලූ සහ පළතුරු කල් තබා ගැනීම සදහා මෙට්‍රික් ටොන් 5000 ක ධාරිතාවයෙන් යුත් ශිතාගාර පහසුකම් ඉදිකිරීම, මඩකලපුව ශික්ෂණ රෝහල සඳහා නව ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදිකිරීම යන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉන්දියාවේ ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනය (අමුල් ව්‍යාපාරය) සහ ශ්‍රී ලංකාවේ කාගිල්ස් සමූහ ව්‍යාපාරය, ඉන්දීය ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට ද මෙහිදී එළැඹිණි.

රනිල් වෛද්‍ය සංගම් හා විශ්ව විද්‍යාල ආචාර්ය සංගම් අතර සාකච්ඡා

ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගම් අතර සාකච්ඡා මේ සතියේ පැවැත්විණි.

බුද්ධි ගලනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් මෙන්ම වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා සංශෝධන ඇතුළු කරුණු 08කින් යුත් යෝජනාවලියක්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබිණි.


සිය චීන නිල සංචාරය නිම කොට නැවත පැමිණිමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හමුවී එම කරුණු පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය.

එසේම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වර්තමානයේ මුහුණදී ඇති ගැටළු සම්බන්ධයෙන් ඔවුහු මේ සතියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වුහ. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පර්යේෂණ දීමනාව පවතින බදු ප්‍රතිපත්ති වලින් නිදහස් කර ගෙවීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සොයා බලා සති තුනක් ඇතුළත වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මෙහිදී  අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

උගතුන් හා සාමාන්‍ය ජනතාව

මේ පාර්ශව දෙකම රටේ වගකිවයුතු සේම බලවත් පාර්ශව දෙකකි. එසේම උගතුන් ගෙන් සමන්විත මේ සංගම් දෙකේම සාමාජිකයන්ට රට අද පවතින තත්ත්වය ගැන මනා අවබෝධයක්  ඇති බව අපගේ පිළිගැනීමය. නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය  ලබා අද රටේ ඉහලම ස්ථානවල සිටින මොවුන්ගේ ඉල්ලීම් මේ මොහොතේ ලබා දෙන්නට රජයට ආර්ථික ශක්තියක් නොමැත. අනෙක් අතට මේ සංගම් රජයෙන් ඉල්ලන ඉල්ලීම් ලබා දුනහොත් රටේ අනෙකුත් සියලු වෘත්තීය සමිතිද වැඩි වැටුප් ඉල්ලා පාරට බසිනු ඇත. අනෙක් අතට මේ පිරිස් ලබන වැටුප් හා මුහුණ දෙන අසීරුතාවන්ට සාපේක්ෂව ගත්විට වර්තමානයේ එමෙන් සිය ගුණයක බලපෑමක් සාමාන්‍ය ජනතාවට තිබේ. එහෙත් සාමාන්‍ය ජනතාවට හඬක් නොමැත. ඔවුන්ගේ වර්ජන තර්ජන රජයට දැනේනේ ද නැත. එහෙත් රටේ දැන් ඇතිවී තිබෙන ඇති නැති පරතරය හා ආර්ථික ප්‍රශ්න තුල ඇතිවන සමස්ත සමාජයේ වෛරයට භාජනය නොවන පරිදි තම ගැටළු විසඳා ගැනීමට මේ උගත් පිරිස් කටයුතු නොකළහොත් සමාජය තුළ කවර තත්ත්වයක් ඇති වේ දැයි කිව නොහැක. මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ සමස්ත ජනතාවට සහන ලැබෙන ක්‍රමවේදයක් මිස එක් එක් වරප්‍රසාද ලාභී පාර්ශව වෙත සහන ලබාදීම නොවේ. සාමාන්‍ය ජනතාව කන්න නොමැතිව සිටින රටක උගතුන් වාහන පර්මිට්, වැඩි වැටුප්, වරප්‍රසාද, ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර ආදිය ඉල්ලීම එක අතකින් පුදුම සහගතය. ලොව කිසිදු දියුණු රටක උගතුන්ට මහජන මුදලින් මෙවැනි වරප්‍රසාද නොමැත.

වෛද්‍ය හා දන්ත වෛද්‍ය වෘත්තීන් සඳහා වර්තමානයේ බොහෝ වරප්‍රසාද හිමිවන බව නොරහසකි. සැබවින්ම වෛද්‍යවරු හා දන්ත වෛද්‍යවරු  සඳහා අතීතයේ විශේෂ වරප්‍රසාද නොතිබිණි. එම ක්ෂේත්‍රවල වෘත්තීය සමිති වල නායකයන් ලෙස කටයුතු කල රාජිත සේනාරත්න , ලලිත් චන්ද්‍රදාස හා අනුරුද්ධ පාදෙණිය දැනට වෛද්‍ය වෘත්තිකයන් භුක්ති විඳින බොහෝ වරප්‍රසාද ලබාදීමට මුලිකව කටයුතු කළහ.


රනිල්ගේ චීන සංචාරයෙන් පසු රටේ දැවැන්ත වෙනසක්

මේ අතර චීන සංචාරයෙන් පසුව තම ඉදිරි දේශපාලන කටයුතු මුලික කර ගෙන සමස්ත පාලන තන්ත්‍රයේම පුර්ණ වෙනසක් කරන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රධාන පෙලේ වෙනස්කම් ගණනාවක් සිදු වීමට නියමිතය.

පොහොට්ටුවෙන් මෙතෙක් අවස්ථා ගණනාවකදී ඉල්ලා තිබු පරිදි  අයවැයට පෙර ඇමති මණ්ඩල සංශෝධනය සිදු වීමටද නියමිතය. ඒ අනුව ඉදිරි කටයුතු පොහොට්ටුව සමග පූර්ණ එකඟතාවයක් ඇතිව සිදු කරන්නට නියමිත බව පැවසේ. මේ සඳහා මෙතෙක් පැවති  යම් යම් බාධා ඉවත් කර ඊට සුදුසු පුද්ගලයන් සුදුසු ස්ථාන වලට පත් කරන්නටද නියමිතය.

සජිත්ගේ මැදිහත්වීමෙන්  ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීම පරිදි ආසියානු සංවර්ධන බැංකුව  ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ගේ ගැටළු විසඳීම සඳහා ඇමරිකානු  ඩොලර් මිලියන 100 ක් ලබාදී තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සුබසිද්ධිය උදෙසා විශාල ශක්තියක් ලබා දෙන බවත් ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු  ඩොලර් මිලියන 100ක  මුදලක් අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන්ගේ ගැටලු විසදීම සදහා ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සමඟ පැවැති හමුවක දී ය.

මෙම මුදල National Credit Guarantee Institution හරහා සහ අපේ රටේ බැංකු පද්ධතියේ ඇති බැංකු 13ක් හරහා ප්‍රාග්ධනය ලෙස ලබා දෙන අතර එය තුළින් මෙරට කුඩා ක්ෂුද්‍ර මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය ගැරන්ටි කිරීමේ වැඩපිළිවෙළක් සහ සහන පොලියකට ණය ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මෙහි දී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් කියා සිටියේ මින් පෙර නුවූ විරූ පියවරක් ගනිමින්, මේ වන විට බොහෝ සෙයින් බැටකමින් සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය මුහුණ පා ඇති දිගුකාලීන අභියෝග සඳහා විසඳුම් සෙවීම පිණිස වූ ප්‍රායෝගික ස්ථාවරයක් විපක්ෂ නායකවරයා විසින් ගනු ලැබ ඇති බවත් ක්‍රමෝපායික මූලාරම්භය තුළ ආර්ථික ගැටලු‍ විසඳීම සඳහා නායකවරයා තුළ පවත්නා කැපවීම ඉස්මතු කරනු පමණක් නොව, එමඟින් ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයන් වෙතින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් හා සහාය ද ලබාගැනීමේ එකාබද්ධ ප්‍රයත්නයක් ද පෙන්නුම් කරනු ලබන බවත් ය.

දුෂණ වංචා තුරන් කරන්නට  මුළු රටම ඩිජිටල්කරණයට සජිත් ගෙන් යෝජනා

දූෂණය වංචාව ඉහවහ ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරා කන අන්ත දුෂිත තත්ත්වයක් මතුව ඇති බවත් වත්මන් රජය හොර පාරෙන් හොර ක්‍රමවේදයකින් හොර සමාගමක් හරහා හොර පිළිකා බෙහෙතක් ගෙන්වා ඇති බවත් මේ බෙහෙත නිසා සුවවිය හැකි පිළිකා රෝගීන් පවා අනිවාර්යෙන් මිය යන බවත් මෙවැනි සාපරාධි ක්‍රියා සිදු කරමින් මුදල් හම්බකරන බඩගෝස්තරවාදී දේශපාලනය අප රටින් තුරන් වීමට ඩිජිටල්කරණය අත්‍යාවශ්‍ය බවත් එය පාසල් පද්ධතිය, සෞඛ්‍ය පද්ධතිය, රාජ්‍ය පරිපාලනය තුළ අනිවාර්යෙන් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එවැනි ඩිජිටල්කරණයක් ක්‍රියාත්මක කිරීමට ඉංග්‍රීසි භාෂාව, පරිගණක හා තොරතුරු තාක්ෂණය හොදින් ඉගෙන ගත් දරු පරපුරක් රටට අවශ්‍ය බවත් එවැනි දරු පරපුරක් ශක්තිමත් කිරීමේ අරමුණින් සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 35 වැනි අදියර යටතේ රදම්පළ සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට එක්වෙමිනි.

එමෙන් ම රටේ ඇති බදු බර හේතුවෙන් උගතුන් බුද්ධිමතුන් රට හැර යාම නිසා බුද්ධි ගලනයක් සිදු වන බවත් මෙවැනි රටක රාජ්‍ය ආදායම හා බදු එකතු කිරීම ඩිජිටල්කරණය කිරීමට උත්සාහ කරද්දි පවා වැඩ වර්ජනය කරන බවත් ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආර්ථික කේන්ද්‍රස්ථාන සියල්ලක්ම ඩිජිටල්කරණයට ලක් කළ යුතු බවත් ඒ තුළ හොරකම වංචාව අහෝසි වන බවත් ඒ තුළ වගකීම, වගවීම, පාරදෘෂ්‍යභාවය හා විනිවිදභාවය ඉස්මතු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක සක්වල බස් රථ වැඩසටහන යටතේ මේ වන විට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් රජයේ පාසල් 80කට ලබා දී ඇති අතර ඒ සදහා රුපියල් 389,200,000 ක මුදලක් වැය වී තිබේ. එසේම සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 35කට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සදහා රුපියල් 31,128,650.00 ක මුදලක් සහ හුස්ම වැඩසටහන යටතේ රෝහල් 56කට රුපියල් 171,966,900 වටිනා ඖෂධ හා රෝහල් උපකරන ලබා දී තිබේ. රාජ්‍ය බලයක් නොමැතිව විපක්ෂ නායකවරයකු විසින් රටේ මෙවැනි ව්‍යපෘති සිදු කරන පළමු වතාව මෙයයි.


හරින් – මනුෂ – ඩයනා  ගේ මන්ත්‍රී ධුර ගැන අවධානය

නසීර් අහමඩ්ගේ මන්ත්‍රීධුරය අහිමිවීමෙන් පසු  හරින් ප්‍රනාන්දු , මනුෂ නානායක්කාර සහ ඩයනා ගමගේ යන  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් ඇතිවී තිබේ.

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම  පසුගිය  සතියේ  ආරම්භ කෙරුනු අතර එහි තීන්දුව  ලබන මස මැදදී ලැබීමට නියමිත බව පැවසේ.

අදාළ අමාත්‍යවරුන් විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම් ගොනුකර තිබේ.

විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුනු අතර  වැඩිදුර පෙත්සම් විභාගය ලබන 24 වනදා තෙක් කල්  තැබුණි.

පොදු ජන පෙරමුණත් මන්ත්‍රීවරු මට්ටුවකට සැරසෙයි?

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද එම පක්ෂයේ  මන්ත්‍රීන් විසි පස් දෙනකුට පමණ එවැනි විනය ක්‍රියාමාර්ග ගැනීමට සලකා බලමින් සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විනය කඩ කර ඇති බවත් ඉන් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විපක්ෂයට ද එක්ව සිටින බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ ප්‍රබලයකු පැවසීය. විශේෂයෙන්ම උත්තර සන්ධානයයේ ප්‍රබලයකු මේ අයගේ ප්‍රධාන ඉලක්කය බව කිය වේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වෙමින් එක් වූ වෙනත් පක්ෂ නියෝජනය කරන  උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර වැනි මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පක්ෂවල මන්ත්‍රීවරුන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වනු ඇත්තේ අදාළ සන්ධාන ගිවිසුම්ය. මේ සතියේ පූජ්‍ය අතුරලියේ  රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරයද ආරක්ෂා වුයේ  එවැනි ගිවිසුමක් නිසාය.

දිලිත් මැතිවරණ සටනට පක්ෂ මූලස්ථානය ආරම්භ කරයි!

මව්බිම ජනතා පක්ෂයේ මුලස්ථානය විවෘත කිරීම පසුගියදා බොරැල්ලේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති රික්තය පිරවීම සඳහා නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍ය බව ‍මව්බිම ජනතා පක්ෂයේ නායක ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර එහිදී සඳහන් කළේය.

එනිසා දීර්ඝ කාලීන දේශපාලන දැක්මක ආරම්භය සිදුකරන බවද ඒ අනුව මවුබිම ජනතා පක්ෂය නිල වශයෙන් එම පක්ෂ මූලස්ථානයේ දී  අරඹන බවද   ජනතාවට යහපත් රටක් උදාකර දීමට ව්‍යවසායක රාජ්‍ය දැක්මක් තුළින් හැකි බවද සම්ප්‍රදායික ආකල්ප හා යල් පැන ගිය මතවලින් බැහැර විය යුතු බවද, මෙම වැඩපිළිවෙල ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ආරම්භ නොකරන බවත් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට හැකිවන පරිදි පක්ෂය ක්‍රියා කරන බවත් ඔහු සඳහන් කළේය.

ධම්මික පෙරේරාගේ DP එඩියුකේෂන් ව්‍යාපෘතියේ සිවුවන වසර සැමරුම

මෙවර ජනාධිපතිවරණය සඳහා   රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් සහිතව ඉදිරිපත් ව සිටින ව්‍යපාරික ධම්මික පෙරේරාගේ DP එඩියුකේෂන් ව්‍යාපෘතියේ සිවුවන වසර සැමරුම ද මේ සතියේ උත්සවකාරයෙන් පවත් පැවැත්විණි.

ආසියාවේ තියන හොඳම අධ්‍යාපන ක්‍රමවේදය හදන්න තමාට අවුරුදු හතරකින් හැකිවූ බව ප්‍රකට ව්‍යාපාරිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා එහි දී පැවසීය.


කොළඹ නෙලුම් පොකුණ හි පැවති DP එඩියුකේෂන් ව්‍යාපෘතියේ සිවුවන වසර සැමරුම අමතමින් ඔහු මෙසේ ද සඳහන් කළේය.

“ලංකාවේ තියෙන පාසල් දහදාහ ම තියෙන බිල්ඩින් වල වහල private sector එකට දුන්නොත් sola panel හයි කරන්න අපිට පුලුවන් ඒවට කුලිය වෙනුවට ස්මාර්ට් ක්ලාස් රූම් ගන්න.

ආසියාවේ තියන හොඳම අධ්‍යාපන ක්‍රමවේදය හදන්න මට අවුරුදු හතරයි ගියේ.

ලංකාවේ පාසල් අධ්‍යාපනය අඩුපාඩු තියෙනවා ඒවා හදන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රමිතියට.හොරණ තක්ෂිලාවට තිබුණෙ එක equipment එකයි පස් දෙනෙකුට ම.

අධ්‍යාපනය හදන්න ඕන නම් අවුරුද්දකින් හදන්න පුළුවන් ආසියාවේ හොඳම අධ්‍යාපනය.රටේ රුපියල් හැටක් ගෙවලා අධ්‍යාපනය ලබා ගන්න බැරි ළමයි ඉන්නවා.

නිදහස් අධ්‍යාපනය වුනොත් පාසැල් ස්කූල් ෆීස් අය කරනවා හැබැයි ඩීපී education එහෙම කරන්නේ නෑ.

රටක් කොච්චර බංකොලොත් වුණත් හදන්න පුළුවන්.ලංකාවේ ලොකු ව්‍යාපාරිකයෝ හැම කෙනෙකුටම තියෙන්නේ දෙපාරක් tax ගෙවපු සල්ලි.

ප්‍රඥාව කියන්නේ මලක් වගේ කඩල ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ප්‍රඥාව කියන්නේ මහා කන්දක්
Dp education අපි පඩි පෙළවල් 324 ක් හදලා ඒ පඩිපෙල් කන්ද තරණය කරන්න පාර හදලා දෙනවා.

හදන්න බැරි දේවල් වලට මම කවදාවත් මැදිහත් වෙන්නේ නෑ මුදල් වෙන් කර නෙත් නෑ මේක හදන්න පුළුවන්.

අපිත් එක්ක ලංකාවේ විශ්ව විද්‍යාල ගණනාවක් එකතු වෙලා ඉන්නවා ඒ ඒ lecturers ලා ගොඩක් දුර පේන අය.

මේ රටේ ඉන්න 99% මිනිස්සු හොඳ මිනිස්සු සීයට එකයි ඉන්නෙ නරක මිනිස්සු.

මම හදපු සමාගම් වල අවුරුද්දකට බිලියන ගානක් මිලදී ගන්නවා ඒවා ඔක්කොම system වලින් දුවනවා මට කාවවත් සැක නෑ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බාල බෙහෙත් ගේනවලු වැරදි injection ගේනවලු කොහොමද මේ වගේ දේවල් වෙන්නේ සිස්ටම් එකක් නැති හින්ද තමයි මේ වගේ දේවල් වෙන්නේ.

ලංකාවක් හදන්න ඕන්නං සම්පූර්ණයෙන්ම digital system එකක් ගේන්න ඕනේ.මගේ අවුරුදු විසිතුනේ දුවට company එකේ director කම දීලා එළියට ආවේ සිස්ටම් එකක් තියෙන හින්දා.

ඇනලොග් යුගයෙන් ඩිජිටල් යුගයට අපි යන්න ඕනේ අනිත් රටවල් ඒ දේවල් වලට දැන් ගිහිල්ලා ඉවරයි. දැන් මේ වෙනකොට මේවා ඉවර වෙන්නත් කලින් ළමයින්ව රස්සා වලට ඉල්ලනවා 324 යන්න කලින්ම.

අපිට පුළුවන් මාස හතක ළමයෙකු ට රස්සාවක් දෙන්න ඒ කියන්නේ පැය නමසිය හැට ඉගෙන ගත්ත දරුවෙකුට.2025 වෙනකොට මුලු ලෝකෙම ඩිජිටල් වෙලා ඉවරයි.තව මාස 15 කින් මුළු ලෝකෙටම ඉන්ටනෙට් ලැබෙනවා.

මම ලෑස්ති වෙලා ඉන්නේ මේ change එකට.දුප්පත්කම අපිට නැත්තට නැති කරන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගෙන් ඉල්ලනවා මේ ඩීපී coding school එකතුවෙලා coding කරන්න කියලා.

අපිත් එක්ක දැන් 180000 ක් විතර දරුවෝ ඉන්නවා ඔන්ලයින් එකතුවෙලා හැබැයි දෙමව්පියෝ analog උනාට කමක් නෑ ලංකාව දරුවෝ හැමෝම ඩිජිටල් වෙන්න.”

ඔහු සඳහන් කරන්නේ මෙරට තරුණ ප්‍රජාව දැනුමින් සන්නද්ධ කොට ඔවුන්ට ආර්ථික අවස්ථා උදාකරදීමේ අරමුණින් ඩී.පී. එඩියුකේෂන් ඇරඹූ වග ය. ඩී.පී. එඩියුකේෂන් පාසල් අධ්‍යාපන වැඩසටහන යටතේ ලංකාවේ පවුල් ලක්ෂ 55න් පවුල් ලක්ෂ 11ක දරුවන් ලක්ෂ 15ක් පමණ දැනට අධ්‍යාපනය හදාරති. මෙම වැඩසටහනේම දිගුවක් වන ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් තුළින් තවත් වසර දෙකකින් මෙම සංඛ්‍යාව ලක්ෂ දහසය හමාරක්  දක්වා ඉහළ නංවන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

එජාප මහා සමුළුව 21 වැනිදා – තීරණාත්මක වෙනස්කම් රැසක්?

එක්සත් ජාතික පක්ෂයේ  අතිශය තීරණාත්මක සංවත්සර රැස්වීම ලබන 21 වැනිදාට යෙදී තිබේ. මෙය  එක්සත් ජාතික පක්ෂයට යලිත් රටේ ප්‍රධාන පක්ෂයක් ලෙස ගොඩ නැගෙනවාද  යන්න තීරණය කෙරෙන අවස්ථාවකි. වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතු විධායක බලයට පින් සිදුවන්නට එජාපයට ලැබෙන අවස්ථා හැර එහි ප්‍රධානීන් පක්ෂය වෙනුවෙන් කිසිදු  සාධනීය වැඩපිළිවෙලක නිරත නොවන බව පාක්ෂිකයන්ගේ මතයයි. ජනාධිපතිවරයාට රටේ ප්‍රධාන කාර්යයන් රැසක් ඇති බැවින් ඔහුට සමීපව කාර්යක්ෂමව වැඩ කල හැකි කාර්ය ශූර මනා පෞර්ෂයක් ඇති, පාක්ෂිකයා මෙන්ම ජාත්‍යන්තරය සමග වැඩකළ හැකි භෂා ත්‍රිත්වයම කතා කරන  මනා සංවිධාන ශක්තියක් ඇති මහා ලේකම්වරයකුගේ අවශ්‍යතාව තදින්ම පවතී.


තනතුරු බදා ගෙන පක්ෂයත් පක්ෂයේ හා පාක්ෂිකයන්ගේ අනාගතයත් විනාශ කරන පිරිස් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මේ වන විට පක්ෂයේ ප්‍රබලයන් වෙත ලැබී තිබේ. විශේෂයෙන්ම ලබන වසර මැතිවරණ වසරක් බැවින්  තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් පත් කිරීම වහාම සිදු කරන ලෙසට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පක්ෂ නායකත්වයට දැනුම්දී ඇති බව සඳහන්ය.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan