කඳවුර වටා අඩි දොලහක් පමණ උස කටුකම්බි වැටවල් තුනක් ඉදිකර තිබුනි. වැටවල් තුනට එපිටින් පිහිටා තිබුනේ කඳවුර මුරකරන මුර බටයන්ගේ මුර කපොලුය. මේ මුරපොලවල් පිහිටා තිබුනේ අඩි පනහෙන් පනහ වැනි පරතරයකටය. සාමාන්‍යයෙන් එක මුරපොලක ටී පනස්හය ස්වයංක්‍රීය රයිපල් අතැති ෆැලැටූන් පොලිස් බටයන් සිවු දෙනෙක් පමණ සිටියේය.
දිනක් උදෑසන දහයට පමණ මොනයම් හෝ හේතුවක් මත මා සිටි වාට්ටුවේ දකුණු පස මුර පොලේ මුරට සිටියේ එක් බටයෙක් පමණි. ඔහුට ද මදක් නින්ද ගොස් තිබින. ඒ මොහොතේ මුරපොලවල් පරීක්ෂාකිරීමට පැමිණි නිලධාරියා නින්දගොස් සිටි බටයාගේ අවියද රැගෙන ගියේය.(පසුව විනය ක්‍රියාමාර්ග ගැනීමට විය හැකිය)
ඒ මොහොතේ මා සමඟ කඳවුරේ සිටි රැඳවියන් වන කළු අය්යා, බාලේ, ට්‍රැක්ටර් ප්‍රේමේ සහ තවත් පස් දෙනෙක් කටුකම්බි වැටවල් තුනෙන් රිංගා අවි රහිතව සිටි බටයාට ඇහැරවමින් ඔහුගේ මුරපොල අසලින් පලායන්නට විය.
එවිට එහි සිටි බටයා මහහය්යෙන් හඬනගමින් “මෙන්න පනිනවෝ” යනුවෙන් මොරදෙන්නට විය.
එවිට අසල මුරපොලවල් වල සිටි බටයන්ද එතනට දුවවිත් පලායන්නවුන්ට එකදිගට වෙඩිතබන්නට විය.
සුළු මොහොතකින් කඳවුරේ අවිගබඩාවේ තිබූ එල්.එම්.ජී.(ලයිට් මෝටර් ගන්) අවියක් එළියට ගත් බටයන් විසින් පලායන්නවුන් දෙසට වෙඩි වර්ෂාවක් මුදා හැරියේය.
ඒ මොහොතේ කඳවුර ඇතුලත සිටි රැඳවියන් විසින් අතට හසුවූ ගල්මුල් වලින් වෙඩි තබන ෆැලෑටූන් බටයන්ට දමා ගැසුවෙමු.එහි අරමුණ වූයේ පලායන රැඳවියන්ට බේරී පලායෑම සඳහා අවස්තාව සලසා දීමටය.
කෙසේ වෙතත් විනාඩි පනහක් පමණ එක දිගට වෙඩි තබනු ඇසින. ඊට පැය දෙකකට පමණ පසුව කඳවුරේ නිලධාරියෙකු පැමිණ පැවසූයේ මුරපොලට මදක් ඔබ්බෙන් ඇති අගලේ එක් අයෙකුත් කඳවුරට කිලෝමීටර් එකහමාරකට පමණ දුරින් තවත් තිදෙනෙකුත් වෙඩි වැදී මියගොස් ඇතිබවය.
ඉහත කෙටි පරිච්ඡේදය කියවූ ඔබට ඇතැම්විට එය ත්‍රාසජනක කෙටි කතාවක කොටසක් ලෙස හැඟෙන්නට ඇත. නමුත් ඒ මීට තිස්තුන් වසරකට පෙර ලංකාව තුල පැවති දේශපාලන රැඳවුම් කඳවුරක් තුල මා සජීවීව අත්විඳි ඉතිහාස වෘතාන්තයක කොටසකි.
මෙතන්දී මේ රැඳවුම් කඳවුරු යනු මොනවාදැයි ප්‍රථමයෙන්ම මා ඔබට පැහැදිලි කරදිය යුතුව ඇත.
1989 දී සන්නද්ධ අරගලය විනාශවීමේදී අරගලයේ ඉහල පෙලේ සියළු දෙනාම (සෝමවංශ හැර) තවත් විශාල පිරිසක් සමඟින් ඝාතනයවිය. ඒ සමඟම තවත් විශාල පිරිසක් අත් අඩංගුවට පත්විය. මේ අත් අඩංගුවට ගත් පිරිස කාලයක් රඳවා තබාගැනිම සඳහා (රාජ්‍ය බුද්ධි අංශවල විමර්ශන කටයුතු සඳහා) අවශ්‍ය වූ එක් පනතක් එවකට පාර්ලිමේන්තුව තුල සම්මතවිය.
ඒ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතයි (P.T.A.)
මේ පනත යටතේ සැකකරුවන් ඕනෑම කාලයක් විමර්ශන කටයුතු සඳහා යැයි කියමින් රඳවාතබා ගත හැක.
මෙසේ රඳවාගන්නා සැකකරුවන් දීරඝකාලයක් සිරකර තබාගැනීම සඳහාම නිර්මාණය වූ දැඩි මුරකාවල් යෙදූ අප්‍රසිද්ධ බන්ධනාගාර විශේෂයක් ලංකාවෙ තැන් තැන්වල ඒ යුගයේ පිහිටුවා තිබින. රැඳවුම් කඳවුරු යනු ඒවා ය.
එදා ඒ බීෂණ යුගයේ මේ කඳවුරු ඇතුලේ සංවිධානය සම්බන්දකම් කිසිවක් නැතිව පක්ෂයේ විශාල පිරිසක් කොටු වුණි. එතැනදී එදා අපි කාගේත් ළඟ තිබුනේ හෙට දවස පිළිඹඳව අනපේක්ෂිත බියකරු අදහසකි.
ඒ කෙසේ වෙතත් පක්ෂ සංවිධාන හා ඉහල නායකයන් නැති මුත් ආන්ඩුවේ හා කඳවුරේ මිල්ටරි පාලනයේ එහෙයියන් නොවී දියුණු පෞර්ශයක් සහිතව වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම දේශපාලන සිරකරුවන් ලෙස එහි පැවතීමට අවශ්‍ය පසුබිම සකස්කර ගැනීමට මේ රැඳ්වියන්ට එදා හැකි වුණි.
මෙහිදී මේ සිරගත මිනිසුන් සතුව එදා තිබූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය හැසිරීමක් සිහිපත් කිරීමට මම කැමැත්තෙමි.
ඉහත සඳහන් කල පලායාම තුල වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය වින්දිතයන්ගේ නිවෙස්වල සිටි වැඩිහිටියන්ගේ අර්ථික තත්වය ඉතාම දුර්වල මට්ටමක තිබූ බව අපට දැනගන්නට ලැබින.
ඒ වනවිට ඔවුන් සිට ඇත්තේ අවම වශයෙන් මළ ගෙදර කටයුතුවත් කරගත නොහැකි තත්වයක බව පසුව දැනගන්නට ලැබින.
මෙහිදී අප කඳවුරේ සිටි හයසීය ගානක පිරිසගේ දින දෙකහමාරක ආහාර දීමනාව පෙරකී වින්දිතයින්ගේ නිවාසවලට ලබාදීමට කඳවුරේ පරිපාලනය එකඟකර ගත්තේය.
එහිදී අප මියගිය සහෘද සගයන් වෙනුවෙන් දින දෙකහාමාරක් කඳවුරේ හයසීය හැත්තෑ එකක රැඳවියන් පිරිසක් එක කතාවට නිරාහාරව සිටියෙමු.
උක්ත සංධර්භය තුල මිනිසුන් තුල ඇතිවෙන ධෛර්යන්,
අභියෝග වලට මුහුණ දීමට ලැබෙන අසාමාන්‍ය ශක්තීන්,
අසමාන වීරත්වයක් පෙන්වූ සහ අසමාන ධෛර්යයක් පෙන්වූ මිනිසුන්..
ඒ අතර බියගුළුකම, පාවාදීම්…
මේ සියල්ලේ සංකලනයක් ලෙස පබැඳුනු අපක්ෂපාතී මේ කතාව ලංකා නිවුස් වෙබ් වෙත සතිපතා දිගහැරීමට මම අදහස් කලෙමි.
නමුත් අවාසනාවට මෙය කියවීමට එහි සිට නිදහස්ව එළියට පැමිණි බොහෝ අය අද ජීවතුන් අතර නැත.
සමහරෙක් හමුදා පොලිස් පහරදීම් නිසා සිදුවූ ශරීර අභ්‍යන්තර තුවාල නිසා නිදහස්වී එළියට පැමින ටික කලකින්ම මියගියෝය.
ඇතමුන් නිදහස්ව එළියට පැමින ටික දිනකින් අතුරුදන් විය.
තවත් අය වයෝවෘද්ධව ලෙඩ රෝගවලට ගොදුරුව මියගියෝය.
මන්ද වසර තිස්තුනක් යනු ශතවර්ෂ කාලකටත් වැඩි කාලයකි.
මෙයින් ඇතමුන් සදහටම රට අතැරගොසිනි.
තවත් කොටසක් සමාජජාල පරම්පරාවෙන් පිටත සිටින ජීවිතයේ සැඳෑසමය ගතකරන්නවුන් බැවින් මේ සටහන ඔවුන් නොදකිනු ඇත.
ඒ කෙසේ නමුත් මම මෙය ලියමි ….!
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN