සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : බංග්ලාදේශයේ ප්‍රධානතම අපනයන ආදායම් මාර්ගය වන ඇඟලුම් කර්මාන්තය දැඩි අර්බුදයකට ඇද දමමින් සේවක විරෝධතා අඛණ්ඩව තෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම විරෝධතා හමුවේ ඇඟලුම් කර්මාන්තශාලා 500කට ආසන්න සංඛ්‍යාවක් තාවකාලිකව වසා දමා ඇති අතර, ඩකා අගනුවර මීර්පූර් කාර්මික කලාපය තුළ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර, සවාර්, අෂුලියා සහ ගාසිපූර් යන ප්‍රදේශවල ද තුන්වන දිනටත් විරෝධතා ක්‍රියාත්මක වන අතර දහස් ගණනක් සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වීදි බැස සිටිති.
දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ සිය ආර්ථික දුෂ්කරතා උග්‍ර වී ඇති බව පවසන සේවකයෝ, වර්තමාන අවම වැටුප ප්‍රමාණවත් නොවන බව අවධාරණය කරති. ඒ අනුව, මාසික අවම වැටුප බංග්ලාදේශ ටකා 30,000ක් (ඇමෙරිකානු ඩොලර් 242ක් පමණ) දක්වා ඉහළ නංවන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. එය දැනට පවතින ටකා 12,500ක (ඇමෙරිකානු ඩොලර් 101ක පමණ) අවම වැටුප මෙන් දෙගුණයකටත් වඩා වැඩි ඉල්ලීමකි.
විරෝධතා සමනය කරමින් ගැටලුවට විසඳුමක් සෙවීමේ අරමුණින් ඇඟලුම් සේවකයන්ගේ අවම වැටුප සමාලෝචනය කිරීම සඳහා බංග්ලාදේශ රජය ඉරිදා නව වැටුප් මණ්ඩලයක් ද පිහිටුවා තිබේ. මේ අතර, අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් සිය අමාත්‍යවරුන් සහ උපදේශකවරුන් සමඟ හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති බව ද වාර්තා වේ.
ඇමෙරිකානු ඩොලර් බිලියන 38ක පමණ වටිනාකමකින් යුත් බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තය එරට විදේශ විනිමය උපයා ගැනීමේ සහ රැකියා උත්පාදනයේ ප්‍රධානතම අංශයකි. එබැවින් කර්මාන්තශාලා විශාල සංඛ්‍යාවක් වසා දැමීම හේතුවෙන් නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලියට එල්ල වන බලපෑම පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව තිබේ.
කෙසේ වෙතත්, සේවක විරෝධතා ආරම්භ වී ඇත්තේ බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තය දැනටමත් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින පසුබිමකය. වියට්නාමය, කාම්බෝජය සහ ඉන්දියාව වැනි රටවල් සමඟ පවතින දැඩි තරගකාරීත්වය, ඉහළ නිෂ්පාදන පිරිවැය සහ ඇතැම් අපනයන වෙළෙඳපොළවල ඉල්ලුම මන්දගාමී වීම එම අභියෝග අතර ප්‍රධාන වේ.
එමෙන්ම ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය හමුවේ බලශක්ති වෙළෙඳපොළේ පවතින අවිනිශ්චිතතාව ද කර්මාන්තයේ පිරිවැය ඉහළ යාමට බලපාන බව කර්මාන්තශාලා හිමියෝ පෙන්වා දෙති.

