ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW:

දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති ගරු අමාත්‍ය අනුර කරුණාතිලක මහතා තේරී පත්විය.

එම සංගමයේ මංගල රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදී මෙම තෝරා පත් කර ගැනීම සිදු විය. එහි ගෞරවනීය ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ කසකස්තානයේ තානාපති ගරු සර්ගෙයි වික්ටරොව් (Sergey Viktorov) මහතා සහභාගී විය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

මෙහිදී  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සංගමයේ ලේකම්වරයා ලෙස තේරී පත්විය. එමෙන්ම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කවීන්දිරන් කෝඩීස්වරන් , ජී.ජී. පොන්නම්බලම් සහ ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්වරු උප සභාපතිවරුන් ලෙස ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා භාණ්ඩාගාරික ලෙස ද තේරී පත්වූහ.

මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා, 1992 ජුනි 29 වැනි දින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීම දක්වා දිවෙන ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළේය. 2025 ජූලි මාසයේදී කසකස්තානයේ මෙරට තානාපති කාර්යාලය කොළඹදී විවෘත කිරීම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් බව ද ඔහු පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම මඟින් දෙරටේ පාර්ලිමේන්තු අතර පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ද කථානායකවරයා සඳහන් කළේය.

තවද, වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව ද කථානායකවරයා අවධාරණය කළේය.

එමෙන්ම, අධ්‍යාපනික සබඳතා, උසස් අධ්‍යාපනය සහ දෙරටේ ජනතාව අතර අන්‍යෝන්‍ය හුවමාරු වැඩසටහන් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීමටත් මෙම සංගමය වටිනා අවස්ථාවන් සපයනු ඇති බවට කථානායකවරයා විශ්වාසය පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ කසකස්තාන තානාපති සර්ගෙයි වික්ටරොව් මහතා, කසකස්තානයේ මෑතකදී හඳුන්වා දුන් ඒකමණ්ඩල ව්‍යවස්ථාදායකයක් සහිත පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව දැනුවත් කළේය. ආයතනික සබඳතා ශක්තිමත් කිරීම සහ දෙරට අතර වඩාත් සමීප සහයෝගීතාවක් ඇති කිරීම සඳහා පාර්ලිමේන්තු සබඳතා පවත්වාගෙන යාමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය. දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උදෙසා බලශක්තිය, ප්‍රවාහනය, අධ්‍යාපනය සහ සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කර ගැනීමට පවතින අවස්ථා පිළිබඳව ද තානාපතිවරයා කරුණු දැක්වීය.

අභිනවයෙන් සභාපති ධුරයට තේරී පත්වූ ගරු අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අදහස් දක්වමින්, දෙරට අතර භූගෝලීය දුරස්ථභාවයක් පැවතිය ද සාමය, සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ කසකස්තානය පොදු අභිලාෂයන් බෙදාහදා ගන්නා බව සඳහන් කළේය. ජාත්‍යන්තර සංසදයන්හිදී ශ්‍රී ලංකාවට කසකස්තානය ලබා දෙන සහයෝගය අගය කළ ඒ මහතා, වෙළෙඳාම, ආයෝජන, අධ්‍යාපනය, සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් ඔස්සේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම මඟින් දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අර්ථවත් සංවාදයක් සහ ප්‍රායෝගික සහයෝගීතාවන් ඇති කර ගැනීම සඳහා මෙම සංගමය අවකාශයක් විය යුතු බව අවධාරණය කළේය. දෙරට අතර වඩාත් ශක්තිමත් සහ දිගුකාලීන හවුල්කාරිත්වයක් ගොඩනැගීමේ අරමුණින් සියලුම සාමාජිකයන් සාමූහිකව කටයුතු කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

ස්තුති කතාව සිදු කළ අභිනවයෙන් තේරී පත් වූ සංගමයේ ලේකම් ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා, සංගමය පිහිටුවීමට සහ යළි සක්‍රීය කිරීමට දායක වූ සියලු දෙනාට සිය කෘතඥතාව පළ කළේය. සංගමයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සියලුම සාමාජිකයන් සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව  ප්‍රකාශ කළ ඒ මහතා, වෙළෙඳාම, ආර්ථික සංවර්ධනය, දේශපාලන සබඳතා සහ සංස්කෘතිය යන ක්ෂේත්‍ර ඔස්සේ වඩාත් සමීප සහයෝගීතාවක් ඇති කර ගැනීමට පවතින අවස්ථා පිළිබඳව ද පෙන්වා දුන්නේය. එසේම ශ්‍රී ලංකාව සමඟ කසකස්තානය අඛණ්ඩව පවත්වාගෙන යන මිත්‍රත්වය සහ ලබා දෙන සහයෝගය ද ඒ මහතාගේ ඇගයීමට ලක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...

කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ නිවසත් යටවෙලා

අද (06) සවස සිට කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව...