*
Thursday, February 29, 2024
spot_img

Latest Posts

ඉදිරි මඟ: මිල ස්ථායිකරණය සහ සමෘද්ධිය සඳහා යහපත් ආණ්ඩුකරණයක් අවශ්‍යයි (අවසාන කොටස)

(ශ්‍රී ලංකා මහබැංකුවේ 73 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වුණු සමරු දේශනය)

ආචාර්ය ෂාර්මිනී කුරේ

එතකොට, බදුකරණය ගැන වඩාත් යහපත් පාලනයක් ඇති කරගන්නෙ කොහොමද?

බදු ක්‍රමය ගැන යහපත් පාලනයක් සහතික කරගන්න තියෙන ඉතා තීරණාත්මක සාධක වෙන්නෙ, විනිවිද භාවයක් තිබීම සහ සරල භාවයක් තිබීම. විවිධ බදු අනුපාතික තියෙන, විවිධ බදු නිදහස් කිරීම් තියෙන සහ අත්තනෝමතික තීන්දු තීරණ ගැනීම් සහිත සංකීර්ණ බදු ක්‍රමයක් තියෙනකොට, බලය අවභාවිත වෙන්නත්, විශේෂයෙන් පුද්ගල අවශ්‍යතා උඩ බදු තීරණ ගැනීමටත් ඉඩක් විවර වෙනවා. ඒත්, ඒකාකාර භාවයක් තියෙන, නීතිය මත පාලනය වෙන, ඒ වගේම, පැහැදිලි සහ සරල මූලධර්ම මත ගොඩනැඟෙන බදු ක්‍රමයක් තුළින්, සාධාරණත්වය ඉෂ්ට කෙරෙනවා විතරක් නෙවෙයි, වංගු දාන්න තියෙන ඉඩකඩ අඩු නිසාත්, වැඩියෙන් නීතියට බැඳගැනීමක් සිද්ධ වෙන නිසාත්, ඉහළ බදු ආදායමක් ලබාගන්න පුළුවන් වීමෙන්, ආණ්ඩුවේ ආදායම්-වියදම් අතර තිරසාර තුලනයක් ඇති කරගන්නත් ආධාර වෙනවා.

බදු ක්‍රමයේ පවතින අංශ දෙකක් ගැන සැලකිල්ල යොමු කරවිය යුතුව තියෙනවා. ඒ තමයි, බදු ප්‍රතිපත්තිය සහ බදු පරිපාලනය. ඒත්, මේ සම්බන්ධයෙන් දළ සාමාන්‍යකරණයන් මත පමණක් යැපීම ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. අපි ඒ ඒ කාරණා සම්බන්ධයෙන් නිශ්චිත වෙන්න ඕනෙ. ඒක නිසා මං යෝජනා 10 ක් ඉදිරිපත් කරන්නම්. ඒකෙන් 6 ක් බදු ප්‍රතිපත්තිය ගැන. 4 ක් බදු පරිපාලනය ගැන.

(1) ඒකාකාර/සමරූපී, ඒ වගේම විකෘති වීමකට ඉඩක් නොතැබෙන ආකාරයේ, අතිප්‍රසාරී (හැම පැත්තක්ම ආවරණය කෙරෙන) බදු නීතියක් මුලින්ම පනවාගන්න ඕනෙ. එකී නියමිත ක්‍රමයෙන් පිටස්තර පීලි පැනීමක් හෝ ව්‍යතිරේකයක් අවශ්‍ය කරන වෙලාවට, එය මුදල් අමාත්‍යාංශය විසින් එහි පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණයට ලක්කොට, ප්‍රසිද්ධියට පත්කොට, පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගෙන කළ යුතු වෙනවා. දේශීය සහ විදේශීය සියලු සමාගම්, වරාය නගර වැනි විශේෂිත කලාපවල ක්‍රියාත්මක වෙන සමාගම් පවා, ජාත්‍යන්තර වශයෙන් එකඟත්වයක් තියෙන, ‘ගෝලීය අවම බදු අනුපාතිකය’ වන සියයට 15 අවම බද්දකට යටත් කළ යුතු වෙනවා. ව්‍යාපාරික සමාගම්වලට බදු නිවාඩු ලබා දිය යුතු බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩු පුරුද්දක් වශයෙන් දරන, නොමඟ ගිය සහ අතාර්කික නිගමනය දැන්වත් නතර කළ යුතුව තියෙනවා. රේගු බදු සහ වෙළෙඳ භාණ්ඩ බදු ඇතුළු ඕනෑම බද්දක් ගැසට් මාර්ගයෙන් හෝ වෙනත් රෙගුලාසි මාර්ගයෙන්, පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව වෙනස් කිරීමට ඇමතිවරයාට දැනට ඇති බලය ඉවත් කිරීම සඳහා නීති ගෙන ආ යුතුයි. එවැනි අවස්ථාවකදී රජයේ ආදායමට සිදු වන පාඩුව, ආණ්ඩුවේ වෙනත් වියදම් ගලපා ගැනීමෙන් තුලනය කරගත යුතු වෙනවා.

ඒ වගේම, මුදල් අමාත්‍යාංශය තුළ වෙනම බදු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවක් ඇති කරගැනීම සඳහාත් නීති ගේන්න ඕනෙ. ආණ්ඩුවේ එකම බදු ප්‍රතිපත්ති අංශය විය යුත්තේ එම දෙපාර්තමේන්තුවයි. පවතින බදු රෙගුලාසිවලට පිටස්තර යම් බදු අනුපාතිකයක් හෝ ව්‍යතිරේකයක් හෝ වෙනත් වෙනසක් අවශ්‍ය වෙතොත්, එහි වගකීම දරමින් එය නිර්දේශ කිරීමේ කාර්යය පැවරෙන්නෙ ඒ අංශයට. බදු හෝ තීරුබදු නිදහස් කිරීමේ බලය ‘ආයෝජන මණ්ඩලයට’ හෝ ‘වරාය නගර කොමිසමට’ හෝ දිය යුතු නැහැ.

එවැනි නීති සම්පාදනය කරන තෙක් දැනට:

(2) පවතින බදු නිදහස් කිරීම්, අවුරුදු 3-5 අතර කාලයකදී අවසන් කළ යුතුයි. අදාළ ව්‍යාපාරයට බදු නිදහස දෙන අවස්ථාවේ ඊට ප්‍රති-කොන්දේසියක් වශයෙන් රැකියා උත්පාදනය සහ ආයෝජනය සම්බන්ධයෙන් යම් නිර්ණායක නියමකොට ඇත්නම්, ඒවා ඇතුළු සියලු නිර්ණායක අදාළ ව්‍යාපාරය විසින් පිරිමසනු ලබන තෙක් එකී බදු නිදහස නතර කළ යුතුයි.

(3) ‘මූලෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත’ සහ ‘විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත’ අහෝසි කළ යුතුයි. මේ දෙකම ඉතා නරක නීති කෙටුම්පත්.

(4) ‘කොළඹ වරාය නගර පනත’ යටතේ දී ඇති බදු සහන අත්හිටුවිය යුතුයි. අලුතෙන් යෝජිත ඕනෑම බදු සහනයක්, මුදල් අමාත්‍යාංශය යටතට ගෙන ආ යුතුයි. එය නිත්‍ය නීතියක් බවට පත්කිරීම සඳහා ‘වරාය නගර පනත’ සංශෝධනය කළ යුතුයි.

(5) විධිමත් අලුත් නීතිරීති ගෙන එන තෙක් නොසිට, මුදල් අමාත්‍යාංශය තුළම ‘බදු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවක්’ ස්ථාපිත කළ යුතුයි. පැහැදිලිව නිර්වචනය කළ නිර්ණායකයන් මත පදනම්ව, වරාය නගරයද ඇතුළත් කරගත්, රේගු බදු, සුරා බදු සහ වෙනත් ඕනෑම අලුත් බදු සහන වෙතොත් ඒ සියල්ල ගැන තක්සේරු කිරීමට සහ සැලසුම් කිරීමට බලය මේ දෙපාර්තමේන්තුවට පැවරිය යුතුයි. අප මුලින් කී, ‘අතිප්‍රසාරී (හැම පැත්තක්ම ආවරණය කෙරෙන) බදු නීතියක්’ සම්මත කරගන්නා තෙක්, ගැසට් මගින් හෝ වෙනත් රෙගුලාසි මගින් ඇති කෙරෙන ඕනෑම බදු සහනයක් සඳහා මේ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි. ඒ වගේම, සෑම බදු නීති සංශෝධනයක් ගැනම, සෑම බදු සහනයක් හෝ අලුත් බදු පනතක් ගැනම මේ දෙපාර්තමේන්තුව විසින් අපක්ෂපාතීව කරන පිරිවැය-ප්‍රතිලාභ තක්සේරුව, රජයේ වෙබ් අඩවියක ප්‍රසිද්ධියට පත්කළ යුතුයි.

(6) වරාය නගර සහ වෙනත් ව්‍යාපෘති ඇතුළු ව්‍යාපාර සඳහා වසරක් පාසා පිරිනමා ඇති සියලු බදු සහනවලින් රජයේ ආදායමට සිදුව ඇති පාඩුව කොපමණද යන්න මේ දෙපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තු කොට, රජයේ වෙබ් අඩවියක පළ කළ යුතුයි.

බදු පරිපාලනය පැත්තට හැරුණොත්…

බදු පැහැර හැරීමේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමත් අඩංගු වන, මීට වඩා සාර්ථක බදු පරිපාලනයක් ඇති කරගැනීමකින් තොරව, ශ්‍රී ලංකාවට කවදාවත් තිරසාර ආදායම්-වියදම් තුලනයක් ඇති කරගැනීමටවත්, සියල්ලන්ටම දැනෙන ආකාරයේ ආර්ථික සමෘද්ධියක් ඇති කරගැනීමටවත් පුළුවන් වෙන්නෙ නැහැ. තක්කඩි ගනුදෙනු නතර කිරීමට අවශ්‍ය කෙරෙන වඩා යහපත් බදු ප්‍රතිපත්තියක් වගේම, වඩා කාර්යක්ෂම බදු පරිපාලනයක් ඇති කරගැනීමත් කියන්නෙ, දේශපාලනික අධිෂ්ඨානය පිළිබඳ ප්‍රශ්නයක්.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ විසින් ලංකාවට අදාළව ප්‍රකාශයට පත්කරලා තියෙන ‘ආණ්ඩු පාලනය පිළිබඳ දෝෂ දර්ශක වාර්තාවේ’ එක් උපුටා දැක්වීමක් මෙහෙමයි:

“රාජ්‍ය අනුග්‍රහයෙන් අයථා ලාභ ලැබීමත්, දූෂණ වංචාවලට තද නැමියාවක් ඇති බවටත් වන නරක නාමයක්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් පරිපාලනයට තිබේ. තමන්ගේ ආයතන තුළ, වැඩි අවදානමක් නැතිව සහ හෙළිදරව් නොවී දූෂණයේ යෙදෙන්න පුළුවන් වාතාවරණයක් තියෙන බවත්, චෝදනා නැඟුණත් ඒවායේ ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නේ ඉතා කලාතුරකින් පමණක් බවත්, රේගු දෙපාර්තමේන්තුවේ මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් පිළිගන්නා කාරණයකි.”

ඒ වාර්තාව තවදුරටත් මෙහෙම කියනවා:

“හැම මට්ටමකම දූෂණය රජ කරන බවට වන චෝදනා නැඟෙන අතරේ, (මේ ආයතන තුළ) සුපිළිපන් සංස්කෘතියක් පිළිබඳ ඡායාවක්වත් පෙනෙන්ට නැත. රජයට ආදායම් උපයා දෙන ආයතන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව, මූලික වශයෙන් ඉතා සංවෘත (රහසිගත භාවයට ඉඩ ඇති) ආයතන වන්නේය. ඒවායේ ඇතුළට හෝ ඒවායින් එළියට සිද්ධ වෙන රැකියා සංචලතාව අල්පයි. මේ ආයතන, විශේෂයෙන් වෘත්තීය සමිති බලපෑම හේතුකොටගෙන, වෙනස් වීමට කැමැත්තක් නොදක්වයි. නූතන ආර්ථිකයක් සඳහා අවශ්‍ය කරන නව කුසලතා සහ විශේෂඥතා ප්‍රවර්ධනය කිරීමට ඉඩක් නොසලසයි. දූෂණයට බර තැබෙන වර්තමාන රාජකාරි භාවිතාවන්ගෙන් ඈත් වීමට අවශ්‍ය කරන, විශේෂඥ තොරතුරු තාක්ෂණයෙන් සහ දත්ත විශ්ලේෂක දැනුමෙන් පිරිපුන් කාර්ය මණ්ඩලයක් බඳවාගැනීමට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත.”

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව එකට ගත් විට එහි කාර්ය මණ්ඩලය 4000 කටත් වැඩියෙන් සිටීමෙන් පෙන්නුම් කරන්නේ, මේ ප්‍රශ්නය, කාර්ය මණ්ඩල සංඛ්‍යාවේ අඩුවක් නිසා නොව, කාර්ය මණ්ඩලයේ කුසලතා සහ විශේෂඥතා නවීකරණයට ලක්කිරීමට නොහැකි වීමේ ප්‍රශ්නයක් වන බවයි. මෙහෙම නිරීක්ෂණයක් ගැන අහන්න සමහරු කැමති නොවෙන්න පුළුවන්. ඒත්, දේවල් නිවැරදි කිරීම සඳහා ගත යුතු ප්‍රතිකර්මික ක්‍රියාමාර්ග තවත් කල් දැමීම රටේ අනාගතය කෙරෙහි නරක අන්දමින් බලපානවා කියන කාරණය අපිට පැත්තකින් තියන්න බැහැ.

ඒ ප්‍රතිකර්මික ක්‍රියාමාර්ගවලට ඇතුළත් ඉතිරි කරුණු ගැන කිව්වොත්…

(7) රජයට ආදායම් ලබාදෙන දෙපාර්තමේන්තුවල කළමනාකරණය ශක්තිමත් කළ යුතුයි. භාණ්ඩාගාර ලේකම් සහ විගණකාධිපති විසින් ඒවා පරීක්ෂා කර බැලිය යුතුයි. මේ ආදායම් දෙපාර්තමේන්තු තුනම, එනම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව තියෙන්නෙ මුදල් අමාත්‍යාංශය යටතේ. අවසානයේ ගත් විට, ඒවායේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි අධීක්ෂණය කිරීමේ වගකීම පැවරෙන්නේ මුදල් ඇමතිවරයාට සහ භාණ්ඩාගාර ලේකම්වරයාට.

(8) විශාල බදු ගෙවන්නන්ගේ අංශයට ප්‍රමුඛත්වය දිය යුතුයි. සුපිරි ධනවතුන් බදු පැහැර හරින අවස්ථාවල ඔවුන්ව කොටු කරගැනීම සහ බදු පැහැර හැරීම් අවම කරගැනීම සඳහා අවශ්‍ය නිපුණත්වයෙන් යුත් නිලධාරීන්ගෙන් මේ අංශය බලසම්පන්න කළ යුතුයි. මේ සඳහා අවශ්‍ය කරන ගණකාධිකාරීවරුගෙන්, විගණන නිලධාරීන්ගෙන්, තොරතුරු තාක්ෂණය සහ මූල්‍ය කටයුතු පිළිබඳ උසස් වෘත්තිකයන්ගෙන් ලංකාවට අඩුවක් නැහැ. එහෙත් බලයට පත් හැම ආණ්ඩුවක්ම මේ කාර්යය අතපසු කරලා තියෙනවා.

(9) රේගු, සුරාබදු සහ දේශීය ආදායම් ආදී දෙපාර්තමේන්තුවල බදු එකතු කිරීමේ ක්‍රමවේද ඩිජිටල්කරණයට ලක්කිරීම මගින්, දූෂණයට ඇති අවස්ථා අවම කළ හැකියි. ‘රමිස් ක්‍රමය’ (බදු එකතු කිරීමේ නූතන තාක්ෂණික මෙවලමක්) පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමත් මෙහිදී අත්‍යාවශ්‍යයි. ‘පාරදෘෂ්‍ය අනුකූලතා අවදානම්’ පිළිබඳ නිර්ණායක මත, බදු විගණනය පදනම් කළ යුතු බවත් වැදගත්.

(10) අවසාන වශයෙන්, බදු පරිපාලන පනතක් සම්මත කරගත යුතුයි. මෙය, සියලු බදුවලට අදාළ වන සේ සකස් විය යුතුයි. එසේම, දූෂණය සාර්ථකව මැඩලීම සඳහා දැඩි දඩ පැනවිය හැකි වන ආකාරයේ ප්‍රතිපාදන ඊට ඇතුළත් විය යුතුයි. අල්ලස් දීම හෝ අල්ලස් ගැනීමටත්, බදු මඟහැරීමටත් අදාළව, බදු ගෙවන්නන්ට මෙන්ම බදු නිලධාරීන්ටද විරුද්ධව අපරාධ චෝදනා පවා ගොනු කළ හැකි විය යුතුයි.

දැන් අපි අවධානය යොමු කරන්න අවශ්‍ය කරන කාරණය තමයි, රාජ්‍ය අංශයේ ප්‍රමාණය සහ කාර්යභාරය අඩු කිරීම හරහා වෙළෙඳපොළ ප්‍රමුඛ කරගත් ආර්ථික වර්ධනයක් ඇති කරගැනීමේ තුන්වැනි ප්‍රතිපත්ති ඉලක්කයට අදාළ යහපාලනය යන කාරණය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය විශාලයි. විශේෂයෙන් එහි අංශ දෙකක්, සාපේක්ෂ මිල මට්ටම් විකෘති කරමින් සහ වෙළෙඳපොළ තරඟයට බාධා පමුණුවමින්, ආර්ථික වර්ධනය අඩාල කරනවා. ඒ අංශ දෙක තමයි, රාජ්‍ය ප්‍රසම්පාදන අංශය (රාජ්‍ය අංශය විසින් භාණ්ඩ හා සේවාවන් බාහිර අංශ වෙතින් ලබාගැනීමේදී පිළිපදින ක්‍රියාවලියට අයත් අංශය) සහ රාජ්‍ය ව්‍යවසාය අංශය. මේ අංශ දෙකේ ක්‍රියාකාරීත්වයන් නිසා, සමාජ සුභසාධනය සඳහා සහ දිළිඳුකම දුරලීමේ කාර්යයන්ට යොදාගත හැකි මූල්‍ය සම්පත් වෙනතකට හැරවීමකුත් සිද්ධ වෙනවා.

දේශීය වෙළෙඳපොළ තුළ වැඩිම භාණ්ඩ හා සේවාවන් ප්‍රමාණයක් මිලදී ගන්නා ගැනුම්කරුවා වෙන්නෙ ආණ්ඩුව. ඒ නිසා, ඉන්ධන, විදුලිය සහ ඖෂධ වගේ ප්‍රධාන භාණ්ඩ වෙළෙඳපොළේ නොඅඩුව තිබීම කියන කාරණය කෙරෙහිත්, ඒවායේ මිල ගණන් කෙරෙහිත්, ආණ්ඩුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය බලපානවා. ඒ එක්කම, ආණ්ඩුවේ වියදම්වලින් විශාල පංගුවක් වැය වන්නෙත් මේ දේවල්වලට. ඒ ප්‍රමාණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් සියයට 5 කට වැඩියි. එවැනි තත්වයක් තිබියදීත්, රාජ්‍ය ප්‍රසම්පාදන නීතියක් ලංකාවේ නොතිබීම, තිගස්සවනසුළු කාරණයක්. ඒ වෙනුවට, සාමාන්‍ය ව්‍යවහාරය විදිහට දැනට භාවිත වෙන්නෙ, 2006 දී ඇමති මණ්ඩලය විසින් අනුමත කරන ලද ‘ප්‍රසම්පාදන මාර්ගෝපදේශ’ මාලාවක්. ඒත්, මේ මාර්ගෝපදේශ සහ අත්පොත් පිළිබඳ යාවත්කාලීන සහ ඒකාකාරී ලියවිල්ලක් ඇත්තෙත් නැහැ. මොකද, ඒ ඒ වෙලාවට වෙනස් කරගත හැකි, නිතර නිතර සංශෝධනය කළ හැකි තත්වයක් ඇති වෙලා තියෙන නිසා.

ප්‍රසම්පාදනයට අදාළ කාර්යක්ෂම ක්‍රියාපටිපාටි සූත්‍රගත කිරීමටත්, ඒවා ක්‍රියාවට නැංවෙන ආකාරය අධීක්ෂණය කිරීමටත් බලය පැවරෙන්නෙ, ‘ජාතික ප්‍රසම්පාදන කොමිසමට’. ඒත් ගිය අවුරුද්දෙ යළි ස්ථාපිත කිරීමෙන් පස්සෙ, ඉතා මෑතකදී තමයි මේ ආයතනය ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙන්නෙ. ප්‍රසම්පාදන ක්‍රමවේද සංකීර්ණයි. ඒත් අන්තිමට බැලුවහම, ප්‍රසම්පාදන ආකෘතිය පිළිබඳ අසීමිත අභිමතය මූලික වශයෙන් පාවිච්චි කරන්නේ කැබිනට් මණ්ඩලයයි.

අයහපත් රාජ්‍ය පාලන මාදිලියකට තුඩුදෙන තවත් දෙයක් තමයි, රටේ විශාල යටිතල ව්‍යාපෘති සඳහා, ආණ්ඩුවේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉදිරිපත් වෙන ‘පෞද්ගලික-රාජ්‍ය හවුල් ව්‍යාපෘති’ පිළිබඳ ව්‍යාපාරික යෝජනා භාරගැනීමේ රාජ්‍ය භාවිතාව. මේ වගේ ඉල්ලීම්වලට බොහෝ වෙලාවට ආණ්ඩුවෙන් අනුමැතිය ලැබෙනවා. ඒත් ඒ අනුමැතිය එන්නෙ, අය-වැය ක්‍රියාවලියට පිටතින්. අය-වැය කෙරෙහි ඉන් ඇති කළ හැකි බලපෑම් පිළිබඳ තක්සේරුවක් නැතිව. ඒ වගේම, රජයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා නිරූපණය කෙරෙතියි අපේක්ෂා කරන ‘සිව් අවුරුදු රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළට’ පිටතින්. ආණ්ඩුවේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉදිරිපත් වෙන මෙවැනි ව්‍යාපාරික යෝජනාවලදි බොහෝවිට අපිට දකින්ට ලැබෙන්නෙ, තනි පුද්ගලයෙකුගෙ ටෙන්ඩරයක්. ඒ වගේම, ‘ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාව’ පෞද්ගලික-රාජ්‍ය හවුල් ව්‍යාපෘති ආවරණය කරන්නෙත් නැහැ.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරලා තියෙන ‘රාජ්‍ය පාලන දෝෂ දර්ශක වාර්තාව’ තුළ මේ වගේ ප්‍රසම්පාදන අක්‍රමිකතා පහත සඳහන් පරිදි දක්වලා තියෙනවා:

“ප්‍රසම්පාදන සැලසුම්වල ඇති අඩුව, ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල සඳහන් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි පාවිච්චියට නොගැනීම, තේරීමේ ක්‍රියාවලිය තුළ පවතින ප්‍රමාණවත් නොවන තරඟකාරීත්වය, ටෙන්ඩර් කැඳවීමක් නැති අවස්ථාවක ඉදිරිපත් වන ව්‍යාපාරික යෝජනා විශාල ව්‍යාපෘති සඳහා භාරගැනීම, ගිවිසුම් කළමනාකාරීත්වයේ පවතින දුර්වලතා, ප්‍රසම්පාදනයට සම්බන්ධ නිලධාරීන් සතු හැකියාවේ සහ දැනුමේ අඩුව, දුර්වල අධීක්ෂණය සහ දුර්වල පාලනය සහ ‘ස්වාධීන පැමිණිලි යාන්ත්‍රණයක්’ පිළිබඳ අසම්පූර්ණ ආවරණය”.

රාජ්‍ය ව්‍යවසායන්හි ප්‍රසම්පාදන අක්‍රමිකතා ගැන ‘කෝප් වාර්තාවත්’ සඳහන් කරලා තියෙනවා.

රාජ්‍ය පාලනය පිළිබඳ පවතින මේ සියලු ඌනතා නිසා බරපතළ දූෂණ ඇති වීමේ ඉඩහසරක් විවර කෙරෙනවා විතරක් නෙවෙයි, තරඟකාරී වෙළෙඳපොළේ සහ සමාගම්වල සංවර්ධනයත් හිර කරනවා.

ප්‍රසම්පාදනයට අදාළ ආණ්ඩු පාලනය උසස් කරගැනීම සඳහා වන පියවර කිහිපයක් දක්වන්න පුළුවන්:

ඒවා අතරින් අත්‍යාවශ්‍යම දේ තමයි, ජාත්‍යන්තර යහ-භාවිතාවන් පිළිබිඹු වන ‘රාජ්‍ය ප්‍රසම්පාදන නීතියක්’ සම්මත කරගැනීම.

2024 වන විට, රාජ්‍ය ප්‍රසම්පාදන ගනුදෙනු සියල්ල ‘රාජ්‍ය ප්‍රසම්පාදන ඉලෙක්ට්‍රොනික පද්ධතියකට’ ඇතුළත් කිරීම.

ටෙන්ඩර් පටිපාටියට පිටින් ඉදිරිපත් වන ‘පෞද්ගලික-රාජ්‍ය හවුල්’ ව්‍යාපාර ගැන සොයාබැලීම ඇතුළු, ප්‍රසම්පාදනයට අදාළ බලාධිකාරය සහ වගකීම් ඇතුළත් පැහැදිලි වරමක් ‘ජාතික ප්‍රසම්පාදන කොමිසමට’ පැවරීම.

අවසාන වශයෙන්, යම් වටිනාකම් සීමාවකට උඩින් තිබෙන රාජ්‍ය ප්‍රසම්පදාන කොන්ත්‍රාත් සියල්ල පිළිබඳව, සෑම මාස 6 කට වරක් යාවත්කාලීන කෙරෙන තොරතුරු ප්‍රසිද්ධියට පත්කරමින්, පාරදෘෂ්‍ය භාවය වර්ධනය කිරීම සහ තරඟකාරී ටෙන්ඩර් පටිපාටියට පිටස්තරින් පිරිනමන ලද කොන්ත්‍රාත් හඳුනාගැනීම.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සලකා බැලුවොත්:

ආර්ථික ජීවිතයේ සෑම අංශයකටම විහිදෙන -සමහරු කියන විදිහට, සෑම අංශයකටම අතපොවන- රාජ්‍ය ව්‍යවසායන් 400 කට වඩා ලංකාවේ තියෙනවා. ශ්‍රම බලකායෙන් සෑහෙන ප්‍රමාණයක් නියුක්තව ඉන්නේ මේවා තුළයි. මහජන මුදල්වලින් සෑහෙන පංගුවක් නාස්ති කරන්නේ මේවායි. ගෙවාගන්න බැරි ණය නිසා, මූල්‍ය පද්ධතියට මේවායෙන් ඇති කෙරෙන අවදානමත් විශාලයි. මෙහිදී රාජ්‍ය ව්‍යවසායන් 4 ක් කැපීපේනවා. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඒ අතර වෙනවා. මේ ආයතනවලට, අයවැයෙන් විශාල පංගුවක් සහනාධාර වශයෙන් දෙන්න වෙනවා. රාජ්‍ය ව්‍යවසාය 130 කින් පමණ කෙරෙන වාණිජ කටයුතු, පෞද්ගලික අංශයෙන් ඊට වඩා හොඳින් කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා.

රටේ පවතින විශාල රාජ්‍ය ව්‍යවසාය අංශය නිසා, තරඟකාරී පෞද්ගලික වෙළෙඳපොළේ වර්ධනයට බාධා පැමිණෙනවා කියන එකත්, මහජන සම්පත් නිසියාකාරයෙන් වෙන් කිරීමට ඒ මගින් අකුල් හෙළන බවත්, පොදුවේ පිළිගැනෙන කාරණයක්. 2023 දී ප්‍රකාශයට පත්, ‘ජාතික පරිවර්තනීය මාර්ග සිතියම’ තුළ මෙහෙම දක්වා තියෙනවා:

“මෙවැනි බොහෝ ව්‍යවසායන්හි පවතින ඒකාධිකාරී තත්වය නිසා, පෞද්ගලික ආයෝජනය අවහිර වී ඇත. වැරදි මිල තීරණ, අකාර්යක්ෂම කළමනාකරණය සහ දුර්වල ව්‍යවසායකත්වය නිසා රාජ්‍ය මූල්‍ය අංශය දුර්වල කෙරී ඇත. ඒ මගින්, මේ රාජ්‍ය ව්‍යවසායයන්, බදු ගෙවන්නාගේ කර මතට පැටවෙන, ජාතික බරක් වී ඇත.”

භාණ්ඩාගාර ලේකම්වරයා මෑතකදී ඔහුගේ දේශනයකදී මෙහෙම කියලා තියෙනවා:

“රාජ්‍ය ව්‍යවසායයන්, අවපාලනයට සහ දූෂණයටත් තෝතැන්නක් වෙලා තියෙනවා. මොකද, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කර්තව්‍යය සහ ඒවායේ අයිතිය අතර ඇති වීමට ඉඩ තිබෙන ළබැඳියාවන් අතර ගැටුමක් නිසා. එසේම, ඒවායේ ප්‍රතිපත්ති කෙරෙහි, ඒවාට කෙරෙන පත්වීම් කෙරෙහි සහ ඒවායේ ව්‍යාපාරික භාවිතාවන් කෙරෙහි ඇති වන අනවශ්‍ය දේශපාලනික බලපෑම් නිසා. මේ ප්‍රශ්න නිරාකරණය කරගැනීමට තරම්, ඒ ආයතනවල පවතින අභ්‍යන්තර පාලනය සහ සුපරීක්ෂාවත්, පාලනය ක්‍රමයට අදාළ රාමුත්, ප්‍රමාණවත් නැහැ කියන එක නිරීක්ෂණය වෙලා තියෙනවා.”

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ විසින් සම්පාදනය කර තියෙන, ලංකාවට සම්බන්ධ, “රාජ්‍ය පාලන දෝෂ දර්ශක වාර්තාව” තුළ මේ විදිහට කියලා තියෙනවා:

“කෘෂිකර්මය, විදුලිය සහ ගොඩනැඟීම් කර්මාන්තය වැනි ප්‍රධාන අංශයන්හි බලපැවැත්වෙන රජයේ විස්තීරණ නියාමනය නිසා, වෙළෙඳපොළ මත පදනම් වන වගවීම සීමා වී තිබෙන අතර, වරප්‍රසාදිත පෞද්ගලික පිරිස් වෙත රාජ්‍ය සම්පත් මුදාහැරීමට රජයේ ඉහළ නිලධාරීන්ට විශාල අවකාශ විවෘත වී තිබේ.”

මේ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීම සඳහා, රාජ්‍ය ව්‍යවසායන්හි පාලනය, බරපතළ ප්‍රතිසංස්කරණයන්ට භාජනය කළ යුතු වෙනවා. මේ වසර මුලදී කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළ, ‘රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය’, රාජ්‍ය ව්‍යවසාය පාලනය නංවාලීම සඳහා වන හොඳ පදනමක්. ඒ අරභයා, දෙයාකාරයක එළැඹුමක් යෝජනා කෙරුණා. එකක් තමයි, වාණිජමය දිසාවකට බෙහෙවින් යොමු වන රාජ්‍ය ව්‍යවසායන්හි බහුතර කොටස් ප්‍රමාණයක් පෞද්ගලික අංශයට පැවරීම. අනික තමයි, රාජ්‍ය අංශය යටතේ තවදුරටත් තබාගත යුතු අනෙක් රාජ්‍ය ව්‍යවසායයන්, පූර්ණ වශයෙන් වාණිජ පදනමකින් ක්‍රියාත්මක වෙන ආකාරයේ පරිපාලක සමාගමක් යටතට පැවරීම. සියල්ලට පළමුව දැන් කළ යුතුව තිබෙන්නේ, තවත් පමා නොවී මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමයි. ඒ සමග, ඊට අදාළ රාජ්‍ය ව්‍යවසාය අරභයා වන නීතිද පනවාගත යුතු වෙනවා. එසේම, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළදී මෙකී ප්‍රතිසංස්කරණ යෝජනා දියාරු වීමට ඉඩ දිය යුතු නැහැ.

රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් අපේක්ෂිත නීතියේ සමහර අංශ ගැන අප වඩාත් විමසිලිමත් විය යුතුයි. ඒවා මෙහෙමයි:

(1) මුල්ම කාරණය තමයි, යම් රාජ්‍ය ව්‍යවසාය අංශයක වැඩි කොටස් තමන් අතේ තබාගත යුතු යැයි ආණ්ඩුව තීරණය කරන අවස්ථාවක, ඒ පිළිබඳ ඉතා පැහැදිලි නිර්වචන සහ සීමා මායිම් ඇති කරගැනීම. ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් එහිදී අදාළ වේද යන්න තීරණය කිරීම සඳහා විෂයබද්ධ සහ නිශ්චිත නිර්ණායක හදාගන්න ඕනෙ. එහිදී, ‘ආර්ථික බාහිරත්වය’ පිළිබඳ නිර්ණායක භාවිතයට ගැනීම වඩාත් යෝග්‍ය වෙන්න පුළුවන්. ඒක, පැහැදිළිව නිර්ණය කරන්න පුළුවන් කාරණයක්. යම් භාණ්ඩයක් හෝ සේවාවක් ‘අත්‍යාවශ්‍ය’ ද යන කාරණය ඊට වෙනස්. ඒක, ඉතා පුළුල්ව අර්ථකථනය කරන්න පුළුවන් දෙයක්. ඒක නිසා, ඒ නිර්ණායකයට වඩා කලින් කී නිර්ණායකය, එනම් ‘ආර්ථික බාහිරත්වය’ යන නිර්ණායකය යොදාගැනීම වඩාත් යෝග්‍යයයි.

(2) පැහැදිලිවම වෙළෙඳමය කාර්යයන්හි යෙදෙන රාජ්‍ය ව්‍යවසායයන් පිළිබඳව ඇති කරගැනීමට අපේක්ෂිත ප්‍රතිමානය විය යුත්තේ, බරපතළ හේතුවකින් තොරව, සුළුතර කොටස් ප්‍රමාණයක් හෝ රාජ්‍ය සන්තකයේ තබා නොගෙන, මුළුමණින්ම පෞද්ගලීකරණය කිරීමයි.

(3) වඩාත් වැදගත් කාරණය වන්නේ මෙයයි: රාජ්‍ය ව්‍යවසාය නීතිය තුළ දේශපාලනික ඇඟිලිගැසීම්වලින් වියුක්ත, ස්වාධීනත්වය සහතික වීමක් තිබිය යුතුයි. වෘත්තීයමය සාමර්ථය ඒ තුළ තිබිය යුතුයි. ‘පරිපාලන සමාගම් මණ්ඩලය’ සහ ඒ මණ්ඩලය පරීක්ෂාවට ලක්කරන ‘උපදේශක මණ්ඩලය’ තුළ පුද්ගල සුපිළිපන් භාවය තිබිය යුතුයි. ඒ එක්කම, රාජ්‍ය ව්‍යවසායන් කළමනාකරණයට හෝ ඒවාට බලපෑම් කිරීමට හෝ මොනම හෝ පෞද්ගලීකරණ ක්‍රියාවලියකට මැදිහත් වීමට, අදාළ ව්‍යවසායට සම්බන්ධ ආශ්‍රය අමාත්‍යාංශවලට ඉඩ නොදීමත් වැදගත්. මෙසේ පෞද්ගලීකරණයට ලක්වෙන රාජ්‍ය ව්‍යවසාය සමාගම්වල යම් කොටස් ප්‍රමාණයක් හෝ ‘කොළඹ කොටස් වෙළෙඳපොළට’ සහ ජාත්‍යන්තර කොටස් වෙළෙඳපොළකට පවා ඉදිරිපත් කිරීම, එක්තරා ආකාරයකින්, එවැනි ලැයිස්තුගත සමාගම්වලින් අපේක්ෂා කරන පාලනමය සහ මූල්‍යමය වාර්තාකරණය පිළිබඳ ප්‍රමිතීන්ට අනුගත වන බව සහතික කරගැනීමට ඇති සාර්ථක මාර්ගයක් විය හැකියි.

* * * * *

අවසාන නිගමනයක් වශයෙන් කිව්වොත්, මං අද සාකච්ඡා කළේ, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අපේක්ෂාව වන, කල්පවත්නා මිල ස්ථායීකරණය සහ ආර්ථික සමෘද්ධිය සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය කරන යහපාලනයක වැදගත්කමයි. එක කාරණයක් මං මෙහිදී අවධාරණය කරන්න කැමතියි. ඒ තමයි, මේ අර්බුදය මීට කලින් තිබුණු තත්වයන්ට වඩා ඇත්තෙන්ම වෙනස් බව. ඉදිරි මාවත හරිම පටුයි. මොකද, අපේ ණය තව අවුරුදු ගණනක් යනකල් ඉතා ඉහළ මට්ටමක පැවතීමට නියමිත නිසා. මේ මාර්ගයේ ගමන් කරද්දී, දේශපාලනික වශයෙන් ආපස්සට හැරීම් පිළිබඳ අවදානම තියෙනවා. ඇතැම් පුද්ගල ලාබ ප්‍රයෝජන අවශ්‍යතාවන් නිසා විරෝධතාවන් ඇති විය හැකිව තියෙනවා. ප්‍රතිසංස්කරණ නිසා ඇති කෙරෙන පීඩාවන් නිසා තෙහෙට්ටුවට පත්වීමට ඉඩ තියෙනවා. ඒ වගේම, පරිබාහිර හේතු නිසා ඇති විය හැකි කම්පනයන් තියෙනවා.

ඒක නිසා, මීට වඩා විනාශකාරී විය හැකි තවත් අර්බුදයකට නොවැටී ඉන්න නම්, දැන් ඇති කියලා පැත්තකට වෙලා ඉන්නවත්, ප්‍රතිසංස්කරණ ගැන මන්දෝත්සාහී වෙන්නවත් පුළුවන්කමක් නැහැ. මහබැංකුවේ 73 වැනි සංවත්සරය සමරණ මේ අවස්ථාවේ, රටේ මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීම සම්බන්ධයෙන් අත්කරගෙන තිබෙන මිල ස්ථායීතාව සහ මූල්‍ය ප්‍රතිපත්ති හැසිරවීමට අදාළ යහපාලනය පිළිබඳ සාර්ථකත්වයන්, අපේ හිත් ධෛර්යමත් කිරීමට හේතුවක්. ඒත් මහබැංකු නීතිය සහ විනිවිද භාවයෙන් යුත් මහබැංකු සංස්කෘතිය, අනාගත මහබැංකු ස්වාධීනත්වය ආරක්ෂා කරයි කියන්න සහතිකයක් නෙවෙයි. තිරසාර මූල්‍ය තත්වයක් විසින් සහ සියල්ලන්ට දැනෙන ශක්තිමත් වර්ධනයක් සපයා දිය හැකි වෙළෙඳපොළ ප්‍රමුඛ ආර්ථිකයක් විසින් ඊට සහාය සැපයිය යුතුයි. අද මම අවධානය යොමු කළේ, ප්‍රගතිය අත්කරගැනීම අත්‍යාවශ්‍ය සහ තීරණාත්මක වෙතැයි මම සිතන ක්ෂේත්‍ර තුනක් ගැනයි. පාලනය ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රායෝගික ක්‍රියාකාරකම් 17 ක් මං යෝජනා කළා. එයින් 3 ක්, මහබැංකු ස්වාධීනත්වය ගැන. 10 ක් බදු ක්‍රමය ගැන. 4 ක් රාජ්‍ය ප්‍රසම්පාදනය ගැන. ඒවාට අමතරව, 2023 රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදවීමේ ඇති අවශ්‍යතාවත් මං අවධාරණය කළා. මේක විශාල වැඩ කන්දරාවක් විදිහට පෙනෙන්න පුළුවන්. ඒත් ඒක එහෙම නෙවෙයි. අවසාන පිළිසරණක් පතාගෙන යා යුතු තැනට අපි ගිහිං තියෙන වාර ගණනෙන් මේ වැඩ සංඛ්‍යාව බෙදුවොත්, එසේ ගිය එක වාරයකට එක වැඩකට වැඩිය ප්‍රමාණයක් මෙතන නැහැ.

කරුණු සියල්ල එසේ තිබියදීත්, මං හිතනවා මේ අර්බුදය මහඟු අවස්ථාවකුත් කියලා. මෙච්චර කාලයක් යහපාලනයට අකුල් හෙලපු සියල්ලන්ව ප්‍රශ්න කිරීමට සහ රටවැසි සියල්ලන් ඒකරාශී කරගත් සමෘද්ධියක් සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ භාරගැනීමටත් මේක මහඟු අවස්ථාවක්. අපි ඉදිරියේ තියෙන අභියෝගය තමයි, ආර්ථිකමය ආයතන සහ පාලනය ශක්තිමත් කිරීම. එවිට, බාහිර සහ දේශපාලනික හැලහැප්පීම්වලට හසුවෙද්දී පවා, ආර්ථික ප්‍රතිපත්ති ශක්තිමත්ව විරාජමාන වේවි. ඉන්දියාව, කොරියාව සහ තායිලන්තය වගේ රටවල් අර්බුදවලට යට වෙලා තියෙනවා. හිටියාටත් වැඩිය ශක්තිමත්ව සහ වඩාත් ඔරොත්තුදෙන තත්වයකින් ඒ රටවල් ඒ අර්බුදවලින් ගොඩඇවිත් තියෙනවා. එහෙම කිරීමට ඔවුන් සමත් වෙලා තියෙන්නෙ, ඔවුන්ගේ ආයතන සහ පාලනය ශක්තිමත් කරගැනීමෙන්. අපිත් කළ යුත්තේ ඒකමයි!

(පරිවර්තන අනුග්‍රහය: ගවර්නන්ස් ලංකා)

පෙර ලිපි:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan