Wednesday, November 30, 2022
spot_img

Latest Posts

සාර්ථක සංහිඳියාවක් වෙනුවෙන් ජනතාවගේ විශ්වාසය අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

2023 යනු ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සර වසරයි. වන ලබන වසර තුළ දෙමළ නායකයන් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ දේශපාලන ධාරාව තරමක සැකයකින් යුතුව ප්‍රතිචාර දක්වා තිබේ. 1960 ගණන්වල සිට බලයට පත් වූ ආණ්ඩු විසින් ලබා දුන් පොරොන්දු කිසිසේත්ම හදවතින්ම ඉටු නොකළ බව ඔවුහු දනිති. වත්මන් ජනාධිපතිවරයාගේ පෙර පාලන කාලදීද එය එසේම විය. 2015-19 කාලය තුළ ඔහු අගමැති ලෙස බලය බෙදාගැනීමේ සංකල්පය ශක්තිමත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම වෙනුවෙන් පොරොන්දු විය. 2018 වසරේ ‘දින 52’ කුප්‍රකට කුමන්ත්‍රණයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුව අත්තනෝමතික ලෙස නෙරපා හරින ලදී. ඔහුව නැවත අගමැතිධුරයේ ප්‍රතිෂ්ඨාපනය කිරීමවූ සඳහා සටනට නායකත්වය දුන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ එම්.ඒ.සුමන්තිරන් වැනි පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත දෙමළ නායකත්වයයි. ඔහුට නැවත අගමැතිකම ලැබුණු විට, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ ඔහු ලබාදුන් පොරොන්දුව ඉටු කරනු ඇතැයි බලාපොරොත්තුවක් තවදුරටත් පැවැතිණි. එහෙත් කිසිවක් සිදු නොවීය. පළාත් සභා මැතිවරණය හෝ පැවැත්වූයේ නැත.

ජනවාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් සෙවීමට අමතරව නව සත්‍ය සහ සංහිඳියා ක්‍රියාවලියකට ද ජනාධිපති වික්‍රමසිංහ නායකත්වය ලබාදීමට කැමැත්ත පළකර ඇත. ඔහු දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා හමුවී ශ්‍රී ලංකාවේ සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමකට දකුණු අප්‍රිකානු සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. විදේශ ඇමැති අලි සබ්රි පසුගියදා සිවිල් සමාජ නායකයන් හමුවී සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිළිබඳ ඔහුගේ අදහස් ඔවුන් සමඟ බෙදා ගැනීමට කටයුතු කළ අතර එම අදහස් ප්‍රතිපෝෂණ කරන ලෙසද ඉල්ලා සිටියේය. මෙම කොමිසමේ සාර්ථකත්වය සඳහා දැඩි දේශපාලන අධිෂ්ඨානයක් පැවැතිය යුතු බවට ඔහු විශ්වාසය පළ කළේය. හමුදාවන්ට සම්බන්ධ පුද්ගලයන් නිරවුල් කිරීමට අවශ්‍ය බැවින් සත්‍ය කොමිසමේ සංකල්පයට ත්‍රිවිධ හමුදාව සහයෝගය දක්වන බවද ඔහු එහිදී පැවැසීය. වර්තමානය වන විට ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි සියලුම සේනාංක අන්තර්ජාතික මානව හිමිකම් කණ්ඩායම් සහ ඇතැම් විදේශීය රාජ්‍යයන් විසින් අසාදු ලේඛනගත කර ඇත. ඒ අනුව, පිළිගත හැකි සහ මහජන සහයෝගය දිනා ගත හැකි අයුරින් සකස් කළ යාන්ත්‍රණයක් සම්මුතියකින් නිර්මාණය කරගෙන, අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට ඇමතිවරයා සිය උනන්දුව පළකළේය.

ජනාධිපති වික්‍රමසිංහ මහතාට සහ රජයට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ තමා සහ රජය විසින් සිදුකරන කටයුතුවල බැරෑරුම්බව සහ අවංකබව සාමාන්‍ය ජනතාවට ඒත්තු ගැන්වීමයි. දකුණු අප්‍රිකානු ප‍්‍රතිසන්ධාන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා නියෝජිත පිරිසක් දකුණු අප‍්‍රිකාවට යැවීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මෙවැනි අධ්‍යයනයන් අතීතයේ ද සිදු කර ඇත. කැපවීම් සිදුකරන බවට දෘෂ්ටි මායාවන් මවපාමට වඩා වැදගත් වන්නේ යථාර්ථයයි. සත්‍යය සහ සංහිඳියාව ජනතාවගෙන් එක් කොටසකට, එක් මොහොතක දී ඉදිරිපත් කළ නොහැක. සත්‍යය සහ සංහිඳියාව කොටස් කළ නොහැක. එය සිංහල හෝ මුස්ලිම් ජනතාවට ලබානොදී දෙමළ ජනතවට පමණක් ලබාදිය හැක්කක් නොවේ. ශිෂ්‍ය නායකයන් දෙදෙනකු චෝදනාවක් නොමැතිව දීර්ඝ කාලයක් සිරගත කර තැබීම සත්‍යයක් හෝ සංහිඳියාවක් නොවේ. ආණ්ඩුවේ යුක්තිය පිළිබඳ හැඟීම සමතුලිත විය යුතු අතර, එමගින් සියලු දෙනාගේ යහපැවැත්ම සඳහා පවතින සිය කැපවීම පෙන්නුම් කළ යුතුය.

මැතිවරණ කල් දැමීම

දූෂණය, සම්පත් අවභාවිතය සහ වගවීම නැති කරන ක්‍රම වෙනසක් වෙනුවෙන් වූ විරෝධතා ව්‍යාපාරයේ ඉල්ලීම් විශ්වවිද්‍යාල සිසුන්ට පමණක් සීමා වූවක් නොවේ. මහජන විරෝධතා සහ පෙළපාලි ස්වරූපයෙන් ප්‍රකාශ නොවූවත් එම ඉල්ලීම්වලට ඊට වඩා පුළුල් පදනමක් ඇත. පසුගිය සතියේ මඩකලපුවේ පැවැති සිවිල් සමාජ රැස්වීමකදී ප්‍රදේශයේ මවුලවිවරයෙක් කියා සිටියේ, ඔවුන් විරෝධතා ව්‍යාපාරයට එතරම් ක්‍රියාකාරීව සම්බන්ධ නොවීමට හේතුව, ශිෂ්‍ය නායකයන් දෙදෙනා සහ තවත් බොහෝ අය මෙන් ඔවුන්වද අත්අඩංගුවට ගෙන දිගු කලක් රඳවා තබනු ඇතැයි යන බිය නිසා බවයි. ශිෂ්‍ය නායකයන් දෙදෙනා අසාධාරණ ලෙස සිරකර තැබීමට එරෙහිව පවත්වා ඇති පෙළපාලි ඉතා විශාල නමුත් රජය ඒවාට අවනත නොවන බව ඔහු පෙන්වා දුන්නේය. මෙවැනි තත්ත්වයන් තුළ, වෙනසක් අවශ්‍ය නමුත් අත්අඩංගුවට පත්වීමට අවශ්‍ය නැති පුද්ගලයන්ට, තම අභිලාෂයන් ප්‍රකාශ කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලෙස මැතිවරණය හඳුන්වාදිය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී නැමියාව සහ ප‍්‍රශ්න විසඳීමට ඇති ආශාව තිබියදීත්, ජනාධිපති වික‍්‍රමසිංහ මේ මොහොතේ මැතිවරණ පැවැත්වීමට ඇති අකමැත්ත ප‍්‍රදර්ශනය කරමින් සිටී. මේ මොහොතේ පැවැත්විය යුතු මැතිවරණ දෙකක් තිබේ. එනම්, පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණයන්ය. බලයේ සිටින සෑම අවස්ථාවකම ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සහ වාර්ගික ගැටුම විසඳීමට තමා තුළ ඇති කැපවීම වත්මන් ජනාධිපතිවරයා අවධාරණය කළ බව ඔහුට ගෞරවයක් ලෙස සඳහන් කළයුතුය. 2002-04 සහ නැවත 2015-19 දී අගමැතිවරයා සහ ජාතික නායකයෙකු ලෙස ඔහු මීට වර දෙකෙහිදීම ඔහු ඔහු එය සිදුකළේය. අවාසනාවකට මෙන්, එම අවස්ථා දෙකේදීම ඔහුට බලය අහිමිවූ අතර, පසුව පැවති මැතිවරණවලදී විශාල පරාජයන්ට මුහුණ දුන්නේය. මේ වන විට රජය පවතින්නේ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ වන අතර, ඔහු මූල්‍ය බලතල තමා සතුව තබාගෙන, අන්තර්ජාතික මට්ටමින් අරමුදල් සපයන සංවිධානවල, විශේෂයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඉල්ලීම පරිදි ආන්දෝලනාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. ඒ අතරතුර, ගිනිකන්දක් මත හිඳීමට සමාන යැයි 2002 වසරේදී වරක් ඔහු විස්තර කළ, ජාතික සංහිඳියාව පිළිබඳ සංවේදී ප්‍රශ්නය විසඳීමට ද ජනාධිපතිවරයා ප්‍රතිඥා ලබාදෙමින් සිටී.

මෙම පසුබිම සාධාරණීකරණය කළ නොහැකි වුවත්, මේ මොහොතේම මැතිවරණ නීතිය කාලානුරූපීව ප්‍රතිසංස්කරණය කරමින් ඉදිරියට යායුතු බවට වන ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව අවබෝධ කරගත හැකිය. දැනටමත් වසරකින් කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්විය යුතුව ඇත. එහෙත් රජය දියත් කිරීමට සුදානම් වන මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මාර්තු මාසයෙන් ඔබ්බට දිගු වීමට ඉඩ තිබේ. මෙය 2017 දී පළාත් සභා මැතිවරණයට පෙර මැතිවරණ නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළ ආණ්ඩුවේ උපාය මාර්ගය නැවත ක්‍රියාත්මක කිරීමක් වනු ඇත. ජනවාර්ගික ගැටුමට විසඳුමක් ලෙස පිහිටවූ පළාත් සභා පසුගිය වසර හතරක කාලය තුළ අකර්මණ්‍ය වී තිබේ. තීරණ ගැනීමේදී ජනතාවට සමීප වෙමින් බලය බෙදා හැරීම වෙනුවට, එම බලතල සියල්ලම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් විසින් දැඩි ලෙස මධ්‍යගතව පවත්වාගෙන යමින් පවතී. විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණ කල්දැමීම විසින් බලය බෙදීම විහිළුවක් බවට පත් කර තිබේ. අදාළ පළාතේ ජනතාවගේ කැමැත්තට සම්පූර්ණයෙන්ම පටහැනි ආකාරයට ආණ්ඩුකාරවරුන් මධ්‍යම රජයේ නියෝජිතයන් ලෙස කටයුතු කරමින් සිටීයි.

ප්‍රමුඛතා වෙනස් කිරීම

ආර්ථික අර්බුදය විසඳීම සඳහා බදු වැඩි කිරීම, රජයේ වියදම් අඩු කිරීම සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීමට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. ඒ සඳහා තම සහභාගීත්වය මගින් වෙනසක් සිදුවන බව මිනිසුන්ට හැඟෙන පාලන ක්‍රමයක් අවශ්‍ය වේ. පළාත් සභාවල අරමුණ වූයේ පළාතේ ජනතාව විසින් තේරී පත් වූ සහ ඔවුන්ට වගකිව යුතු විමධ්‍යගත ව්‍යුහයන් නිර්මාණය කිරීමයි. පළාත් සභාවලට අවශ්‍ය පරිදි ඒවාට ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් සම්පත් වෙන් කර තිබුණේ නම්, ශ්‍රී ලංකාවට දැන් තිබෙන තත්ත්වයට වඩා හොඳින් ආර්ථික අර්බුදයට මුහුණ දීමට හැකි වන්නට ඉඩ තිබිණි. ජාතික අයවැය පළාත් සභා සමඟ සාධාරණව බෙදා ගන්නවා වෙනුවට මධ්‍යම ආණ්ඩුව සිදුකරනු ලැබුවේ, බලය සියතට ගෙන, ඒ සමඟම පළාත් සභා අයවැය ඉක්මවන විශාල දූෂණවලින් ගහණ සුදු අලි බවට පත් වූ සංවර්ධන ව්‍යාපෘතිවල නියැලීමයි. බලය බෙදීම සහතික කිරීම, රට දැනට සිරවී ඇති ආර්ථික අගාධයෙන් මිදීමට අවශ්‍ය ක්‍රම වෙනසෙහි කොටසකි.

මේ තත්ත්වය තුළ රජය තමන් වෙනුවෙන් කිසිවක් නොකරන බව හැඟුණු මඩකලපු සිවිල් සමාජ නායකයන් කතාකරනු ලැබුවේ වැඩිපුර ගෙවතු වගා කිරීමටත්, තම ආදායම සහ පරිභෝජනය ඉහළ නැංවීම සඳහා ස්වයං රැකියා ව්‍යාපෘතිවල නියැලීමටත් ජනතාව දැනුවත් කිරීමේ අදහසිනි. නමුත් ගෙවතු වගාව සත්‍ය වශයෙන්ම නවීන යුගයේ පවතින අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට මිනිසුන්ට අවශ්‍ය වන ආකාරයේ රැකියා සහ ඉපැයීම් වෙනුවට පවතින දුර්වල ව්‍යතිරේඛයක් පමණකි. මඩකලපුවේ පැවැති සාකච්ඡාවේදී රජයේ අයවැය යෝජනා සම්බන්ධයෙන් විවේචන එල්ලවූ අතර, සමාජයේ පහළම ස්ථරයේ සිටින පුද්ගලයන්ගේ ගැටළු සම්බන්ධයෙන් සංවේදී නොවීම පිළිබඳවද චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, එහිදී එක් නව ප්‍රතිපත්තියක් පිළිබඳව සෑහීමකට පත් විය. අංක 13 දරන අයවැය යෝජනාවේ මෙසේ සඳහන් වේ: “රජයේ ඉඩම් බැහැර කිරීමේ මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදු කරනු ලැබුවද, විශේෂ අවශ්යතා සඳහා පසු කාලීනව එම රාජකාරි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට සහ අලුතින් පිහිටුවන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ද පවරාදෙන ලදී. ඉඩම් බැහැර කිරීමට අදාළ මූලික කටයුතු ඒ ඒ ආයතන විසින් විවිධ ආකාරයෙන් සිදු කරන බැවින්, වෙනස් කොට සැලකීම් සහ අක්‍රමිකතා සිදු වන බව වාර්තා වේ.” අයවැය යෝජනාවලියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, “එබැවින් ඉහත සඳහන් කළ විශේෂ අවශ්‍යතා දැනටමත් සපුරා ඇති බැවින් රජයේ ඉඩම් බැහැර කිරීම ඇතුළු සියලුම රජයේ ඉඩම් බැහැර කිරීමට අදාළ මූලික කටයුතු සඳහා අදාළ ආයතන දෙකකට ඉහළින් ක්‍රියාත්මක වන ආකාරයට ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පමණක් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් ඉදිරි වසර තුළ සකස් කරන බවයි.” මීට පෙර මහවැලි අධිකාරිය භාරව සිටියදී රටේ බොහෝ ප්‍රදේශවල ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත හැකි වූයේ කොළඹිනි. ඉඩම් අන්සතු කිරීම සම්බන්ධ තීරණ ප්‍රාදේශීය මට්ටමට විමධ්‍යගත කිරීම තුළින්, ප්‍රදේශයට සමීපව ජීවත් වීමට ඉඩ ඇති නව දේපල හිමියන් විසින්, ඉඩම් පරිහරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රජා මට්ටමේ පුද්ගලයන්ට වැඩි අවකාශයක් ලබාදීමේ හැකියාව ලැබේ. දූෂණය සහ සම්පත් අවභාවිතය අවම කිරීම, වගවීම වැඩිදියුණු කිරීම සහ ජාතික ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ පොදු ක්‍රියාවලිය සියලු දෙනාටම අයත් යැයි හැඟීමක් ඇති කළ හැකි, බලය බෙදීමේ ආත්මය මෙයයි.

ජෙහාන් පෙරේරා (ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය)

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.