ආණ්ඩුව මානව හිමිකම් ගැන හිතුවෙ බලය ලබා ගන්නකම් විතරයි – සුනන්ද දේශප්‍රිය

පසුගිය දවස් කීපය තුළම චේරන් කියලා කවියෙක් ගැන, ඔහුගේ අභාවය ගැන ශෝකය පළ කරමින් විවිධ සමාජ මාධ්‍ය හරහා විවිධ අය ශෝකය පළ කිරීම් සිදු කළා. ඇත්තටම මේ චේරන් කියන්නෙ කව්ද කියලා වර්තමාන පරම්පරාවට අවබෝධයක් තියෙනවද?

ලංකා නිවුස් වෙබ් අඩවියේ අපිට ඕන වුණේ ඒ ප්‍රශ්නයට උත්තරයක් නිර්මාණය කරන්නයි.

ලංකා නිවුස් වෙබ් අඩවියේ අපි චේරන් ගැන තවත් පරම්පරාවක් දැනුවත් කළ යුතුයි කියලා හිතුවා.

ඒ විතරක් නෙමෙයි පසුගිය දිනක අභාවප්‍රාප්ත වුණ අනුර කුරුකුලසූරිය සහෘදයා ගැනත් අපි කතා යුතුයි කියා සිතුවා.

මේ චරිත ද්විත්වය ගැනත්.., වර්තමානයේ පාලන බලය හොබවන පාලන තන්ත්‍රය ගැනත් අගතිගාමී නොවී අදහස් පළ කළ හැකි අයෙක් සමග සංවාදයක් ගොඩ නගා ගන්න අපිට ඕන වුණා.

ඉතිං මේ වගේ විසල් කාරණාවක් ගැන කතා කිරීමට විසල් මිනිසෙකුම අවැසි වූ බැවින් ඒ සදහා සුනන්ද දේශප්‍රිය තරම් සුදුස්සෙකු තවත් නැහැ කියලා අපිට අවබෝධ වුණා. මන්ද උක්ත මාතෘකා සියල්ලම ගැන කතා කිරීමට ඔහු තරම් සුදුස්සෙකු තවත් නැති බව ඔහු ගැන දන්නා ඔබත්, නොදන්නා ඔබත් මේ සංවාදය අවසන අපේ තෝරා ගැනීම සම්බන්ධයෙන් එකග වේවි කියලා අපි හිතනවා.

ප්‍ර. අපේ මේ සංවාදය සිද්ද වෙන්නෙ විශේෂ කාරණා දෙකක් මුල්කරගෙන වුණත් අපේ මේ කතා බහට සුදුසු පසුබිමක් නිර්මාණය කරගන්න ඕන නිසා අපි මේ කතා බහ මෙන්න මේ වගේ තැනකින් පටන් ගමු.

ජවිපෙ සමග ඔබේ සම්බන්ධය නිර්මාණය වුණේ කොහොමද?

පි. අපේ ගෙදර වාමාංශික දේශපාලන පසුබිමක් තමයි තිබුණෙ. තාත්තයි අම්මයි දෙන්නම කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙලා හිටියා. අපේ ගෙදර හත් දෙනාම මැයි දින පෙළිපාලි වලට යනවා. කොමියුනිස්ට් පක්ෂයෙ නායකයො සහභාගි වුණ විශේෂ රැස්වීම් අපේ ගෙදර තිබුණා.

ඒ වගේම තාත්තගෙන් මට ඒ ආභාසය ලැබුණා.

මං තාත්තා එක්ක කොමියුනිස්ට් පක්ෂයේ පත්තරය වුණ මව්බිම අරගන්න අම්බලන්ගොඩ ස්ටේෂන් එකට ගිහින් පත්තරේ අරගෙන පත්තරේ පිටු හදලා පත්තර ටික නවලා ඒක විකුණන්න භාර දීලා හිටපු සහෝදරයට භාර දෙනවා.

මේ විදියට තාත්තගෙ දේශපාලන ක්‍රියාවලියේ නොනිල උරුමකාරයා බවට මං පත් වුණා. තාත්තා එක්ක තමයි විජේවීර මුලින්ම අපේ ගෙදර ආවේ. තාත්තා රත්ගම ආසනයේ කොමියුනිස්ට් පක්ෂයේ සංවිධානයක වැඩ කලා. ඒ කියන්නෙ චීන කොමියුනිස්ට් පක්ෂයේ. ඒ කියන්නෙ ඔහු 1963 රුසියන් චීන මතභේදයේදී චීනයේ පැත්ත ගත්තා.

ඒ වගේම ෂන්මුගදාසම් සහෝදරයගෙ නායකත්වයෙන් තිබුණ චීන කොමියුනිස්ට් පක්ෂයට බැදුණා. ඉතිං ඔහු රත්ගම ආසනයේ තමයි වැඩ කලේ. ඒ වැඩ කරන්න ගිය කාලේ විජේවීරත් කාර් එකක නැගලා ඔහු එක්ක ආවා අනිත් සහෝදරයොත් සමග.

එතකොට ඒ විදියට තමයි විජේවීර අපේ තාත්තව අදුරගෙන අපේ ගෙදර යන්න එන්න පටන් ගත්තෙ. විජේවීරට අපේ ගෙදර වෙනම ඇදක් තිබුණා. ඒ තරමටම විජේවීර අපේ ගෙදර ආවා ගියා.

එතකොට තාත්තගෙ ආභාසයයි, විජේවීර ගෙ මග පෙන්වීමයි වගේම මගේ අභ්‍යන්තරයෙන්ම තිබුණ සමාජ සාධාරණත්වය ගැන උවමනාව හා කැපවීම වගේම පොත් පත්තර කියවීමෙන් ලැබුණ ආභාසයත් එක්ක තමයි ජවිපෙ දෙවනියා විදියට හිටපු සනත් මාව ජවිපෙට බදව ගත්තෙ.

සනත්ට අපි කිව්වෙ විජේසේන අයියා කියලා. ඇත්තටම ඔහු අපේ පවුලේ මිත්‍රයෙක්. සනත් බොරුළුකැටිය තමයි ඔහුට පක්ෂයෙන් දීලා තිබුණ නම.

ඉතිං මේ අයගෙ තිබුණ ඇසුරත් ලතින් ඇමරිකානු විප්ලවය ගැන මට තිබුණ කියවීමත්, කියුබානු විප්ලවය, වියට්නාම් විප්ලවය ආදී මේ සියළු දේවල් ගැන මට ලොකු උනන්දුවක් තිබුණා.

අන්තර්ජාතික වශයෙන් ගොඩනැගීගෙන ආපු විප්ලවීය ප්‍රවාහයත්.., ඒ කියන්නෙ පෙරදිග සුළග කියන විප්ලවීය මාවතත්, ගෙදර පසුබිමත්, මගේ ඇතුළාන්තයෙන් තිබුණ මානවවාදී බවත් නිසා තමයි මං ජවිපෙට බැදුණෙ.

ප්‍ර. 1971 කැරැල්ල සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම පළාත් ප්‍රධානියා සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් විදියට කටයුතු කරපු , ඒ වගේම 1971 කැරැල්ල සම්බන්ධයෙන් පැවති ඓතිහාසික මහ නඩුවේ සිව්වැනි විත්තිකරු ලෙස නම් කරපු අනුර කුරුකුලසූරිය සහ ඔබේ මුණගැහීම සිදු වුණේ කොහොමද?

බලපිටිය රේවත විද්‍යාලයෙන් ඉවත් වෙලා මං ධර්මාශෝක විද්‍යාලයට යනවා. මං විද්‍යාව විෂයන් තමයි ඉගෙන ගත්තෙ. ඒ කාලේ මගේ හොදම යාළුවා වුණේ අනුර කුරුකුලසූරිය . අපි දෙන්නට මැද්දෙන් හිටියේ කපිල හෙන්දාවිතාරණ. කපිල පසු කාලීනව යුධ හමුදාවේ ජෙනරල්වරයෙක් බවට පත් වෙනවා.

අපි බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරපු යාළුවො. බයිසිකලයෙන් යන්න එන්න පුළුවන් දුරවල් වල තමා අපේ ගෙවල් තිබුණෙත්.

අනුර කියන්නෙ ඉතාම කරුණාවන්ත පුද්ගලයෙක්. අනුර අපේ ගේ ළගට ඇවිත් බයිසිකලේ වාඩි වෙලා තාප්පෙන් එහා පැත්තෙ ඉදන් මගෙත් එක්ක ඒ දවස්වල කතා කර කර ඉන්නවා. ඉතිං එහෙම යාළුකම ගොඩ නැගිලා තියෙනකොට මම තමයි අනුරව ජවිපෙට බදව ගත්තෙ . 68 ජවිපෙ කදවුරකට සහභාගි වෙන්න මමයි තාත්තයි යනවා. හැබැයි අනුරට ඒකට එන්න බැරි වුණා. නමුත් අනුර පක්ෂෙට බැදෙන්න ඒ වෙනකොට කැමති වෙලයි හිටියෙ.

අනුර කියන්නෙ ඉහළ මධ්‍යම පාංතික පවුලක කෙනෙක්. ඔහු කලින් හීනෙකින්වත් හිතලා තිබුණෙ නෑ මේ වගේ විප්ලවීය දේශපාලන පක්ෂයකට වැඩ කරන්න. ඔහුගෙ ගෙදරට ඒ කාලේ ගත්තෙ Daily News පත්තරය. ඒ වගේ පත්තරයක් ගන්න ගෙයක් කියන්නෙ ඒ කාලේ ඉතිං වෙනමම සංස්කෘතියක්.

ඉතිං අනුර ඒ වගේ පසුබිමක හිටියත් අනුරටත් මට වගේම සමාජ සාධාරණත්වය පිළිබද ඉතාම ප්‍රබල හැගීමක් තිබුණා. අපි හැම කෙනෙක්ම ඒ කාලේ ජවිපෙට බැදුනෙ සමාජ සාධාරණත්වය පිළිබද තිබුණ කැපවීම නිසා.

ඔහු අසනීප වෙලා හිටිය පහුගිය කාලේ මම ඔහුව බලන්නත් ගියා. අපි අපේ අතීතය ගැන බොහෝ දේවල් කතා කළා. අපි ගොඩක් වෙලා කතා කළාට පස්සෙ ආපහු මුණ ගැහෙමු කියලා තමයි මම ආවේ. නමුත් අවාසනාවකට මට ඔහුව ආපහු බලන්න යන්න බැරි වුණා.

ප්‍ර. වර්තමාන රජය PTSA වැනි මර්දනකාරී පනතක් ගෙන ඇවිත් සම්මත කරගන්න හදපු මාසෙදිම එද 71දි පොලීසිවලට පහර දෙන්න ඕන කියන තීරණය ගත්ත දේශපාලන සභිකයා වුණ අනුර කුරුකුලසුරිය අභාවප්‍රාප්ත වෙනවා….

කෙලින්ම ප්‍රශ්නෙට එන්නම්කො,

අරගලකාරී දේශපාලනයක සක්‍රීයව නිරත වෙලා හිටපු කෙනෙක් විදියට වර්තමාන රජය අරගෙන එන්න හදපු මර්දනකාරී පනත සම්බන්ධයෙන් ඔබට හිතුනෙ මොකක්ද?

පි. ජවිපෙ විදියට අපි බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදී, සාධාරණ සමාජයක් ගොඩ නගන එකයි. ප්‍රජාතන්ත්‍රවාදයටත් වඩා සමාජ සාධාරණත්වය කියන කාරණාව තමා විශේෂයෙන්ම අපිට ඕන වුණේ. එතකොට ඒ සන්කල්පයයි ප්‍රජාතන්ත්‍රවාදයයි කියන දේයි අතර යම් ගැටීමක් තියෙනවද කියන එක වෙනම කතා කරන්න ඕන දෙයක්.

නමුත් අද ජවිපෙ දිහා බැලුවත්, ජවිපෙ ඇත්ත පාලකයා සහ ජවිපෙ ඇත්ත පක්ෂයට අද වුණත් තියෙන ප්‍රධාන අභිලාසය තමයි සමාජ සාධාරණත්වය ඇති කිරීම.

ඒ වගේම යම් ආර්ථික සංවර්ධනයක් ඇති කරලා නියෝ ලිබරල් විදියට හරි ගිහින් සමාජ සාධාරණය ඇති කරලා රට දියුණු කරන්න තමයි ඒ අය බලාපොරොත්තු වෙන්නෙ.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ඒකට බාධාවක් විදියට සමහර අය සළකනවා ඇති. මොකද ජවිපෙ සහ චීන කොමියුනිස්ට් පක්ෂ දෙකේ සම්බන්ධය දිහා බැලුවොත්.., අපිට හිතෙනවා මේ වගේ මානව හිමිකම් මාධ්‍ය නිදහස වගේ කිසිම දෙයක් චීනයේ නැහැ.

අපි දන්නවා චීනය ඉතාම දියුණු රටක්. ඒ වගේම ශක්තිමත් රටක්. ඉතිං ටිල්වින් සහෝදරයත් කියලා තිබුණා චීනෙන් එයාට කිව්වා කියලා අවුරුදු පහළොවක් විස්සක් ඕන රටක් දියුණු කරන්න කියලා. චීනෙන් ඇවිත් පක්ෂයේ විනය පිහිටුවා ගැනීම ගැනත් ඒ පිළිබදව කමිටුවක් හදා ගැනීම ගැනත් කියල දීලා ගිහින් තියෙනවනෙ. ඒ අනුව මට පේන විදියට පක්ෂයේ අභ්‍යන්තරය තුළ නායකත්වය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රැකීම ගැන එතරම් තැකීමක් නැහැ. ඔවුන්ට ඒවා අවශ්‍යය වුණේ බලයට එන්න විතරයි. ඉතිං දැන් ඔවුන් කල්පනා කරන්නෙ යම් විදියකට දීර්ඝ කාලයක් බලයේ ඉන්න පුළුවන් ක්‍රමයක් හදාගන්නයි.

දීර්ඝ කාලයක් බලයේ ඉඅන්න නම්, විපක්ෂයේ අයට, (ඔවුන් දූෂිතයො සබැවින්ම.) දේශපාලනය කරන්න තියෙන ඉඩ නැති කරන්න ඕන. දූෂිතයෝ හිරේ දාන එක කරන්න ඕන. අනිත් පැත්තෙන් විවේචනාත්මක සිවිල් සමාජය යම් මර්ධනයකට ලක් කරන්න අවශ්‍යයයි. ඉතිං, මං හිතන විදියට ඒක් තමයි දේශපාලන පසුබිම PTSA එක ගේන්න.

අපිට අද තව පේන වැදගත් දෙයක් තියෙනවා. සමාජයෙන් මතු වුණ විශාල විරෝධතාවය නිසාත්, අන්තර්ජාතික වශයෙන් මතු වුණ විරෝධතාවය නිසාත් , ආණ්ඩුවට අඩියක් දෙකක් පස්සට ගන්න වෙලා තියෙනවා.

නව ත්‍රස්ත පනත, සංවිධානාත්මක අපරාධ පනත රාජ්‍ය නොවන සංවිධාන පනත.., මේ ත්‍රිත්වය තමයි සම්පූර්ණ මර්දනකාරී රාජ්‍ය පාලනයක ගෘහ නිර්මාණ ශිල්පය. අද ඒ තුනම විශාල අභියෝගයකට ලක් වෙලා තියෙනවා. ආණ්ඩුවේ යම් කණ්ඩායමක් තුළ හෝ මෙවැනි අදහසක් තියෙනවා නම් ඔවුන්ට පවා බැරි වෙලා තියෙනවා අන්තර්ජාතික මතයන්ට හිස නමන් නැතුව ඉන්න, මෙරට තියෙන සිවිල් සමාජ සංවිධාන වලට හිස නමන් නැතුව ඉන්න...

ඒ විදියට බැලුවොත් අපිට පේනවා යම් විදියක අවකාශයකට ආණ්ඩුවේ සවන් දීම්ක් තියෙන බව. ඉතිං අපි බලන්න ඕන ආණ්ඩුවට සාධනීය විදියට විරෝධය දැක්වීම තුළින් මේ මර්දනකාරී අණ පනත් අයින් කරගන්න.

ප්‍ර. 1998 වසරේදී යාපනයේ චෙම්මනි සමූහ මිනීවල ගැන කරපු පුවත් පළ කිරීම් නිසාත්, 1999 සහ 2000 වසරවලදී උතුරු නැගෙනහිර යුද ගැටුම් සම්බන්ධයෙන් පැවති රජය විසින් හදිසි නීතිය යටතේ පැනවූ දැඩි මාධ්‍ය වාරණයට (විශේෂයෙන් යුද පුවත් පූර්ව අනුමැතියකින් තොරව පළ කිරීම තහනම් කිරීමට) එරෙහිව කටයුතු කිරීනිසාත් යුක්තිය පුවත්පතට දැඩි රාජ්‍ය බලපෑම් එල්ල වුණා.

කොහොමහරි 2000දි යුක්තිය පුවත් පත රජයෙන් තහනම් කළා. යුක්තිය පුවත්පත කියන්නෙ ඇත්තටම යුගයක ඉතිහාසයක්. ඔබ තමා එහි හිටපු ප්‍රධාන කතෘ. ඇත්තටම යුක්තිය පුවත්පතට ඔබ සම්බන්ධ වෙන්නෙ කොහොමද?

පි. මම 1977 නොවැම්බර් මාසයේ හිරගෙදරින් නිදහස් වෙලා එනකොටත් මං ජවිපෙ දේශපාලනයෙන් කැඩිලයි හිටියෙ. ඒ කැඩීම සිද්ද වුණේ විප්ලවය එපා කියලා නෙමෙයි. ඒක හරියට සංවිධානාත්මකව කරන්න ඕන කියන තැනයි මං හිටියෙ. ගොවි කම්කරු ජනතාව සංවිධානය කරලා සන්නද්ධ අරගලය කෙරෙහි විශ්වාසය තියලා 1982-83 විතර වෙනකල් මං විප්ලවය ගැන විස්වාසය තිබ්බා.

මේ කාලය තුළ තමයි මං විවිධ සමාජ ක්‍රියාකාරිකයින් එක්ක වැඩ කරන්න පටන් ගත්තෙ. ව්ශේෂයෙන්ම MIRJE, ජාතීන් අතර සමානාත්මතාවය වගේ ව්‍යාපාරයක් ඇතුළෙ විවිධාකාර මධ්‍යම පාංතික කණ්ඩායම් හිටියා..,විප්ලවීය අදහස් තියෙනවා වගේම ලිබරල් අදහසුත් තිබුණු. ඉතිං මේ වගේ අය ආශ්‍රය කිරීම මගින් මගේ අදහස් වලට වෙනසක් ඇති වෙන්න ගත්තා. යම් කිසි ආකාරයකට සන්නද්ධ අරගලය හරිද වැරදිද කියලා.

ඒ වගේම මං විශේෂ ආශ්වාදයක් භුක්ති වින්දා පිලිපීන සන්නද්ධ අරගලය , සැල්වදෝර් සන්නද්ධ අරගලය ,තායිලන්තයේ සන්නද්ධ අරගලය වගේ ඒවා පරාජය වීම සම්බන්ධයෙන් .

ඒවා පරාජය වෙන්න විශේෂ හේතුවක් වුණේ, අභ්‍යන්තර වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය නැතුව නායකත්වය ඇතුළේ ඇති වුණ මරාගැනීම්.

ලංකාවේ ප්ලොට් සංවිධානය ඇතුළෙ වුණත් විශාල වශයෙන් අභ්‍යන්තර ඝාතන සිද්ධ වුණා.

මේ සන්නද්ධ අරගල දේශපාලනය තුළ තියෙනවා අභ්‍යන්තරයටම කා වැදුනු ප්‍රචණ්ඩත්වයක්. ඒක අපිට හැම රටකම දකින්න පුළුවන් දෙයක්. ඉතිං මේ ගැන ඇති වුණ තිගැස්මෙන් තමයි සන්නද්ධ දේශපාලනයට ආයුබෝවන් කියන්ඩ ඕන කියලා මං හිතුවෙ. එතනින් තමයි ප්‍රතිසංස්කරණවාදී දේශපාලනයක තියෙන වැදගත්කම ගැන මං කල්පනා කරන්න ගත්තෙ. ඉතිං අද ඒක තමා ක්‍රියාවෙන්ම ඔප්පු වෙලා තියෙන දේත්. මොකද 89 න් පස්සෙ ජවිපෙ වුණත් අද ඉන්නෙ සන්නද්ධ අරගලය පැත්තකට වීසි කරලා දාලා. ඒක ඇත්තටම හොද වර්ධනයක්.

ඉතිං ඒ අතර මං ලිවීම කියන දේත් දිගටම කරගෙන ගියා. හිරගෙදර ඉදගෙනත් මං ගොඩක් දේවල් ලීවා, පරිවර්තනය කළා. මං මුලින්ම පිලිතුර කියලා සගරාවක් කලා. ඒ වගේ සගරා ගණනාවක්ම මං සංස්කරණය කළා. ඉතිං මේ විදියට යනකොට තමයි MIRJE ව්‍යාපාරය හරහා යුක්තිය පුවත්පත මට මුණ ගැහුනෙ. ඉතිං මං හිතුවා මේක ජාතික පුවත් පතක් බවට වර්ධනය කරන්න ඕන කියලා.

එක හේතුවක් සමාජ සාධාරණත්වය, අනිත් එක ජාතික ප්‍රශ්නයට විසදුමක් සොයා ගැනීම. ඒ කියන්නෙ දෙමළ සහ මුස්ලිම් ජනතාවට සමානාත්මතාවය ලබා ගැනීම. අනිත් එක ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් කියන දේ. මේ තුන තමයි මගේ දේශපාලනයේ ගාමක බලවේගය බවට පත් වුණේ. ඒ අනුව තමයි යුක්තිය පුවත් පත මං පටන් ගත්තෙ.

අනිත් පත්තරවලට වඩා අපේ පත්තරේ තිබ්බ ප්‍රධානම වෙනස තමයි අපි ජාතික ප්‍රශ්නයට විශේෂ තැනක් දුන්න එක. අපි හැමදාම දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කළා. අපි යාපනේ පුවත් වලට වෙනම පිටු භාගයක් වෙන් කරලා තිබුණා. අපේ පුවත්පත තමයි යුද්ධය පිළිබද ඇත්ත තොරතුරු සිංහල ජනතාවට අරන් ගියේ . අපි පත්තර පිටපත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විකුණපු කාල තිබුණා.

94 සිදු වුණ චන්ද්‍රිකාගේ සමාජ පෙරළියත් සමග විශාල අපේක්ෂාවක් තිබුණා ජාතික ප්‍රශ්නය විසදන්න පුළුවන් කියලා. ඒ වගේ අරමුණකින් ඒ දේට දායකත්වයක් දෙන්න එදා යුක්තිය පුවත් පතට පුළුවන් වුණේ කණ්ඩායමක් වශයෙන් අපිට තිබුණ කැපවීමයි.

ප්‍ර. දෙමළ භාෂාවෙන් කෘති 15කට අධික සංඛ්‍යාවක් රචනා කරපු රුද්‍රමූර්ති චේරන් පසුගියදා අවසන් සුසුම් හෙළුවා..,

1981 යාපනය පුස්තකාලය ගිනි තැබීම පසුබිම් කරගනිමින් ඔහු ලියූ ඉරණ්ඩාවදු සූරිය උදයම් (The Second Sunrise), යමන් (Yaman), කාඩාට්රු (Kaadaatru) සහ මරණත්තුල් වාල්වෝම් (Maranathul Vaazhvoom) වගේ කෘති යුද්ධය, රාජ්‍ය මර්දනය, අවතැන්වීම් සහ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ වේදනාව පිළිබඳව ඔහු කරපු රචනාවන් ඒ සම්බන්ධයෙන් ඔහු සමාජයට දීපු සාක්ෂීන් හා සමානයි.

කැනඩාවේ වින්ඩ්සර් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ ඔහු යුක්තිය පුවත්පත සමගත් සමීපව කටයුතු කළ අයෙක්.

ඉතිං, රුද්‍රමූර්තී චේරන් කවියා, ජනමාධ්‍ය වේදියා, සහෘදයාව ඔබට මුණ ගැහෙන්නෙ කොහොමද?

පි. ඇත්තටම චේරන් මුණ ගැහීමත් ,යුක්තිය පුවත්පතට සහ MIRJE ව්‍යාපාරයට සම්බන්ධ දෙයක්. ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය කියන MIRJE ව්‍යාපාරයට මං සම්බන්ධ වුණාට පස්සෙ.., රුපියල් 250ක අර්ධ කාලීන වැටුපකට තමයි මං එහි සේවයට ගියේ. ඒ අතර මං නුවර තිබුණ කම්කරු සංවිධානයකටත් වැඩ කළා.

මේ සංවිධාන හරහා මට විශාල වශයෙන් දෙමළ ජනතාව මුණ ගැහෙනවා. අපේ MIRJE සංවිධානයට යාපනය ,මඩකලපුවේ ශාඛා පවා තිබුණා.

ඉතිං මේ සම්බන්ධය හරහා තමයි චේරන්, සුනිලා අබේසේකර වැනි අය හරහා LTTE තර්ජන මැද කොළඹට එන්නෙ. ඔහු වැඩ කළේ Saturday Review පුවත් පතේ ගාමිණී නවරත්න එක්ක. ගාමිණී නවරත්න කියන්නෙ ලංකාවේ හිටිය නිර්භීතම පුවත් පත් කලාවේදියෙක්.

ඔහු යාපනයේ ඉදලා Saturday Review කියලා පුවත් පතක් කළා. සියළු ආකාරවල රාජ්‍ය මර්දනයන් හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධව තමා ඔහු එය පවත්වගෙන ගියේ.

ඔහුට පත්තරේ වහන්න සිද්ද වුණා ආණ්ඩුවේ සහ LTTE බලපෑම් නිසා. චේරන් ඒකේ උප කර්තෘ කෙනෙක් විදියට තමා ජනමාධ්‍ය වේදයට ආවේ. ඔහුගේ ආරම්භයේ ඉදළම ඔහු තුළ ස්වාධීන මාධ්‍යවේදයට කැපවීමක් තිබුණා.

ඔහු කොළඹට ආවට පස්සෙ මං ඔහුට ආරාධනා කළා අපි දෙමළ පත්තරයක් පටන් ගමු කියලා. ඔහු තමයි Sarinihar පුවත්පත කියන අපේ යුක්තිය පුවත් පතේ සහෝදර දෙමළ පුවත් පතේ ආරම්භක කර්තෘ. ඔහු අපිත් එක්ක දීර්ඝ කාලයක් වැඩ කළා.

කොහොමහරි ඔහුට තවත් තර්ජන තිබුණ නිසා ඔහුගේ මුළු පවුලම ඒ වෙනකොටත් රට අතහැරලා ගිහින් තිබුණෙ. ඒ නිසා ඔහුත් රට හැර යන්න තීරණය කළා.

මම තමයි චේරන්ගේ සම්මුඛ සාකච්ඡා සිංහලෙන් වැඩිපුරම හෝ ලියලා තියෙන එකම ලේඛකයා. අපි අතරෙ තිබුණෙ ඉතාම හොද සහෘද සම්බන්ධයක්. අපි දෙන්නා බෙදා නොගත්ත දෙයක් අපේ ජීවිතවල තිබුණෙ නැහැ. අපේ ජීවිත වල තිබුණ රහස් , අරමුණු වගේ දේවල් වල ඉදලා ඔහු අපේ ගෙදර ආවම පාන්දර දෙක තුන වෙනකල් සංවාදවල ඉදලා විනෝදවීම් දක්වාම ඔහු මට ගොඩක් කිට්ටුවෙන් හිටියා.

ඉතිං චේරන් කියන්නෙ ඇත්තටම කවියෙක්, ලේඛකයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් වගේම බුද්ධිමතෙක්, ඔහු මගේ ජීවිතයට යම් බලපෑමක් කරපු පුද්ගලයෙක් විදියට හදුන්වන්න පුළුවන්. මං හිතන්නෙ අපි සංවාදශීලීව එකිනෙකාට බලපෑම් කරගත්තා. හැබැයි අපි අතර වෙනස් අදහස් නොතිබුණාමත් නෙමෙයි. නමුත් අපේ මිත්‍රත්වයට ඒකෙන් බලපෑමක් වුණේ නෑ.

චේරන් සහ අනුර කුරුකුලසූරිය කියන දෙන්නම මට හිටපු ළබැදිම මිතුරන් දෙදෙනෙක්.අපි හැමෝටම කවදාහරි මේ දේවල් දාලා යන්න වෙනවා. නමුත් වැදගත් වෙන්නෙ ඒ යන දවසට පසුතැවීමක් නැතිව යන එකයි. මං හිතන්නෙ මගේ මිත්‍රයො දෙන්නටම ඒ විදියට කිසිම පසු තැවීමක් නැතුව යන්න පුළුවන් වුණා.

සාකච්ඡාව සහ සටහන
බාසුරු ජයවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙල්ෆ්ට් දූපතට නව පරිච්ඡේදයක්:දූපත් වැසියන්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: ඩෙල්ෆ්ට් දූපතට නව පරිච්ඡේදයක්:...

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී...

චැම්පියන්ස් ලීග්: පීඑස්ජී සහ රෝමා තරඟය සම වේ…

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: මෙම චැම්පියන්ස් ලීග් පාපන්දු...

වීසා නඩුවේදී ඩයනා වරද පිළිගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන...