ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද් අහමඩ් විසින් මහමගදී තරුණයෙකුට පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
පුත්තලම නගරයේ ඉල්ලඩිය පල්ලිය ආසන්නයේ මාර්ගය අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයකුට නගරාධිපතිවරයා විසින් මෙසේ පහරදී ඇත.
පහරදීමෙන් අනතුරුව තත්වය උණුසුම් වෙද්දී නගරාධිපතිවරයා තමන් පැමිණි කැබ් රථයෙන් පළාගොස් ඇති අතර පහරකෑමට ලක්වූ තරුණයා එම කැබ් රථයට ගල් ප්රහාරයක් එල්ල කර ඇති බවත් සඳහන්.
කෙසේවෙතත් මේ වනවිට පහරකෑමට ලක්වූ තරුණයා පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම තරුණයා මෙසේ පැවසීය.
“කඩේ ගාව ඉද්දී එයා හවස ආවා. හවස ඇවිල්ලා ළඟට එන්න කියලා කිව්වා. මං ගියා වාහනේ ගාවට. කඩ දාන්න එපා කියලා කියලා තියෙනවා නේද, ඇයි කඩ දැම්මේ කියලා මගෙන් ඇහුවා. ඊටපස්සේ මම එයාට කිව්වා සර් ඇයි අපට එහෙම අසාධාරණයක් කරන්නෙ, අනිත් කට්ටියගෙ කඩ තියෙනවානෙ, මටත් කඩේ කරන් යන්න දෙන්න කියලා. එහෙම කියද්දී තමයි මට එයා ගැහුවෙ. මොකක්ද දන්නෑ අතේ එයාගෙ තිබ්බා, ඒකෙන් තමයි ගැහුවේ මට”


