*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

රටට වැඩියෙන්ම වැඩ කළේ මහින්ද – පොහොට්ටු සාගර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එළඹෙන 15 වැනිදා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙවැනි ජාතික සම්මේලනය පිළිබඳව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලද්දකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා 2016 වසරේ දී ආරම්භ කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මේ වෙනකොට අවුරුදු හතක් පමණ ගතව තිබෙනවා. මේ කාලය ඇතුළත පැමිණි ගමන්මඟ පිළිබඳව ඔබේ අදහස කුමක්ද ?

රටේ ප්‍රගතිශීලී ජනතාව, රටට ආදරය කරන ජනතාව, මේ රටේ ජාතිකත්වය අගයන ජනතාව හැමදාම රැඳී සිටි ප්‍රගතිශීලී පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. නමුත් 2015 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහා පාවාදීමක් කරලා මේ රටේ ප්‍රගතිශීලී, රටට ආදරය කරන ජනතාවගේ හැඟීම්වලට සහ ඔවුන්ගේ බලාපොරොත්තුවලට සිදුකරපු විශාල හානිය, අවමානය නිසා මේ රටේ ප්‍රගතිශීලී ජනතාව එකතු වෙලා එවකට මේ රටේ ඔවුන් දැකපු, මේ රටට නිදහස දීපු ප්‍රගතිශීලීම ජන නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා වටේ එකතු වෙලා ඔහුගෙන් දැඩි ඉල්ලීමක් කරනවා රටට ආදරය කරන මිනිස්සු වෙනුවෙන් අලුත් පක්ෂයක් බිහි කරන්න කියලා.

ඒ දැඩි ඉල්ලීම පදනම් කරගෙන තමයි මේ පක්ෂය බිහි වෙන්නෙ. ඇත්තටම මහින්ද රාජපක්ෂ මහතාගේ මහා විශාල ජන බලවේගය, ජනතා විශ්වාසය ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතාගේ සුවිශේෂි වූ සංවිධාන ශක්තිය කියන කාරණා දෙක එකතු වෙලා මේ පක්ෂය බිහි වෙනවා, මේ රටේ පොදු ජනතාව වෙනුවෙන්.

එදා ඉඳන් අපි පක්ෂයක් ලෙස ඉතාම ශක්තිමත් ගමනක් ඇවිල්ලා තියෙනවා. අපි මැතිවරණ තුනකට මුහුණ දීලා තිබෙනවා. 2016 තමයි පක්ෂය පිහිටුවන්නෙ. 2018 මුල වෙනකොට අපි පළාත් පාලන ඡන්ද විමසීමට මුහුණ දෙනවා.

එයින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඊළඟට 2019 අපි ජනාධිපතිවරණයට මුහුණ දෙනවා. ඒකෙනුත් ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඊට පස්සෙ පාර්ලිමේන්තු මැතිවරණය. 1978 ව්‍යවස්ථාව යටතේ කිසිවෙකුටත් ලබාගත නොහැකි වේ යැයි හිතපු තුනෙන් දෙකක බලයත් එක්ක අපි ජයග්‍රහණය කරනවා. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නෙ අදටත් අපරාජිත පක්ෂයක්. රටේ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන ගෞරවය නිසා මේ පක්ෂය වටා එකතු වෙලා ඉන්නවා.

උතුරු නැඟෙනහිර ප්‍රදේශවලින් මේ පක්ෂයට ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැහැ, එම පළාත්වල ජනතාවගේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ කුමක්ද ?

ඒකෙ කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි මහින්ද රාජපක්ෂ කියන ඒ සුවිශේෂි නායකත්වයට සහ සුවිශේෂි චරිතයට මේ රටේ බහුතරයක් ජනතාවගේ තිබෙන අසීමිත ආදරය. දෙවැනි කාරණය ලෙස අපි දකිනවා ඔහු මේ රට වෙනුවෙන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාව.

මහින්ද චින්තනය කියන ප්‍රතිපත්ති මාලාව තුළින් එතුමා මේ රටේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී වූ ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. මෙතෙක් කාලයක් මේ රටේ ක්‍රියාත්මක නොවුණු ජාතික වැඩපිළිවෙළක් ඔහු ආරම්භ කළා.

නමුත් මහින්ද චින්තන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර එතුමා රට භාර දෙනකොට අපිට පුළුවන් වෙලා තිබුණා අපේ දළ ජාතික නිෂ්පාදිතය හතර ගුණයකින් වැඩි කරන්න. ඩොලර් බිලියන 80ක් දක්වා ගෙන යන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා රට පාලනය කළේ පළමුවැනි වසර පහ යුද්ධයත් සමඟ. එතුමා භාර ගත්තෙ රට සෘණ ආර්ථිකයකට ගිය රටක්. යුද්ධයත් සමඟ භාර අරන් පළමුවැනි වසර පහ යුද්ධය කරලා යුද්ධය ජයග්‍රහණය කළා.

ඒ වගේම දෙවැනි වසර පහ එතුමාට සටන් කරන්න වුණේ ගෝලීය ආර්ථික අර්බුදයත් එක්ක. ඒ වේලාවේ ගෝලීය ආර්ථික අර්බුදය ලෝකයේ බොහෝ රටවල්වල සහ දියුණු රටවල්වල පවා ආර්ථිකයන් ඍණ අවස්ථාවන්වලට යන අවස්ථාවක එතුමාට හැකි වුණා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 7.2ක් දක්වා වැඩි කරන්න. ආර්ථිකය ප්‍රතිලාභ ලබපු හැම දෙනාම ඒ තුළින් තමන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගත්තා.

නමුත් අපි උතුරේ සංචාරය කරනකොට අපිට තේරෙනවා උතුරේ ජනතාව දැන් පිළිගන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ පමණයි උතුරට සංවර්ධනයක් සිදු වුණේ කියලා.

එතුමා විතරයි උතුර වෙනුවෙන් දෙයක් කළේ කියලා. ඒ වගේම නැඟෙනහිර මුස්ලිම් ජනතාවත් අද පිළිගන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා හැටියටත්, බැසිල් රාජපක්ෂ මැතිතුමා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හැටියටත් කටයුතු කරපු කාලසීමාවේ දී තමයි නැඟෙනහිරට නිදහසින් පසුව යම්කිසි සංවර්ධනයක් සිදු වුණේ කියලා.

මහින්ද රාජපක්ෂ මහතා උතුරු වසන්තය, නැඟෙනහිර නවෝදය වගේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒත් දෙමළ, මුස්ලිම් ජනතාව අපෙන් ඈත් කරන කුමන්ත්‍රණකාරී උත්සාහයක් එදා තිබුණා.

මේ මොහොත වෙනකොට පක්ෂයේ යම් පසුබෑමක් වෙලා තිබෙනවා නේද, ඒකට හේතුව මොකද්ද ?

ඒක වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒක තමයි පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව වෙත අපි ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා. ඔහු මේ රටට, රටේ ජනතාවට ආදරය කරන නායකයෙක්. නමුත් එතුමාට දේශපාලන පරිණතභාවයක් තිබුණෙ නැහැ. ඒ වගේම 2019 නොවැම්බර් මාසේ එතුමා ජනාධිපතිවරයා වෙනවා. එතුමා මේ රට භාරගත් අවස්ථාවේ 2020 මාර්තු මාසේ වෙනකොට මාස හතරකින් මේ රට වසා දමන්න සිදුවෙනවා. ඒ ගෝලීය වශයෙන් ඇතිවුණ කොවිඩ් අර්බුදයත් සමඟ. එතනදි අපි දකිනවා එතුමා කටයුතු කළේ සම්පූර්ණයෙන්ම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම ද, රටේ ආර්ථිකය ද කියන ගැටලුවත් සමඟ. නමුත් එතුමා හැම වෙලේම කිවුවෙ රටක ආර්ථිකයක් පසුව අපිට හදන්න පුළුවන් දෙයක්. නමුත් ජනතාවගේ ජීවිත නැති වුණොත් රටක ආර්ථිකයක් තිබිලා වැඩක් නැහැ කියන එක.

අපි දකිනවා ගෝලීය කොවිඩ් අර්බුදයත් සමඟ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න කටයුතු කරපු රාජ්‍ය නායකයෝ සියලු දෙනාටම වගේ ප්‍රශ්නයක් තිබුණා.

ඒ රාජ්‍යයන් කඩා වැටුණා. උදාහරණයක් විදිහට ලෝකෙ හොඳටම කොවිඩ් මර්දනය කරපු රට විදියට පිළිගත්තෙ නවසීලන්තය. නමුත් නවසීලන්ත අගමැතිනියට ඉල්ලා අස්වෙන්න සිදු වුණා. මොකද රටේ ආර්ථිකය කඩන් වැටුණා. ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය කඩන් වැටුණා. රට වහලා රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කළ යුතුයි කියලා තීන්දු ගත්ත ආර්ථික සියල්ල කඩන් වැටුණා. නමුත් ආර්ථිකය රැක ගන්න ඕනේ කියලා රට වහන්නේ නැතුව කටයුතු කරපු රටවල්වල ආර්ථිකය වැටුණේ නැහැ.

එදා 2021 වර්ෂයේ ජුනි මාසෙ විතර ගෝඨාභය රාජපක්ෂ මහතා තුන්වැනි වතාවට රට වහන්න යනකොට රටේ ජනතාවට ඒ දේ කිවුවා. අපි රට නැවත විවෘත කරන්න හදන වෙලාවේ මේ රටේ මහානායක හාමුදුරුවරු, විවිධ සෞඛ්‍ය බලධාරීන්, වෛද්‍යවරු සහ විවිධ සමාජ සංවිධාන එතුමාට ලොකු බලපෑමක් කළා.

ඔවුන් ඉල්ලා සිටියේ රට නැවත වරක් වහන්න කියලා. ඒ අවස්ථාවේ එතුමා ප්‍රකාශයක් කළා. මේ අවස්ථාවේ රට වැහුවොත් රටේ ආර්ථිකය ඉදිරියට කඩා වැටෙයි ඒ නිසා ඒ බව දැනුවත්ව අපි මේක කරමු කියන කාරණය. නමුත් ජනතාවට ඔවුන්ගේ ජීවිත බේරලා දුන්නට පස්සේ ඔවුන් ඊළඟට හිතුවේ තමන්ගේ ආර්ථිකය ගැන.

කෙසේ නමුත් මෑත කාලයේ රටේ ආර්ථික කඩා වැටීම පිළිබඳව සෘජුවම චෝදනා කරන්නෙ රාජපක්ෂ පවුලට. ඒකට හේතුව කුමක් ද ?

ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකුත් තිබුණා. එහිදී මම දැක්කා එවැනි චෝදනාවක් කරලා තිබෙනවා. නමුත් මම කියන්න ඕනේ ඊට සමගාමීව පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළා මේ බංකොලොත්භාවය සම්බන්ධයෙන් කරුණු කාරණා සෙවීමට. තේරීම් කාරක සභාව මුලින්ම කළේ මේ රටේ සිටින ආර්ථිකය පිළිබඳව ප්‍රාමාණික විද්වතුන් සියලුම දෙනාම ගෙන්වුවා. ඒ වගේම සියලුම විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යා අංශයේ පීඨාධිපතිවරුන්ව අපි ගෙන්වුවා.

එතනදී අපි දැකපු දේ තමයි ආර්ථිකය කඩා වැටීම ගැන නිශ්චිත මතයක් නැහැ. ඒ සම්බන්ධයෙන් මත කිහිපයක් පළ වුණා. එක මතයක් තමයි කොවිඩ් තත්ත්වය නිසා දීර්ඝ කාලීනව රට වසා තැබීම මත මේ තත්ත්වය උදා වුණා කියන කාරණය. ඒ වගේම තව මතයක් තිබුණා 2015 සිට 2019 දක්වා යහපාලන රජය විසින් ඉතා විශාල වශයෙන් ගත්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන දහතුනක් වගේ ප්‍රමාණයක්.

මේ වෙනකොට පක්ෂයේ මන්ත්‍රීවරුත් යම් යම් මතවල සිටිනවා. ඉදිරියේ දී මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ආවොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයට ඒක යම්කිසි බාධාවක් වෙයි ද ?

නැහැ. මොකද මේ රටේ ජනතාව එකතු වුණේ මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත පෞරුෂය සමඟ විතරක් නෙමෙයි. එතුමා ඉදිරිපත් කරපු රටට ආදරය කරන, ජාතිකත්වය මත පදනම් වුණ වැඩපිළිවෙළත් සමඟ. අපෙන් විවිධ කණ්ඩායම් ඉවත් වුණා. ඔවුන්ට ඉවත් කර ගන්න පුළුවන් වුණේ පාර්ලිමේන්තුවේ යම්කිසි ඔළුගෙඩි ප්‍රමාණයක් විතරයි. නමුත් ඒ ඔළුගෙඩි ප්‍රමාණය ඉවත් කර ගත්තට ඔවුන්ට හැකියාවක් ලැබිලා නැහැ රටේ ජනතාව ඔවුන් සමඟ එකතු කරගන්න.

ඔය කියන කිසිම කෙනෙක්ට අද වෙනකොට ජනතාව එකතු කර ගැනීමේ නොහැකියාවක් තිබෙනවා.

පක්ෂයෙන් ඉවත්වූ කිහිපදෙනෙක් ඉදිරි මැතිවරණයේ දී අවාසියක් වේයැයි සිතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට යළිත් එකතු වෙන්න අදහසක් දැරුවොත් පක්ෂය හැටියට ඔවුන්ව යළිත් භාර ගන්න සූදානම් ද ?

මම නම් වශයෙන් පුද්ගලයින් ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් මට මෙහෙම දෙයක් ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. අපි මේ පක්ෂය ආරම්භ කරලා තියන්නෙ යම්කිසි ජාතික වැඩපිළිවෙළක් පදනම් කරගෙන. ඒ ජාතික වැඩපිළිවෙළට එකඟ වෙන ඕනම කෙනෙකුට, ඕනම අවස්ථාවකදී එකතු වෙන්න පුළුවන්.

15 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය පවත්වනවා. ඒ සඳහා සූදානම කොහොම ද ?

අපි මේ පක්ෂයේ සිදු කළ යුතු අලුත් වෙනස්කම් සියල්ල ඉදිරි කාලය තුළ සිදු කරනවා. ඒ අනුව අලුතින් නිලධාරීන් පත්වෙයි.

පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය වෙයි. විවිධ කාරණා සිදු වෙයි. ඒ කටයුතුවල ආරම්භය තමයි ඔබ දකින්නෙ. ඉතා දැවැන්ත ලෙස මේ පක්ෂය නැඟී සිටීමට අවශ්‍ය පසුබිම තමයි සකස් වෙමින් පවතින්නෙ. ඉතා පැහැදිලිව කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ දැවැන්තම පක්ෂය හැටියට ඊළඟ මැතිවරණයේ දී ජයග්‍රහණය කරා මෙහෙයවීමට අවශ්‍ය අඩිතාලම තමයි අපි මේ සිදු කරන්නෙ.

බොහෝ දුරට ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ලබන වසරේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද ?

අපි තවම අපේ අපේක්ෂකයා කවුද කියන එක තීරණය කරලා නැහැ. අපි පුද්ගලයින් කීප දෙනෙක් ගැනම යම්කිසි සලකා බැලීමක ඉන්නවා. ඒ අවස්ථාවේදී මේ රටේ අනාගතය ගොඩ නඟන්න පුළුවන්, ඒ වගේම අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. අපි අපරාජිත පක්ෂයක්. අපේ සාමාජිකයින්ට සහ මේ රටට පොරොන්දු වෙනවා අපේ අපරාජිකත්වය ජනාධිපතිවරණයේදී මෙන්ම, පාර්ලිමේන්තු මැතිවරණයේදීද රැක ගන්නවා කියලා.

මේ වෙනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැමිණි ගමන් මඟ දෙස බලනකොට බැසිල් රාජපක්ෂ මහතා නිහඬව දැවැන්ත කාර්යයභාරයක් ඉටුකරපු පුද්ගලයෙක්. ඔහුට යම් හෙයකින් ජනාධිපති අපේක්ෂකත්වය දීමට පක්ෂය තුළ අදහසක් තිබෙනවා ද ?

මේ අවස්ථාවේ දී මට කියන්න පුළුවන් අපි කීපදෙනෙක්ම සලකා බලමින් සිටිනවා. බැසිල් රාජපක්ෂ මහතා ඒ තුළ සිටින එක චරිතයක්. පළමුවෙන්ම ඔහුගේ එකඟතාවයක් ඒකට තිබෙන්න ඕනෙ. ඒ වගේම අපි ඒ අවස්ථාවේ දී තිබෙන වටපිටාව සහ සියලු කාරණා සැලකිල්ලට අරන් තමයි අපි ඒක කරන්නෙ. නමුත් බැසිල් රාජපක්ෂ මහතා ඉතාම සුදුසු අපේක්ෂකයෙක් කියන එක කිසිම පැකිළීමකින් තොරව කියන්න පුළුවන්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan