අල්මාරියේ තිබුන මගේ බැංකු පොත කෝ …?

තාත්තාට දෙවුදත්ව වැහිලා බුදුන්ගෙන් පළිගන්න හවසට
චීත්තේට මන් තුරුල් කරගෙන දුවන් යනවා වළන් මැස්සට
පාන්දර මහා කන්ද නැගලා අම්මා යනකොට දළු කඩන්නට
පරක්කුයි ඉස්කෝලේ කිය කිය පස්ස හේදුවේ එකී හනිකට

අහස පොලවට පාත් වෙනකම් අම්මා කුස්සියේ හුල්ලද්දී
බුරු ඇඳ උඩ බීලා වැටිලා තාත්තා බැන බැන ඉඳිද්දී
මල්ලියේ උඹ යන්න හදපන් කියලා කන් දෙක පාළු වෙද්දී
අක්කා තෝඩුව දුන්න හින්දයි ගියේ කැම්පස් මන් එරන්දී

කිසිම දවසක පාට නොකරපු කිළිටි නිය අග හිරවෙලා
තවම ඇති මඩ හීනී වැල්ලක් අතැර යන්නට ලොබ වෙලා
මහපොළෙන් අර ගෙවන සොච්චම පැනලා යනකොට බයවෙලා
සල්ලි එවුවේ ඒකි මහවැළි ගඟේ යටිබඩ හුරලා

පස්සේ කාලෙක ඔපීසියේ වැඩ ඔයත් ඒ මැද හම්බුනා
ඇත්තටම මට ගමට යන බස් මාස හය හත වැරදුනා
අම්මගේ තෙල් බෙහෙත් එක්කම එයාගෙත් කෙස් සුදු වුනා
බෙළිමලක් ගෙයි ගිණි නිවන්නට කුස්සි මුල්ලේ තැම්බුනා

තවත් මොකවත් කියන් ඇවිදින් එපා දත් ටික කඩාගන්න
උඹට කළු කැත හිඟන ගෑනියි මාව මිනිහෙක්‌ කලේ ඔන්න
බැංකු පොත මට දියන් හංගපු තැනින් දැන්වත් ගමේ යන්න
මගේ අක්කට නිදා ගන්නට ලෑලි පෙට්ටිය අරන් දෙන්න

~ ජනිත් විතාරණගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...