ධර්මසිරි බණ්ඩාරනායක පිළිබද අද චිත්‍රපට සංස්ථා ශාලාවේ පැවැත්වෙන උත්සවය නම්කොට ඇත්තේ “ධර්මසිරි: කැරළිකාරී නිර්මාණාවේශය“ නමිනි.
ධර්මසිරි බණ්ඩාරනායකගේ “කැරළිකාරිත්වය මුළින්ම සමාජයට හොදින් පෙනෙන ලෙස ප්‍රකාශයට පත් වූයේ සිනමාව හරහාය. හංස විලක් සිනමා කෘතිය සැම අතින්ම ගත් කළ කැරළිකාරී කෘතියකි.
“කැරැල්ල“ මෙන්ම “සිනමාව“ ද ලංකාවේ පශ්චාත් යටත් විජිත ඉතිහාසය තුළ ඓතිහාසික වශයෙන් සුවිශේෂී සංසිද්ධීන් දෙකකි. 1960 ගණන්වල ලංකාවේ සමාජය තුළ තියුණු සමාජ විපර්යාසයක් ඇති වේ. විශාල වශයෙන් ජනගහනය වර්ධනය වීම, අධ්‍යාපනය සමාජයේ සෑම ස්ථරයක් වෙත ම ව්‍යාප්ත වී වැඩිවෙන ජනගහනය නිසා වේගයෙන් ප්‍රසාරණය වන, එහෙත් ග්‍රාමීය ආර්ථිකයේ ව්‍යුහාත්මක පරිවර්තනයක් නොවීම නිසා විශේෂයෙන් ග්‍රාමීය ආර්ථිකයට අවශෝෂණය කරගත නොහැකි, එසේම අධ්‍යාපනය හරහා “ග්‍රාමීයත්වය“ ප්‍රතික්ෂේප කළ තරුණ ජනගහනයක් නිර්මාණය වීම මේ සමාජ විපර්යාසයේ සාධක විය. කැරළිකාරිත්වය මෙන්ම සිනමාවද මේ නව තරුණ පරම්පරාවේ “ග්‍රාමීයත්වය“ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රකාශයනයන් විය.
ගාමිණී කීරවැල්ල 1971 කැරැල්ල ගැන ලියූ ලිපියක මාතෘකාවේ කොටසක් වූයේ “Simmering Village” (කැකෑරෙන ගම) යන්නයි. 1960 ගණන්වල තරුණ කැරැල්ලට පසුබිම නිර්මාණය වූවා මෙන් ම සිනමාවේ ද විප්ලවයක් සිදු විය. එතෙක් පැවැති සිනමා ආකෘතිය වෙනුවට නව සිනමා ආකෘතියක් පැමිණියේය. එය ගාමීය ජනයාගේ සංස්කෘතික ලෝකය හා බොහෝ දුරට සම්බන්ධ වූ 1950 ගණන්වල බීඒඩබ් ජයමාන්න, සිරිසේන විමලවීර සිනමාවට වඩා “ග්‍රාමීයත්වය“ ප්‍රතික්ෂේප කළ නව තරුණ පරම්පරාවේ “කැකෑරෙන කැරළිකාරී මනස“ වෙත වඩා නැඹුරු වූ සිනමා ආකෘතියක් විය.
ධර්මසිරි බණ්ඩාරනායක අයත් වන්නේ මේ කැරළිකාරී සිනමාවටයි.
සිනමාව ලංකාවේ පොදුජන සංස්කෘතියේ ඓන්ද්‍රීය අංගයක් බවට පත්වන්නේ ස්ථාපිත ග්‍රාමීය හුදෙකලාභාවයෙන් පිටතට යොමුවන ජන ජීවිතය නව සංස්කෘතික ලෝකය සමග යා කරන වඩාත් ආකර්ශනීය ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යය සිනමාව වූ බැවිනි. එය ගම් දොරින් පිටත ලොකට බලන පොදු ජනයාට මුණ ගැසෙන ඇස් නිලංකාර කරවන දර්ශනයක් මෙන් විය. තමාට භෞතික වශයෙන් ස්පර්ෂ කළ නොහැකි වූ ලෝකය මානසික වශයෙන් ශ්‍රව්‍ය හා දෘෂ්‍ය අත්දැකීමක් ලෙස ස්පර්ශ කිරීමට ලැබුණු අවස්ථාවක්.
1960 70 ගණන්වල පොදු ජනයා පොලිම් ගැසී පවුල් පිටින් චිත්‍රපට බැලුවේ එබැවිනි. 1980 ගණන්වලින් පසු සිනමාව වෙත වූ මේ පොදු ජන ආකර්ශනය වියැකී යාම ලංකාවේ පොදුජන සිනමාව ඉටු කළා වූ සංක්‍රාන්ති ඓතිහාසික භූමිකාව අවසන් විමේ ප්‍රතිඵලයකි. එසේ නොමැතිය 1983 සිනමා ශාලා විනාස වීම, යුද්ධය නිසා සහ රාත්‍රී කාලයේ බස් නොමැති වීම නිසා ජනයාට එළියට බැසීමට නොහැකි වීම වැනි සාධකවලට ලඝු කළ හැකි සංසිද්ධියක් නොවේ.
පොදුජනයා සිනමාව කෙරේ ආකර්ශනය වීම අවසන් වූයේ ද කැරළිකාරිත්වයේ 1971-1989 ආකෘතිය කෙරේ තරුණ ආකර්ශනය නැති වී යාම වැන්නකි.
ධර්මසිරි බණ්ඩාරනායක යනු කැරළිකාරිත්වය මෙන්ම සිනමාවද පොදු ජනයාට සංස්කෘතික හා දේශපාලන තොරාගැනීමක් ලෙස පැවැති ඓතිහාසික මොහොතක අප ඉදිරියේ දෘෂ්‍යමාන වූ අපගේ සමාජ, සංස්කෘතික, දේශපාලන ඇස නිලංකාර කළ පෙනී සිටීමකි. ධර්මසිරිගේ හංස විලක් ද තරුණ කැළිකාරිත්වය මෙන්ම පොදු ජනයා බදා වැළදගත් එකක් වූයේ නැත. එහෙත් කැරළිකාරී පෙනී සිටීම්වල හැටි එසේය.
~ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
RN