Sunday, November 27, 2022
spot_img

Latest Posts

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (තෙවන කොටස)

“අපි රට භාර ගන්න සූදානම් !” ලාංකිකයෝ අත් දෙකම උස්සලා සුද්දට කිවුවා. සුද්දා ලාංකිකයන්ට රට භාර දීලා ගියා. ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි ශ්‍රීලනිප මුල් වූ සන්ධානත්, ජාතික සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය කරගත් එජාපය හෝ එජාපය මුල් වූ සන්ධානත් මාරුවෙන් මාරුවට බලයට පත් වුනා. පසුගිය දෙවසර අත හැරියොත්, එදා මෙදා තුර බලයේ සිටි හැම ආණ්ඩුවක් යටතේම රට ඉදිරියට ගියා. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙද්දී එයට සමාන්තරව සාර්ව-ආර්ථික අසමතුලිතතාවයන්ද වර්ධනය වුනා. හැටේ දශකයේ මැද වෙද්දීම ලංකාව විශාල අර්බුදයකට ගිහින්.

රජයකට වසර හතර පහක් පාඩුවට දුවන්න පුළුවන්. එම කාලය තුළ, කලින් ඉතිරි කර ගත් සංචිත යොදා ගෙන පණ ගැට ගහගන්න පුළුවන්. නමුත්, සංචිත ඉවර වෙද්දී ඔය ක්‍රමය අර්බුදයට යනවා. වසර පහළොවක් පමණ පාඩුවට දුවද්දී ලංකාවේ රජයටත් සිද්ධ වුනේ ඔය සන්තෑසිය. නමසිය හැට පහ වෙද්දීම ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වුනා. ලංකාව මුහුණ දුන් ගෙවුම් ශේෂ ප්‍රශ්නයට මුහුණ දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදවු කළා. ප්‍රශ්නය විසඳුනා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවීමේ අරමුණ වුනේම ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන සාමාජික රටවලට උදවු කිරීමයි. අරමුදලේ උදවුවෙන් ලංකාව ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳා ගත්තත්, ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇති වීමට හේතු වූ නිදන්ගත රෝග තත්ත්වය සුව කර ගත්තේ නැහැ. ඒ නිසා, ලෙඩේ නැවත නැවත හැදුනා. නැවත නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ලෙඩේ සුව කර ගන්න සිදු වුනා. දාසය වතාවක්ම මෙය සිදු වුනා. නැවතත් සිදු වෙයි.

දැන් නැවතත් ලංකාව ලෙඩ වෙලා. මේ ලෙඩේ සුව කරන්න බැරි ලෙඩක් නෙමෙයි. සුව කරන්න අමාරු ලෙඩේ නැවත නැවත මතු වීමට හේතුවන නිදන්ගත රෝග තත්ත්වයයි. නිදහස ලබා අවුරුදු පහළොවක් යද්දීත් ලංකාවට මේ නිදන්ගත රෝග තත්ත්වය ඇති වෙලා. එය සුව කරන්නනම් සමාජවාදී දෘෂ්ඨිවාදය කියන පිළිකාව ඉවත් කළ යුතුයි. ඒ වැඩේ ඩොලර් ප්‍රශ්නය විසඳන තරම් ලේසි නැහැ. මේ පිළිකාව ලංකාවේ සමාජ දේහය පුරා පැතිරී ඇති භයානක පිළිකාවක්.

“මම ධනවාදියෙක්!” කියා බය නැතිව කියන අය දැන් දැන් අතරින් පතර දකින්න පුළුවන්. ලංකාවට ගොඩ යන්න පුළුවන් වෙන්නේ ඒ පිරිස රටේ බහුතරය වූ දවසටයි. බොහෝ විට ඊට කලින් වේදනාකාරී “ඔළුගෙඩි මාරු කිරීමේ පරීක්ෂණ” එකක් හෝ කිහිපයක් ලංකාවේ සිදු වෙයි. තවමත් ගෙවා නැති විශාල මිලක් ගෙවන්න සිදු වෙයි.

ලංකාවේ ආණ්ඩු කළ ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි හා ජාතික සමාජවාදී අදහස් අඩු වැඩි වශයෙන් අභ්‍යන්තරීකරණය කරගෙන සිටි ආණ්ඩු සියල්ල යටතේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වූ බව මා කලින් පැවසුවා. එය කවුරුත් දන්න දෙයක්. පැහැදිලි නැති කරුණ වන්නේ මේ ආකාරයෙන් ආර්ථිකය වර්ධනය වුනේ එම ආණ්ඩු වලින් කළ කී දේවල් නිසාද කියන එකයි. ඇත්තටම වුනේ මීට වඩා වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගන්න තිබුණු හැකියාව අහිමි වීම කියා මා කිවුවොත් එය කී දෙනෙක් පිළිගනීද?

නෛසර්ගිකවම කවදාවත් රජයකට වෙළඳපොළ යාන්ත්‍රනයේ කාර්යක්ෂමතාවය අභිභවනය කළ නොහැකියි. රජයක් විසින් කරන බොහෝ කටයුතු පෞද්ගලික අංශය විසින් නොකරන නිසා මේ කරුණ සංසන්දනාත්මකව පෙන්වා දෙන්න අසීරුයි. එහෙත්, පෞද්ගලික අංශයට කළ හැකි දේවල් රජය විසින් කරන අවස්ථා දෙස බැලීමෙන් මේ කරුණ තහවුරු කර ගත හැකියි.

නිදහස ලැබෙන තුරු හෝ ආසන්න කාලයක් දක්වා ලංකාවේ ක්‍රියාත්මක වූයේ පෞද්ගලික අංශයට මුල් තැන ලැබුණු ආර්ථික ප්‍රතිපත්තියක්. එහෙත්, ලංකාව ඒ වන විට කාර්මීකරණය වී තිබුණේ නැහැ. ලංකාවේ සම්ප්‍රදායික කෘෂිකාර්මික ආර්ථිකය තුළ ප්‍රමුඛතාවය ලැබී තිබුණේ වී ගොවිතැනටයි. ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ආයෝජනය කර ලාබ ලැබීමේ අපේක්ෂාව පෙරදැරි කරගත් ව්‍යවසායකයෙකු විසින් රටේ කවදාවත් වගා නොකළ බෝගයක් අලුතින් වගා කිරීමේ අවදානම ගන්න කලින් රට පුරා සාර්ථක ලෙස වැවෙන වී ගොවිතැන වෙත අවධානය යොමු නොකළේනම් එය පුදුමයක්.

ලංකාවේ පැවති ඉංග්‍රීසි ආණ්ඩුව ලෝකය පුරා පැතිරී තිබුණු විශාල අධිරාජ්‍යයක එක් කොටසක් පමණයි. ආණ්ඩුවේ ඉහළ තට්ටුවේ සිටි ඉංග්‍රීසින්ට ලංකාව මුල් කරගත් ජාතික අභිලාශ තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණු අභිලාශය ලංකා කොලනිය පාඩු නැතුව දුවවන එක පමණයි. ඒ නිසා, ඔවුන්ගේ අභිලාශ හා ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ආයෝජනය කරන්න කැමැත්තෙන් සිටි ව්‍යවසායකයෙකුගේ අභිලාශ ආතර ලොකු වෙනසක් තියෙන්න හේතුවක් නැහැ. තිබුණේත් නැහැ.

ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාවේ වී ගොවිතැන දියුණු කරන්න උත්සාහ කළා. එහෙත්, එය අසීරු බව ඔවුන්ට වැටහුනා. ඉංග්‍රීසින් විසින් ඉංග්‍රීසි අධිරාජ්‍යයේම වෙනත් ප්‍රදේශ වල වී ගොවිතැන දියුණු කළා. ලංකාවේ වී ගොවිතැන ගැන පමණක් දැන සිටි සම්ප්‍රදායික ගොවීන් මෙන් නොව ඉංග්‍රීසින්ට කලාපයේ අනෙකුත් තැන් වල වී ගොවිතැන සමඟ ලංකාවේ වී ගොවිතැන සංසන්දනාත්මකව බැලීමේ හැකියාව තිබුණා.

ලංකාවේ වී ගොවිතැන වගේම ඉන් පසු හඳුන්වා දුන් කෝපි වගාවද අසාර්ථක වුවත්, තේ හා රබර් වගාවන් සාර්ථක වුනා. තේ, රබර් අපනයනය කර ලැබෙන ආදායමෙන් පහසුවෙන්ම වී ආනයනය කළ හැකි වුනා. විදේශ විනිමය හිඟයක් ඇති වුනේ නැහැ. මුදල් ඒකකය අවප්‍රමාණය වුනෙත් නැහැ.

පෞද්ගලික ව්‍යවසායකයන් විසින්, වැඩිපුරම යුරෝපීය සම්භවයක් තිබුණු අය විසින්, තේ රබර් ආදිය වවා අපනයනය කළා. පසුව මේ කර්මාන්ත හරහා දේශීය ධනවතුන්ද බිහි වුනා. මිනිරන් ආදී අවශේෂ කර්මාන්තද වූ බව මා අමතක කරන්නේ නැහැ. මෙය සාරාංශගත ලිපියක් පමණයි. හාල් පරිප්පු ආදිය වැඩි වශයෙන්ම ආනයනය කරන්න සිදු වුනේ “ආනයනික” කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ පරිභෝජනය වෙනුවෙන්. බොහෝ දුරට මේ කාර්යයයේ නිරතව සිටියේ ඉන්දීය සම්භවයක් තිබුණු ව්‍යවසායකයින්. ඉන්දීය “කුලී කරුවන්” රටට පැමිණීම හා ආනයන ඉහළ යාම (විශේෂයෙන්ම වී හෝ සහල් ආනයනය) අතර සෘජු හා පැහැදිලි සම්බන්ධයක් දැකිය හැකියි.

රටෙන් අපනයනය කරන දේවල් වලින් වගේම රටට ආනයනය කරන දේවල් වලින්ද ඉංග්‍රීසි ආණ්ඩුව බදු අය කළා. රජයේ ප්‍රධාන ආදායම වුනේ මේ විදිහට ආනයන හා අපනයන මත අය කළ බදු. ඒ බදු ගෙවුවේ විශාල ව්‍යාපාරිකයින් විසිනුයි. මීට අමතරව ඉංග්‍රීසි ආණ්ඩුව ආදායම් බදුද අය කළා. ඒ හැර, රටේ දුප්පතුන්ගෙන් වක්‍ර බදු අය කළේ නැහැ. ඇහැට නොපෙනෙන උද්ධමන බදු අය කළේත් නැහැ. රජය නඩත්තු කළේ ධනවතුන් විසින්. නිදහස ලැබීමෙන් වසර ගණනාවකට පසු රාජ්‍ය ආදායම් දෙස බැලුවත් මේ තත්ත්වය දැකිය හැකියි.

මාක්ස්වාදීන් වේවා, මාක්ස්වාදයට විරුද්ධ මතයක සිටි අය වේවා, “අපි රට භාර ගන්න සූදානම්!” කියා නිදහසින් පසු ලංකාව පාලනය කිරීමට අත ගැහුවේ එක්කෝ එංගලන්තයට ගොස් ඉගෙනගත් අය. එහෙම නැත්නම් එංගලන්තයේ සංචාරය කර එංගලන්තය දැක තිබුණු අය. ලංකාව නිදහස ලබන විට සාමාන්‍ය එංගලන්ත වැසියෙක් සාමාන්‍ය ලාංකිකයෙකුට වඩා වැඩි පෝසතෙක්. එංගලන්තයේ ආයෝජනය කළ හැකි ප්‍රාග්ධනයක් තිබුණු විශාල පිරිසක් හිටියා. ඊට සාපේක්ෂව ලංකාවේ එවැනි අය හිටියේ අඩුවෙන්. අද වන විටද මේ සාපේක්ෂ වෙනස එලෙසම දැකිය හැකියි.

නිදහස ලැබූ තැන් සිට අද දක්වාම ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් රටේ ප්‍රගතියට ලොකුම බාධාව සේ දකින්නේ ප්‍රාග්ධනය හිඟකමයි. ඒ අනුව, නැති ප්‍රාග්ධනය කොහෙන් හෝ හොයා ගැනීමට විශාල මහන්සියක් දරනවා. මේ පිළිබඳව මා දරන්නේ වෙනස් අදහසක්. ඒ ගැන කතා කිරීම පසුවට තබමු.

ලංකාවේ ප්‍රශ්නය ආදායම් ඉක්මවා වියදම් කිරීම බව අමුතුවෙන් විස්තර කළ යුතු දෙයක් නෙමෙයි.එය හැමෝම වගේ දන්නවා. හැමෝම වගේ පිළිගන්නවා. ලංකාවේ ප්‍රශ්නය කියා කිවුවත් මෙය ලංකාවේ රජයේ ප්‍රශ්නයක් මිසක් සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍ය මිනිසෙකු තමන්ගේ ආදායම ඉක්මවා වියදම් කරනවානම් එය රජය විසින් එසේ කිරීමේ අතුරු ඵලයක් ලෙස සිදු වන දෙයක්. සැබෑ ප්‍රශ්නය රජයේ අයවැය හිඟයයි.

ගෙවුම් ශේෂ ප්‍රශ්නයද රජයේ අයවැය හිඟය නිසා ඇති වූ අතුරු ප්‍රතිඵලයක් පමණයි. නිදහස ලබා අවුරුදු පහළොවක් ඉක්මවද්දී ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය ඉස්මතු වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න සිදු වුනා. මෙය දිගින් දිගටටම සිදු වෙනවා. අනාගතයේදීත් සිදු වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් හෝ නොගොස් මේ මොහොතේ මුහුණ දෙන ප්‍රශ්නය විසඳා ගත් පමණින් නැවත නැවතත් ගෙවුම් ශේෂ අර්බුද පැමිණීම වැළකෙන්නේ නැහැ. ඒ සඳහා අයවැය තුලනය කරගත යුතුයි.

අද වන විට ලංකාවේ රාජ්‍ය අයවැය හිඟයට ප්‍රධානම හේතුවද රාජ්‍ය අයවැය හිඟයමයි. මෙය 2022 අයවැය ඇස්තමේන්තු දෙස බැලීමෙන් පමණක්ම වුවත් පහසුවෙන් තේරුම් ගත හැකියි.

වසර තුළ ආපසු ගෙවිය යුතු ණය වාරික – රුපියල් බිලියන 1,531යි.
පොලී වියදම් – රුපියල් බිලියන 1,115යි.
අනෙකුත් වියදම් – රුපියල් බිලියන 2,797යි.
අගය වෙනස් වීම සඳහා ප්‍රතිපාදනද සමඟ වියදම් එකතුව – රුපියල් බිලියන 5,461යි.

ආදායම් හා ලැබීම් – රුපියල් බිලියන 2,261යි.

ණය ගැනීමේ අවශ්‍යතාවය – රුපියල් බිලියන 3,200යි.

ඇස්තමේන්තු කර තිබෙන ආදායම් හා ලැබීම් අතිශයෝක්තියක්. මේ ඉලක්කය කිසිසේත්ම ළඟා කර ගත නොහැකි ඉලක්කයක්. අපි ඒ බව අමතක කර මේ ආදායම උපයා ගත්තා කියා හිතමු. එසේ වුවද, රජයේ සමස්ත ආදායමම වුවත් වසර තුළ ආපසු ගෙවිය යුතු ණය වාරික හා පොලී වියදම් ගෙවීම සඳහා ප්‍රමාණවත් නැහැ.

මේ ආණ්ඩුවට වගේම ඉදිරියේදී බලයට පත් වන කවර හෝ ආණ්ඩුවකටත් අලුතෙන් තවත් ණය ගනිමින් තිබෙන ණය වාරික හා පොලී වියදම් ගෙවීම හැර වෙනත් විකල්පයක් නැහැ. කෙසේ හෝ වියදම් කපා හැර, ආදායම් අඩු කරගෙන ප්‍රාථමික අයවැය හිඟය තුලනය කර ගත්තත්, ණය ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙන එක නියතයක්. මොකද ණය ගෙවන්න ණය ගැනීමේදී ණය වැඩි නොවෙතත්, පොලී ගෙවන්න ණය ගැනීමේදී ණය වැඩි වෙනවා. ණය වැඩි වෙද්දී පොලී වියදම්ද වැඩි වෙනවා. ඊට අමතරව විනිමය අනුපාතය පිරිහෙද්දී විදේශ ණය වල රුපියල් අගයද ඉහළ යනවා.

රාජ්‍ය මූල්‍යනය මේ තරම් නරක අඩියකට වැටුණු පසු ප්‍රශ්නය වසරකින් දෙකකින් විසඳන්න බැහැ. මේ තත්ත්වය ආපසු හරවන්නනම් සැලකිය යුතු කාලයක් සැලකිය යුතු තරමේ ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන යන්නම වෙනවා. එය පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. ඒ සඳහා හැකි ඉක්මණින් ආකෘතිමය ප්‍රතිසංස්කරණ ගණනාවක් ගන්න වෙනවා. මේ ප්‍රතිසංස්කරණ ගැන බොහෝ දෙනෙක් බොහෝ වර කතා කර තිබෙනවා. ඒවා රහස් නෙමෙයි. ඇතැම් අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි කියා කියන්නෙත් මේ නොකරම බැරි ප්‍රතිසංස්කරණ වලට.

මොන තරම් කැපවීම් කලත් අයවැය තුලනය කර ගන්න අවුරුදු තිහ හතළිහක් යනවා. මේක අවුරුදු හැත්තෑ හතරක ප්‍රශ්නයක්. අයවැය තුලනය කර ගන්න තුරු දිගින් දිගටම ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇතුළු වෙනත් ප්‍රශ්න ඇති වෙන එකත් වලක්වා ගන්න බැහැ. හැබැයි ගෙවුම් ශේෂ ප්‍රශ්නය අයවැය ප්‍රශ්නයට සාපේක්ෂව විසඳන්න පහසු ප්‍රශ්නයක්. එම ප්‍රශ්නය වුවද ක්ෂණිකව, ස්ථිර ලෙස විසඳිය නොහැකි වුවත් වසර දහයකින් පහළොවකින් විසඳා ගන්න පුළුවන්.

ආර්ථිකයේ අසමතුලිතතා සමතුලිත කර ගැනීම සඳහා අපට ආර්ථිකය සමතුලිතව තිබුණු තැනකට ආපසු යන්න වෙනවා. නිදහස ලබන විට ඒ සමතුලිතතාවය තිබුණා. එහෙත්, මෙසේ ආපසු යාමේදී නිදහසෙන් පසුව අප විසින් ලබා ගෙන තිබෙන වෙනත් බොහෝ ජයග්‍රහණ නැති කර ගන්න බැහැ. මේ අසමතුලිතතාවය ප්‍රශ්නයක් වුවත් නිදහස ලැබූ තැන් සිට රට එක තැන තිබී නැහැ. අසමතුලිතතා මධ්‍යයේ වුවත්, ලංකාව මේ කාලය තුළ හිටපු තැනින් බොහෝ දුරක් ඉදිරියට ගිහින්.

සුබසාධනවාදය හා ආදායම් විෂමතා අඩු කිරීමේ උත්සාහයන් අයවැය හිඟයට දායක වී ඇතත් එය එකම හේතුව නෙමෙයි. නිදහසට පෙරද පහළ ආදායම් ස්ථර වල පිරිස් සුබසාධනය කෙරුණා. අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් රජය විශාල වියදමක් දැරුවා. එහෙත්, අයවැය තුලනය වුනා. ඇත්තටම දැන් වෙලා තියෙන්නේ සුබසාධනයද අවශ්‍ය පමණ හෝ අවශ්‍ය පරිදි සිදු නොවීමයි.

නිදහසින් පසු සාර්ව-ආර්ථික ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් අපට අයවැය හිඟය පුළුල් වීමට හේතු වූ කරුණු ගණනාවක් එකින් එක හඳුනාගත හැකියි. එසේ හඳුනාගෙන අවුරුදු 74ක් කරන්න බැරි වූ ඇතැම් දේවල් අත හැර දැමිය හැකියි. මේ මුළු කාලය තුළම කාටවත් හරියකට කරන්න බැරි වූ දේවල් පුද්ගලයින්ගේ ප්‍රශ්න නොව ක්‍රමයේ ප්‍රශ්න බව හඳුනා ගෙන අත හැර දමන්න තවත් ප්‍රමාද විය යුතු නැහැ. මේ ලැයිස්තුව තුළ පැහැදිලිව හඳුනාගත හැකි එක් දෙයක් වන්නේ රාජ්‍ය පාලනය යටතේ ඇති ව්‍යවසායයි.

රාජ්‍ය ව්‍යවසායයන්හි පාඩු පිළිබඳ සංයුක්ත නිදර්ශන ඕනෑ තරම් පෙන්විය හැකියි. කෝප් කමිටුවේ ගණන් බැලීම් අනුව රජයට පවරාගත් තැන් සිට පසුගිය මාර්තු අවසානය දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සමුච්ඡිත අලාභය පමණක් රුපියල් බිලියන 372ක්. පෞද්ගලික ව්‍යවසායකයෙකුගේ කළමනාකරණය යටතේ ලාබ ලබමින් තිබූ මෙම ආයතනය නැවත රජයට පවරා ගත්තේ ඇයි කියන එක රහසක් නෙමෙයි. මෙහි වරද පහසුවෙන් රාජපක්ෂ පවුල් පාලනය පිට පැටවිය හැකියි. වෙනත් කණ්ඩායමක් විසින් අදාළ ආයතනය පාලනය කළේනම් මෙවැන්නක් සිදු නොවන බව යමෙකුට කිව හැකියි.

බොහෝ දෙනෙකු හිතන විදිහට රාජ්‍ය අංශය මේ තරම් අකාර්යක්ෂම වී තිබෙන්නේ හැත්තෑ හතේදී ඊනියා නිදහස් ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුවයි. දේශපාලකයා හා රාජ්‍ය සේවකයා දූෂිතයෙකු වී තිබෙන්නේද එයින් පසුවයි. අප අවධානය හෙළන්නේ මෙවැනි සංයුක්ත නිදර්ශන දෙස නෙමෙයි. යම් හෙයකින් රාජපක්ෂ පවුල් පාලනය තුළ හෝ හැත්තෑ හතෙන් පසුව නාස්තිය, දූෂණය හා හොරකම් ඉහවහා ගියේනම් එය සිදුව ඇත්තේ ක්‍රමයේ ප්‍රශ්නයක් නිසා මිස පුද්ගලයින්ගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. පුද්ගලයින් වෙනස් කිරීමෙන් යම් සාධනීය වෙනසක් කළ නොහැකි බවක් මෙයින් අදහස් වන්නේ නැහැ.

රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස පෞද්ගලික අයිතිය යටතේ පැවති ව්‍යවසාය රජය සතු කර ගැනීම පටන් ගත්තේ පනස් හයේ වෙනසින් පසුවයි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩු යටතේ මේ වැඩේ ජයටම සිදු වුනා. ඊට අමතරව රජය අලුත් ව්‍යවසාය ගණනාවකටද අත ගැසුවා. ඉන් පසුව, අනූව දශකයේ සිට රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකි වුවත් රාජපක්ෂ දශකය තුළ නැවතත් ජාතික සමාජවාදය කරා නැඹුරු වීමක් සිදු වුනා. දේශපාලකයින් හොරුන් නොවූ බව කියන හැත්තෑ හතට පෙර යුගයේ රාජ්‍ය ව්‍යවසාය ලාබ ලැබුවාද?

පහත වගුවේ පෙන්වා දී තිබෙන්නේ ලංකාව පෞද්ගලික ව්‍යවසාය රජය සතු කරන්න පටන් ගැනීමෙන් පසුව ගත වුනු 1954-1984 අතර වසර තිහක කාලය තුළ සමස්තයක් ලෙස රාජ්‍ය ව්‍යවසායයන්හි ආදායම්, වියදම් හා ලාභ-අලාභයි. හොරකම්, දූෂණ චෝදනා නැති, ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති සමාජවාදීන් මුදල් ඇමති ධුරය දැරූ කාල වකවානු වලදීත් රාජ්‍ය ව්‍යවසාය පාඩුවට මිස ලාබයට දුවා නැහැ.

හොරකම්, දූෂණ, නාස්ති ආදිය රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන්නට හේතුවක් බව බොරුවක් නෙමෙයි. එය පැහැදිලි කරුණක්. මේ හොරකම්, දූෂණ, නාස්ති නැවැත්විය හැකිනම් රාජ්‍ය ව්‍යවසායයන්හි පාඩු අඩු කළ හැකි බවත් ඇත්තක්. එහෙත්, එසේ හොරකම්, දූෂණ, නාස්ති අඩු කිරීම ගැන කතා කරන්න සිදු වී තිබීමම පෞද්ගලික අංශයට කළ හැකි දේ රජය විසින් කිරීමේ ප්‍රතිඵලයක්. හේතුව ඉතා පැහැදිලි, තේරුම් ගන්න අමාරු නැති කරුණක්. පෞද්ගලික ව්‍යාපාරයකට පාඩුවට දුවන්න බැහැ. පාඩු ලබන පෞද්ගලික ව්‍යාපාර වැසී යනවා. එහෙත්, රජයට දිගින් දිගටම පාඩු ලබන ව්‍යාපාර නඩත්තු කළ හැකියි. එම පාඩුව දරන්නේ පැත්තක ඉන්න පිරිසක්. වක්‍ර බදු හරහා රුපියල් බිලියන 372ක ශ්‍රී ලන්කන් පාඩුව ගෙවන ශ්‍රී ලාංකිකයින්ගෙන් අති මහත් බහුතරය ජීවිතේටම ගුවන් යානයක් දැක තිබෙන්නේ අහසේ පමණයි.
හැම රාජ්‍ය ආයතනයක්ම පාඩු නොලබන බව කාට හෝ කියන්න පුළුවන්. වෙන්න පුළුවන්. නමුත්, පෞද්ගලික අයිතිය යටතේ තිබුණානම් ඔය කිසිම ආයතනයක් පාඩු ලබන්නේ නැහැ. ඒ වගේම, කිසියම් ආයතනයක් කිසියම් වසරකදී ගිණුම්කරණ ලාබයක් ලැබුවා කියන එකෙන් එම ආයතනය පාඩු නොලැබූ බවක් අදහස් වන්නේ නැහැ. ගිණුම්කරණ ලාබය රුපියල් වලින් විශාල මුදලක් වෙන්න පුළුවන්. එපමණකින්ද මේ කතාව වෙනස් වෙන්නේ නැහැ.

කිසියම් ව්‍යවසායකයෙක් විසින් ආයතනයක් වෙනුවෙන් ආරම්භයේදී යොදවන ප්‍රාග්ධනයක් තිබෙනවා. ඇතැම් විට පසුව තවතවත් ප්‍රාග්ධනය යොදවනවා. ආයතනයක ගිණුම්කරණ ලාබයට අමතරව මෙසේ යෙදවූ ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභද නොලැබේනම්, එහි ගිණුම්කරණ ලාබයක් ඇතත් ආර්ථික ලාභයක් නැහැ.

නිදහසේ සිට අයවැය හිඟයක් දිගටම නඩත්තු කරන ලංකාවේ රජය රාජ්‍ය ව්‍යවසාය වෙනුවෙන් ආයෝජනය කර තිබෙන හැම ආන්තික රුපියලක්ම ණයට ගත් රුපියල්. හැම ආන්තික ඩොලරයක්ම ණයට ගත් ඩොලර්. මේ රුපියල් හා ඩොලර් වෙනුවෙන් පොලී ගෙවිය යුතුයි. ඊට අමතරව ඩොලර් ණය වල රුපියල් වටිනාකමද වසරින් වසර ඉහළ යනවා. ගිණුම්කරණ ලාබයක් ආර්ථික ලාබයක් වීමටනම් මේ පොලී වියදම් හා ඩොලරයේ මිල ඉහළ යාමේ බලපෑමද ආවරණය කෙරෙන තරමට එම ගිණුම්කරණ ලාබ විශාල විය යුතුයි. එසේ නැත්නම් ඇත්තටම සිදුව තිබෙන්නේ පාඩුවක්.

තමන් යටතේ ඇතැම් ආයතන පාලනය වූ කාල වකවානු වල දිගින් දිගටම පාඩු ලැබූ එම ආයතන ලාබ ලැබූ බව ඇතැම් අය කියනවා. මේ කතාව පට්ට පල් බොරුවක් කියා මම කියන්නේ නැහැ. එසේ වූ පමණින්, මගේ තර්කය අවලංගු වන්නේද නැහැ. කෙසේ වුවද, මේ කියන ලාබ පිළිබඳවද මට ප්‍රශ්න තිබෙනවා.

මෙය මෙසේ දිගින් දිගටම පාඩු ලැබූ ආයතන වල පාඩුව ලාබ වලට හැරවූ බව කියන අයට කරන අභියෝගයක්. ඔබ එසේ කරන්නට සමත් වුනානම්, කරුණාකර අදාළ ආයතනය පාඩු ලැබූ වසර වල හා ලාබ ලැබූ වසර වල විස්තරාත්මක ගිණුම් සමඟ පාඩු ලාබ බවට හැරවූ ආකාරය පැහැදිලි කරන්න. එවිට ඔබ සංඛ්‍යාලේඛණ විජ්ජාවක් කර නැති බව කාට වුවත් පැහැදිලි වෙයි. ඒ වගේම, කවර හෝ පාඩු ලබන ආයතනයක් ලාබ ලබන ආයතනයක් බවට පත් කළ හැකි ක්‍රමයක් ඔබ දැන සිටිනවානම්, ජනතාවට ආදරයක් ඇති කෙනෙකු ලෙස ඔබ ඒ රහස සඟවාගෙන නොසිට ඉදිරිපත් කළ යුතුයි. අවසාන අරමුණ ජනතාවට සේවයක් කිරීමනම් ඔබේ යෝජනාව වෙනත් අයෙකු විසින් ක්‍රියාත්මක කිරීම ඔබට ප්‍රශ්නයක් වෙන්න බැහැ.

රජය ව්‍යාපාර කිරීමේ පාඩුව මෙපමණක් නෙමෙයි. රාජ්‍ය ව්‍යවාසයයක් සතු ඒකාධිකාරී බලය ප්‍රයෝජනයට ගනිමින් පාරිභෝගිකයන්ගෙන් අසාධාරණ මිලක් අය කළ හැකියි. ඒ නිසා, ඇතැම් විට රාජ්‍ය ව්‍යවාසයයක් ලාබ ලැබුවත් ඒ ලාබ නියම ක්‍රමයට උපයන ලාබ නෙමෙයි. උදාහරණයක් ලෙස තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවය නඩත්තු කරන අතරම ඉන්ධන මිල ඉහළ දමා පාඩු අඩු කර ගන්න පුළුවන්. විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය නඩත්තු කරන අතරම විදුලි බිල ඉහළ දමා පාඩු අඩු කර ගන්න පුළුවන්. පෞද්ගලික අංශයේ ඒකාධිකාරයකට වුවද මෙය කළ හැකි වුවත් රජයට නියාමනය හරහා ඒකාධිකාර ඇති වීම වැළැක්විය හැකියි.

පෞද්ගලික අංශයේ ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමට තිබෙන කර්මාන්තයක වුවද රාජ්‍ය ව්‍යවසායයක් පැත්තකින් ක්‍රියාත්මක වෙද්දී සමස්තයක් ලෙස එම කර්මාන්තයම අකාර්යක්ෂම වෙනවා. රාජ්‍ය ආයතනය පාඩුවට දුවන විට පෞද්ගලික ආයතනයට එසේ පාඩු ලබමින් දුවන්න බැරි නිසා වෙළඳපොළෙන් ඉවත් වෙන්න වෙනවා. රාජ්‍ය ආයතනය සුපිරි ලාබ ලබන විට පෞද්ගලික අංශයේ තරඟකරුවන්ද සුපිරි ලාබ ලැබීමට පෙළඹෙනවා. ඇතැම් අවස්ථා වල පෞද්ගලික අංශයේ තරඟකරුවන්ට රාජ්‍ය අංශය අභිබවා තරඟයෙන් ඉස්මතු විය හැකි නමුත් ඇතැම් විට සිදු වන්නේ පෞද්ගලික අංශයද රජයේ ක්‍රමයට අනුගත වීමයි. ලංකාවේ ටෙලිකොම් කර්මාන්තය පළමු කාණ්ඩයටත්, වාණිජ බැංකු දෙවන කාණ්ඩයටත් උදාහරණයි.

සමස්තයක් ලෙස ගත් විට රාජ්‍ය අංශය ව්‍යවසායයන් බදා ගෙන සිටීමෙන් සිදුවන ලොකුම හානිය කර්මාන්තයේ වර්ධනය ඇණ හිටීමයි. අනූව දශකයට පෙර දුරකථන සම්බන්ධතාවක් ලබා ගැනීමට අවශ්‍ය වූ අයෙකුගෙන් ඇහුවොත් මේ ගැන කියයි. මේ හේතුව මත ලංකාවේ රජය විසින් අහිමි කරගත්, නොපැවති සමාගම් වලින් ලබා ගත හැකිව තිබුණු බදු ආදායම ඉතා විශාලයි. මේ පාඩුව, රාජ්‍ය ව්‍යවසාය වල සමස්ත සමුච්ඡිත අලාබයට එකතු කර එයට පොලී වියදම් හා ඩොලරයේ මිල ඉහළ යාමේ බලපෑම එකතු කළ විට වත්මන් ණය කන්දට රාජ්‍ය අංශයේ ව්‍යවසාය නිසා සිදුව ඇති බලපෑම තේරුම් ගත හැකි වෙයි.

ඔළුගෙඩි මාරු කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. පෞද්ගලික අංශයට කළ හැකි දේ රජය විසින් බදාගෙන සිටීම දිගින් දිගටම අසාර්ථක වී ඇති ක්‍රමයක්. එය නැවත නැවත අත් හදා බලමින් ලංකාව මුහුණ දෙන නිදන්ගත ප්‍රශ්නයෙන් ගොඩ යන්න බැහැ. ලංකාවේ ගොඩදමන්නනම්, ඉදිරියේදී අප විසින් කතා කරන්නට අපේක්ෂා කරන වෙනත් බොහෝ දේ අතර, රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යුතුයි. ඒ වෙනුවෙන් සෘජුව පෙනී නොසිටින පුද්ගලයෙකුට හෝ දේශපාලන පක්ෂයකට රට ගොඩ දමන්න බැහැ.

කෙසේ වුවද, මෙයට විසඳුමක් ලෙස රාජ්‍ය ව්‍යවසායයන් විදේශිකයින්ට විකුණා දැමීම තුළ වෙනත් අතුරු ප්‍රශ්න ඇති වෙනවා. ඩොලර් හිඟයට තාවකාලික පිළියමක් ලෙස රජය සතු වත්කම් විදේශිකයින්ට විකුණා දැමීමත්, පුද්ගලීකරණය හරහා නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමත් එකට පටලවා ගත යුතු නැහැ.

ඉකොනොමැට්ටා

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.