Saturday, October 8, 2022

Latest Posts

අලි-මිනිස් ජීවිත වනසන අලි අගල් ප්‍රෝඩාව පිටුදකිමු !

ශ්‍රී ලංකාව අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් ලෝකප්‍රසිද්ධ රටකි. ඊට හේතුව මෙම නිරන්තර අරගලය හේතුවෙන් ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යවක් මරණයට පත්වන රට ශ්‍රී ලංකාව වීමය. මිනිස් මරණ අතින් ගත්තද අප දෙවැනි වන්නේ අසල්වැසි ඉන්දියාවට පමණි. අප මේ ගෙවා දමන සෑම දිනයකම මෙම පුංචි දිවයිනේ කොහේ හෝ තැනක අලියෙකු අකාලයේ මරණයට පත්වේ. තවද ගතවන සෑම සතියකම මිනිස් ජීවිත දෙකකට වඩා අලි-මිනිස් ගැටුම් හේතුවෙන් රටට අහිමිවේ. මෙම වනජීවී-මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ විශාල පාරිසරික, සමාජාර්ථික මෙන්ම දේශපාලන අර්බුදයක් බවට පත්වී තිබුණද එය අවමකිරීම සඳහා කිසිඳු සාධනීය පියවරක් ගැනීමට අප මෙතෙක් සමත්ව නැත. ඒ වෙනුවට සිදුවන්නේ යල් පැනගිය අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවේද වෙනුවෙන් මහජන මුදල් කෝටි – ප්‍රකෝටි ගණනින් මකර කටට යැවීමය. වන අලින් සහ අසරණ ග්‍රාමීය ජනතාව තමන්ගේ ජීවවලින් වන්දි ගෙවීමය. ඒ සඳහා බලධාරීන් යොදාගනිමින් සිටින අලුත්ම ප්‍රෝඩාව අගල් කැපීම බව අප අවධාරණය කරමු.

වර්තමාන ආණ්ඩුවේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය නම් පුළුල්, සංකීර්ණ සහ විද්‍යාත්මක විෂය පථය අයත් වෙන්නේ වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයටය. එහි අමාත්‍යවරයා වන්නේ විමලවීර දිසානායක මහත්තයාය. ලේකම් මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතාය. නමුත් ඔවුන්ගේ දැනුම් තේරුම් පරාසය අනුව ඔවුන්ගේ බුද්ධියට ගෝචරවී ඇත්තේ ඔය කියන පුළුල්, සංකීර්ණ සහ විද්‍යාත්මක විෂය පථයෙන් ‘අලිවැට හා අගල්’ පමණක් බව කීමෙහි වරදක් නැත. ඊට අමතරව ඒ පුහුදුන් මොළ ගෙඩිවලට අලුත් යමක් කල්පනාවී නම් ඒ ‘බැම්ම ගැහිල්ල’ය. අලි-මිනිස් ගැටුම අවමකිරීම අන්තර් ආයතන සහයෝගයෙන් සිදුකළයුතු සාමූහික ක්‍රියාවක් බව අබැටක් තරම් වත් මොළයක් ඇති ඕනෑම කෙනෙකුට වැටහේ. නමුත් ඒ බව නොවැටහෙන අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා විශ්වාසය තබන්නේ භෞතික බාධක කෙරෙහිම පමණි. ඔවුන් තමන්ගේ පටු දැනුම් පරාසයෙන් සිතා මේ වනවිට වන අලින් ජීවත්වෙන ජාතික උද්‍යාන වටා අගල් හැරීමට බිංකුන්ඩන්ට වඩා උනන්දුවකින් කටයුතු කරමින් සිටිති. එය ඉකුත් දෙසැම්බර් පළමුවැනිදා විල්පත්තු ජාතික උද්‍යානයේ නැගෙනහිර මායිමෙන් ආරම්භ කෙරුණේ උත්සවාකාරයෙණි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද අලි-මිනිස් ගැටුම් කළමනාකරණය යනු පුළුල්, සංකීර්ණ සහ විද්‍යාත්මක විෂය පථයක් යන්න තඹ සතයකට මායිම් නොකර ‘ගොනා සේ’ දේශපාලන අධිකාරියේ උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරමින් සිටී. මේ වන විට ලාහුගල ජාතික උද්‍යානයේ බටහිර මායිමේ සහ උඩවලවේ ජාතික උද්‍යානයේ දකුණු මායිමේද අගල් කැණීම් සිදුවෙමින් පවතී. තවද ලුණුගම්වෙහෙර, වස්ගොමුව සහ මාදුරුඔය ජාතික උද්‍යාන වල මායිම් අගල් කැණීම සඳහා තෝරාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ මින් පෙරද අවස්ථා ගණනාවකදී අගල් ඉදිකර අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට දැරූ ප්‍රයත්නයන් සාර්ථකවී නැති බව හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා අවධාරණය කරයි. ඔහු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් පත්කළ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ කමිටුවේද සාමාජිකයෙකි.

“පැල්වත්ත සීනි සමාගමට අයත් වගා ඉඩම් සහ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය අතර මායිමේත්, ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ බටහිර මායිම ඔස්සේ තණමල්විල මාර්ගයට සමාන්තරවත්, ඒවගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව කත්නොරුව ප්‍රදේශයේත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදුලි වැට සමඟ ඒකාබද්ධව අගල් අත්හදා බැලූ නමුත් එය අකාර්යක්ෂම බව පැහැදිළි වුණා. පුත්තලම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් හිමියන් අගල් අත්හදා බලා ඇතත් එයද සාර්ථක වී නැහැ” ආචාර්ය පිලපිටිය සාක්ෂි සහිතව පෙන්වා දෙයි.

වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමත් සමග අම්පාර ප්‍රදේශයේ කසළ බැහැර කරන ස්ථානයක අලින් කසළ අනුභව කරන බවට විදෙස් මාධ්‍යක් මගින් ප්‍රචාරය වීමත් සමග රේඛීය විෂයභාර රාජ්‍ය අමාත්‍යාංශය එම ප්‍රදේශය වටාත් අගල් ඉදිකිරීමට නියෝග කෙළේ අතීත අසාර්ථකත්වය නොසලකා හරිමිනි. නමුත් මෙම අගල් පිහිටුවා දින කිහිපයක් ඇතුළත අලි ඇතුන් නැවත කුණු කෑමට පැමිණ තිබූ අතර අලි-මිනිස් ගැටුම් අවම කිරීමට අගල් අසමත් බව එමගින් වර්තමාන ආණ්ඩුවද අත්දැකීමෙන් වටහා නොගන්නේ මන්දැයි ආචාර්ය පිලපිටිය විමසා සිටියි.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ අලි-මිනිස් ගැටුම අවම කිරීමට මුවාවෙමින්, වනජීවී රක්ෂිත වලින් ස්වභාවික සම්පත් කොල්ලකෑමට අගල් යෝජනා කරන්නේද යන සැකය මතුවන බවය. දැනට ලැබී ඇති තොරතුරු අනුව ජාතික උද්‍යාන මායිම්වල සිට සැතපුමක ස්වාරක්ෂක කලාපය තුළ අගල් කැණීමට අවසර ලබාදී ඇත්තේ තමන්ගේ වියදමින් අගල් කපා ඒවායේ පස් පෞද්ගලික පාර්ශ්වවලට ලබාගැනීමට හැකිවන පරිදිය. මෙම පෞද්ගලික පාර්ශ්ව තෝරා ගැනීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් නොමැති බව ද පෙන්වා දෙන ආචාර්ය පිලපිටිය මහතා ඒ අනුව මෙම කුප්‍රකට ප්‍රයත්නයේ ප්‍රතිලාභීන් කවුරුන්ද යන්න තමන්ට සිතාගත හැකි බවද පැවසීය.

වර්තමාන ආණ්ඩුවට වැලි-ගල්-පස් කැණීම්කරුවන් සමග ඇත්තේ අවියෝජනීය බැඳීමක් බැවින් එම උනන්දුව සැබැවින්ම විමතියට කරුණක් නෙවන බව ලියුම්කරුටද සිතේ.

“මට ඇති ලොකුම කනස්සල්ල තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජෛව විවිධත්ව සංරක්ෂණය භාර අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව වනජීවී රක්ෂිත වල ස්වාරක්ෂක කලාපවලින් ස්වභාවික සම්පතක් (මෙම අවස්ථාවෙහි පස) නිස්සාරණය කිරීම නීත්‍යානුකූල කිරීම. අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා බාධකයක් ලෙස අගල් අකාර්යක්ෂම බව ශ්‍රී ලංකාවේ පෙර අත්දැකීම් පෙන්නුම් කර තිබෙනවා. නාධිපතිවරයා විසින් පත්කළ කමිටුව මගින් සකස්කළ ක්‍රියාකාරී සැලැස්ම මෙම අදහස් ශක්තිමත් කරන බැවින්, මට නිගමනය කරන්න වෙන්නේ මෙය ජාතික උද්‍යාන වලින් පස් ජාවාරම් කිරීම සඳහාම අමාත්‍යාංශය මූලිකත්වයගෙන නිර්මාණය වූ දූෂිත පෙරමුණක් බවයි.” ආචාර්ය පිලපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

මෙරට සිටින අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ “අලි ඇතුන්ට බාධකයක් ලෙස අගල් කැපීම සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ විශාල ශරීර බර හේතුවෙන් පාද වලට එල්ලවන බලපෑම නිසා අලි ඇතුන් බාධක හරහා පැනීම සිදු නොකරන බව උපකල්පනය කරමින්. එමනිසා අගලකට මුහුණ දෙන විට, අලි ඇතුන් එය හරහා දිගු පියවර තබා ඇදී ගමන් කිරීමට උත්සාහ කරනවා. දිගු පියවර තබා එය හරහා ගමන් කිරීමට නොහැකි තරම් පළල් අගල් ඇති විට ඔවුන් එක් පසෙකින් ඒ තුලට බැස අනෙක් පසින් ඉවුරට ගොඩවී යාමට උත්සාහ කරනවා. ඒ නිසා අලි බාධක ලෙස අගල් තැනීමේ මූලධර්මය තමයි, අලියෙකුට දිගු පියවර තබා එගොඩට යෑමට නොහැකි තරම් පළල හා අලියෙකුට ඇතුළුවීමට නොහැකි තරම් පටු වීම. නමුත් අලි ඇතුන් විවිධ ප්‍රමාණයෙන් වන අතර සියල්ලන්ටම ගැලපෙන පළලක් සොයාගැනීම දුෂ්කරයි” යනුවෙනි.

පාංශු තත්ත්වයන්හි විචලනය, පාෂාණමය උපස්ථරයක් තිබීම වැනි කරුණු නිසා දිගු දුරක් අගල ඉදිකිරීම දුෂ්කර ය. අගල් මගින් මතුපිට ජලය බැස යෑමට ද බාධා ඇති විය හැකි අතර එමගින් වාරි ජලය සැපයීම සම්බන්ධ ගැටළු ඇති විය හැකිය. මීට අමතරව මහා මාර්ග, ජල මාර්ග ආදිය හරහා අගල් තැනීමට නොහැක. අගල් පද්ධතියේ ඉතිරිව ඇති එවැනි ඕනෑම අවසරයක් හරහා අලි ඇතුන් ගමන් කරනු ඇත. තවද අගල් මගින් වෙනත් සතුන් ගමන් කිරීමට ද බාධා ඇති කරන බැවින් එමගින් අලි ඇතුන් පාලනයට වඩා පුළුල් බලපෑමක් ඇති කරන බව ආචාර්ය ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගේද මතයයි.

අගල්වල ඇති විශාලම ගැටළුව නම් වැසි සමයේ ජලය පිරී තිබීම සහ එමගින් ඉවුරු බිඳී යාමයි. අලි ඇතුන් ද අගල් දෙපසට බර තබා සක්‍රීයව ඉවුරු බිඳ දමනු ලබයි. අලි ඇතුන්ට ලිස්සා යාමෙන් ඉතා තීව්‍ර බෑවුමකින් පවා පහළට ගමන් කළහැකි අතර එවන් බෑවුම් දණ ගසමින් ඉහළට නැගීමද කළ හැකිය. කොන්ක්‍රීට් ඇතිරීම මගින් අගල් දෙපස ඉවුරු ස්ථාවර කර ඉවුරු බිඳීම වලක්වා ගත හැකිය. කෙසේ වෙතත්, එවැනි ස්ථායීකරණයක් ඉතා මිල අධික විය හැකි අතර කිලෝමීටරයකට රුපියල් මිලියන තිහක පමණ පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. ඉවුරු ස්ථාවර කිරීම සඳහා විවිධ ක්‍රම හෝ ද්‍රව්‍ය භාවිතා කිරීම මගින් අගල් වඩාත් ලාභදායී කිරීම කල හැකි දැයි සොයා බැලිය හැකිය. එබැවින් අගල් විශේෂීකරණයන් අත්හදා බලා නියමු පරිමාණයෙන් පරීක්ෂා කර ඵලදායී යැයි පෙනේ නම් අලි-මිනිස් ගැටුම් අවමකිරීම සඳහා යොදාගතයුතු බව ආචාර්ය ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. නමුත් කණගාටුවට කරුණ නම් බලධාරීන් මේ අවිචාරවත් අගල් ඉදිකිරීම සිදුකරන්නේ එවන් කිසිඳු අත්හදාබැලීමක්, නියමු ව්‍යාපෘතියක් සිදු නොකර වීමය.

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතාගේ නියෝග මත 2020 ජූලි 22 දින ‘ශ්‍රී ලංකාවේ අලි- මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ සකස් කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කෙරිණි. අප ඉහත සඳහන් කළ පරිදිම අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු මෙම කමිටුවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සහ පරිපාලන නිලධාරීන් රැසක් ඇතුලත් විය. ඔවුන් විසින් සකස් කෙරුණු සැලැස්ම 2020 දෙසැම්බර් 17 දින ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇත.

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවමකරගැනීම සඳහා වන තුන්කල් දකිනා සාධණීය, ප්‍රායෝගික, යථාර්තවාදී සහ සමෝධානිත වැඩපිළිවෙලක් එමගින් යෝජනාකර ඇති බව මේ පිළිබඳව උනන්දුවක් දක්වන බහුතරයකගේ මතයයි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවත් (කෝපා කමිටුව) එය අනුමත කර ඇත. නමුත් දැනට වසරකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත් එම සැලැස්ම හමස් පෙට්ටියේ සඟවා ඇත. 1959 වසරේදී ‘වනජීවී ආරක්ෂණ කමිටුව’ පත් කිරීමෙන් පසු විද්වත් කමිටුවක් පත්කර ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ සකස් කිරීම ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි-මිනිස් ගැටුම කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් ලෙස අප එකල හැඳින්වීමු. මෙරට අලි-මිනිස් ගැටුම අවමකරගැනීමට ජනාධිපතිවරයාට ඇති සැබෑ අවශ්‍යතාවය එමගින් පිළිබිඹු විය. නමුත් ඉන් පහළ සිටින සියලු දේශපාලන අධිකාරීන්ට සහ වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ පුටු වලට එකී සැබෑ අවශ්‍යතාවය නොමැති බව පැහැදිළිය. අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් සෙවීම වෙනුවට ඔවුන් මූලිකත්වය දී ඇත්තේ එය ‘තිරසාර ගැහිල්ල’ ක් බවට පත්කර ගැනීමටද යන්න විමසිය යුතුය. අලි-මිනිස් ගැටුම අවමකරගැනීමට ඉතා යෝග්‍ය සැලැස්මක් මෙසේ සඟවා තබාගෙන ගතවන දිනයක් දිනයක් පාසා ජීවිත සහ දේපොළ රැසක් රටට අහිමිකරමින්, ජන ජීවිත කබලෙන් ලිපට ඇද දමමින් අදාළ බලධාරීන් මේ මොහොතේද ජාතික උද්‍යාන වල පස් ටිකකත් වැඩය දීමට දත කෑමෙන් ඒ බව මොනවට පැහැදිලි වේ.

තවද මෙවැනි දීර්ඝ කාලීනව බලපවත්නා පාරිසරික බලපෑම් ඇතිවීමට ඉඩ ඇති සංවර්ධන කටයුතු සිදුකිරීමට ප්‍රථම ඒ සඳහා පාරිසරික බලපෑම් තක්සේරුවක් (EIA) සිදුකිරීම අත්‍යාවශ්‍යය. එහෙත් දැනට පවතින නීතියට අනුව ස්වාරක්ෂක කලාප තුළ සිදු කෙරෙන එවැනි කටයුතු වලට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කැමැත්ත ලබා දෙන්නේ නම් පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලිය මග හරිමින් එවැනි විනාශයන් සිදුකිරීමට හැකියාව පවතී. ඒ අනුව මෙම පරිසර විනාශය සිදු වන්නේ එකී හිදැස උපයෝගී කරගනිමින් නීතියේ ඇසටද වැලි ගසමින් වීම ජුගුප්සාජනකය.

එබැවින් අලි-මිනිස් ජීවිත වනසමින් මඩි තරකරගන්නා සුදු කරපටි ජාවාරම්කාරයින් පෙන්වන මංමුලාවල නොගොස්, මෙරට අලි-මිනිස් ගැටුමෙන් බැටකන සුවහසක් ජනතාවගේද අසරණ අලි ඇතුන්ගේද ජීවිතවලට සහනයක් සැලසීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් ඇතිකර ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ මහා පොළොවේ යතාර්ථයක් බවට පත්කර ගැනීම රට හමුවේ ඇති අභියෝගය බව ලියා තබනු කැමැත්තෙමි.

සුපුන් ළහිරු ප්‍රකාශ්

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.