Sunday, September 25, 2022
spot_img
spot_img

Latest Posts

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (පස්වන කොටස)

ඩොලර් අගය අනුව බැලුවත්, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තත්, ලංකාව කියන්නේ විශාල අයවැය හිඟයක් නඩත්තු කරන එකම රට නෙමෙයි. ලැයිස්තුවේ ලංකාවට උඩින් තවත් රටවල් ගණනාවක් ඉන්නවා. එහෙමනම්, අයවැය හිඟය ලංකාවට ප්‍රශ්නයක් වෙන්නත්, අනෙක් රටවලට ප්‍රශ්නයක් නොවෙන්නත් හේතුව කුමක්ද?

මෙයට වඩා විස්තරාත්මක පිළිතුරක් ඉදිරි කාලයේදී සපයන තුරු දැනට කෙටි පිළිතුරක් දෙන්නම්. පළමුව, මේ අනෙක් රටවල් වලටත් අයවැය හිඟය ප්‍රශ්නයක් තමයි. වෙනස වෙනත් රටවලට අයවැය හිඟය ලංකාවට තරම් ප්‍රශ්නයක් වී නොතිබීමයි.

පළමුව, වසංගතය හමුවේ බොහෝ රටවල 2020දී අයවැය හිඟයක් ඇති වුනත්, මේ අනෙකුත් රටවල් බොහොමයක් ලංකාව මෙන් වසර 65ක පමණ කාලයක් එක දිගට අයවැය හිඟයක් පවත්වා ගෙන නැහැ. කැනඩාව, ජර්මනිය හා රුසියාව යන රටවල 2020දී අයවැය හිඟයක් පැවතුනත් පෙර වසරේදී පැවතුනේ අයවැය අතිරික්තයක්. චීනය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රේලියාව වැනි රටවල අයවැය හිඟයක් පවතින්නේ 2008 සිටයි. ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ 2001 පමණ සිටයි. ජපානයේ 1993 පමණ සිටයි. ඉන්දියාව, ප්‍රංශය වගේ දිගුකාලයක් තිස්සේ අයවැය හිඟයක් නඩත්තු කරන රටක් ගත්තත් අයවැය හිඟ නඩත්තු කිරීමේ ඉතිහාසය ලංකාවේ තරම් පරණ නැහැ. මේ කාරණයේදීත් ලංකාවට අනෙක් බොහෝ රටවලට නැති දිගු ඉතිහාසයක්නම් තිබෙනවා!

දෙවනුව, විශාල අයවැය හිඟයක් නඩත්තු කරන අනෙකුත් බොහෝ රටවල් වලට ලංකාවට සාපේක්ෂව ඉතා අඩු පොලියකට ණය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙය පළමු කරුණ සමඟද සම්බන්ධ දෙයක්. පසුගිය වසරේ අයවැය හිඟය ඉහළ මට්ටමක පැවතුනු රටවල් කිහිපයක දස අවුරුදු බැඳුම්කරයක ඵලදා අනුපාතය පහත පරිදියි.

රටක අයවැය හිඟය ඉහළ මට්ටමක තිබුණත් අඩු පොලියට ණය ලබා ගැනීමේ හැකියාව තිබේනම් ලංකාව මෙන් විෂම ණය චක්‍රයක පැටලෙන්නේ නැහැ. ඇතැම් රටවල රජයයන් සෘණ පොලී අනුපාතික වලට පවා ණය ගන්නවා. අයවැය හිඟය ඉහළ මට්ටමක තිබෙන වෙනත් රටවල රජයන්ට අඩු පොලියට ණය ගන්න හැකි වෙන්නත් ලංකාවේ රජයට එසේ කළ නොහැකි වෙන්නත් හේතු දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතුයි.
පොලී අනුපාතික තීරණය වන්නේ ණය (බැඳුම්කර) වෙළඳපොලේ ඉල්ලුම හා සැපයුම අනුවයි. මෙය ලංකාවට වගේම ලෝකයේ වෙනත් රටවලටත් පොදු කාරණාවක්. දේශීය ණය ඉල්ලුම එන්නේ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ගෙන් හා රජයෙන්. නිවාස ඒකක වලින්ද ණය ඉල්ලුමක් එන්න පුළුවන්. රජයක අයවැය හිඟය ඉහළ යද්දී රජයේ ණය ඉල්ලුමත් ඉහළ යනවා. ඒ අනුව, සැපයුම වෙනස් නොවුනොත්, පොලී අනුපාතිකද ඉහළ යනවා.

දේශීය ණය සැපයුම තීරණය වන්නේ පෞද්ගලික ඉතිරි කිරීම් අනුපාතය මත. මේ ඉතිරි කිරීම් කරන්නේ නිවාස ඒකක විසින් හෝ ව්‍යාපාර විසින්. රජයේ අයවැය අතිරික්තයක් ඇත්නම් එයද ණය සැපයුමට එකතු වෙනවා. ලංකාව දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරන නිසා මෙය බලපාන්නේ ණය ඉල්ලුමටයි. මීට අමතරව විදේශ අංශයද ණය වෙළඳපොළේ ඉල්ලුමට හා සැපයුමට බලපෑම් කරනවා.

ලංකාවේ පෞද්ගලික බැඳුම්කර වෙළඳපොළ එතරම් විශාල එකක් නෙමෙයි. ඒ නිසා, සෘජු ණය ඉල්ලුම බොහෝ දුරට එන්නේ රාජ්‍ය අංශයෙන්. පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම එන්නේ වාණිජ බැංකු හරහා වක්‍ර ලෙසයි. වෙනත් කරුණු අතර, ලංකාවේ ඉහළ පොලී අනුපාතික වලින් පෙනෙන්නේ ණය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතර වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව වැඩි අසමතුලිතතාවයක් තිබෙන බවයි.

රුපියල් ට්‍රිලියන 17 ඉක්මවන ලංකාවේ රාජ්‍ය ණය කන්දරාවෙන් තුනෙන් එකක්ම 1977-1989 කාලයේ එකතු වූ ණය බව මා පෙර ලිපියෙන් පෙන්වා දුන්නා. මෙය මා මීට පෙරද පැහැදිලි කර තිබෙන කරුණක්. 2004-2014 කාලයේදී එකතු වී තිබෙන රාජ්‍ය ණය ප්‍රමාණය 1977-1989 කාලයේ එකතු වූ ප්‍රමාණයෙන් බාගයක් පමණ ප්‍රමාණයක්.

කෙසේ වුවද, නිදහස ලැබූ තැන් පටන් 1977 දක්වා වූ කාලය තුළද රාජ්‍ය ණය සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව අප අමතක නොකළ යුතුයි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 1951 වසර වන විටද 16.1% මට්ටමේ පැවති ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය 1976 වසර වන විට 58.5% දක්වා ඉහළ ගොස් තිබුණා. 1989 වන විට මෙම අගය 108.7% මට්ටම දක්වා ඉහළ ගියා. ඒ වන තෙක් ආර්ථික වර්ධනයට මුල් තැන දුන් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ආර්ථික ස්ථායීතාවය නොසලකා හරින්න බැරි තත්ත්වයක් ඇති වුනේ ඉන් පසුවයි.

නිදහස ලැබූ තැන් සිට 1994 පමණ දක්වා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රමුඛ ඉලක්කය වුනේ ආර්ථික වර්ධනයයි. මේ කාර්යයයේදී ශ්‍රීලනිප ආණ්ඩු හා සභාග විසින් රජයේ මධ්‍යගත සැලසුම් යටතේ සෘජු ලෙසම නිෂ්පාදනය ඉහළ දැමීමට උත්සාහ කළා. ඒ වෙනුවෙන්, ආරක්ෂණවාදී ජාතික සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කළා. සුබසාධන වියදම්ද ඉහළ මට්ටමක පවත්වා ගත්තා. ආදායම ඉක්මවා වියදම් කිරීමට හා ණය ගැනීමට පැකිළුනේ නැහැ. විදේශ ආධාර වලට අමතරව, ණය සේ ලබා ගන්නා ප්‍රාග්ධනය ආයෝජනය කිරීමද මධ්‍යගත සැලසුම් වල කොටසක් වුනා.

එජාප ආණ්ඩු හා සභාග විසින් සෘජු ලෙසම නිෂ්පාදනය ඉහළ දැමීම වෙනුවට සෘජු ලෙස රජය මැදිහත් වී යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හරහා වක්‍ර ලෙස නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සිය ප්‍රතිපත්තිය කරගත්තා. පසුව රාජපක්ෂ දශකය තුළ ක්‍රියාත්මක වූයේද, දැන් බැසිල් රාජපක්ෂ විසින් හඹා යන්නේද මේ ක්‍රමයයි. මෙහිදීද ණය සේ ලබා ගන්නා ප්‍රාග්ධනය ආයෝජනය කිරීම මධ්‍යගත සැලසුම් වල කොටසක් වුනා. සුබසාධන වියදම් ඉහළ මට්ටමක පවත්වා ගැනීම ප්‍රතිපත්තියේ කොටසක් නොවූවත්, පැවති දේශපාලන වාතාවරණය තුළ සුබසාධන වියදම් දැනෙන තරමකින් කප්පාදු කළ හැකි වූයේ නැහැ. මේ ක්‍රමය තුළද ආදායම ඉක්මවා වියදම් කිරීමට හා ණය ගැනීමට පැකිලීමක් තිබුණේ නැහැ වගේම විශාල අභිරුචියක් පෙනෙන්නට තිබුණා. ආදායම ඉක්මවා වියදම් කිරීම හා අයවැය හිඟය පියවීමට ණය ගැනීම ඉහත වෙනස් මාදිලි දෙකේම වූ පොදු ලක්ෂණයන්ගෙන් එකක්.

අයවැය හිඟය පුළුල් වෙද්දීත්, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ඉහළ යද්දීත්, ණය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු පොලී අනුපාත ඉහළ ගියා. එය බාධාකාරී මට්ටමට යද්දී සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීමට පෙළඹීම නිසා අයවැය හිඟය පුළුල් වෙද්දී උද්ධමනයද ඉහළ ගියා. උදාහරණයක් ලෙස අයවැය හිඟය දදේනි අනුපාතයක් ලෙස 19.2% මට්ටමට ඉහළ ගිය 1980 වසරේදී 91-දින භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 13% මට්ටම දක්වා ඉහළ දමන්න සිදු වුනා. ඒ වන විට ලංකාවේ පොලී අනුපාතික කවදාවත් මෙවැනි ඉහළ මට්ටමකට ගොස් තිබුණේ නැහැ. එයින් පසුවද හිඟය පියවා ගත හැකි තරම් අරමුදල් එකතු නොවූ නිසා විශාල ලෙස සල්ලි අච්චු ගහන්න සිදු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය 26.1% මට්ටමට ගියා. ජූලි වර්ජනය සංවිධානය වූයේ මේ පසුබිමේ. ජූලි වර්ජනය මර්දනය කෙරුණු අතර ආණ්ඩුවට පැවතීමට මර්දනයද දිගටම පවත්වා ගන්න සිදු වුනා.

උතුරේ කැරැල්ලට හා ජවිපෙ දෙවන කැරැල්ලට හේතු වූ සාධක සංකීර්ණ වුවත් ආර්ථික සාධකද නොසලකා හරින්න බැහැ. අයවැය හිඟය පුළුල් වීමට සමාන්තරව උද්ධමනය හා පොලී අනුපාතිකද ඉහළ යාම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි දෙයක්. බඩු මිල ඉහළ යන වේගයෙන් සමාජයේ පහළ ස්ථර වල ආදායම් ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, ඔවුන්ට ජීවත් වීම වඩ වඩා අසීරු වෙනවා. එහෙත්, සමාජයේ ඉහළ ස්ථර වලට මෙය එලෙසම දැනෙන්නේ නැහැ. පොලී අනුපාතික ඉහළ නිසා ඔවුන්ගේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභද ඉහළ යනවා. බඩු මිල ඉහළ යද්දී වියදම් වැඩි වන නමුත් ආදායම්ද සමානුපාතිකව ඉහළ යන නිසා ඔවුන්ට එතරම් ප්‍රශ්නයක් නැහැ. මේ හරහා රාජ්‍ය අයවැය හිඟය විසින් රටේ ආදායම් විෂමතාවන් පුළුල් කර සමාජ අසහනය වැඩි කරනවා.

ඇතැම් අය පෙන්වා දී ඇති පරිදි මේ දවස් වල ලංකාවේ තත්ත්වය පහත අයුරින්ද විස්තර කළ හැකියි.

“මිල වැඩි උනත් මිනිස්සුන්ට අවුලක් නැහැ වගේ හැම තැනම මිනිස්සු කාල බීල ආතල් එකේ ඉන්නේ හරී පුදුමයි. කොළඹ අධි සුඛෝපභෝගී වන් ගෝල් ෆේස් ශොපිං මෝල් එකට යන්න බැරි තරම් සෙනග.

එතකොට නුවරඑළිය දේශීය සංචාරකයන්ගෙන් පිරී ගිහින්. ග්‍රෙගරි පාර්ක් එක ෆුල්. නුවරඑළිය ටවුන් එක ෆුලි කම්පැක්ට්. දවල් හෝටන් ප්ලෙන්ස් පාරේ ගියා ජැග්රෝ එකට. සේම්, ෆුඩ් සිට් එකේ පෝලිම. ග්‍රෙගරි පාක් එකත් ෆුල්. ග්‍රෑන්ඩ් ඉන්දියන් එකට කන්න යන්න බැරි උනේ ඉඩ නෑ ඒකේ.

සුපර් මාර්කට් වල මිනිස්සු තරගෙට බඩු ගන්නවා. කොහේ තියෙන සල්ලි ද මන්දා.

කොළඹ මීගමුව නුවර හික්කඩුව වගේ ගොඩක් සුපිරි රෙස්ටෝරන්ට් වල X’mas night dinner ටේබල් ෆුල්.

ඒ විතරක් නෙවෙයි 31st evening gala dinner සේරම වගේ දැනටම ෆුලි රිසර්වුඩ්. එක ෆයිව් ස්ටාර් හොටෙල් එකකවත් Evening Gala dinner table එකක් රිසර්ව් කරන්න 25 වෙද්දි අමාරුයි. අපි මාර කට්ටක් කෑවේ දෙසැ. 27 වෙනිදා get together dinner party එකක් දාන්න ලංකාවෙ යාලුවෝ එක්ක.

ඒ වගේම Book My Show ගිහින් Spider Man – No way home ටිකට්ස් චෙක් කරන්න. දවස් කිහිපයක් ඉස්සරහා ශෝ ටයිම් වල පවා ටිකට්ස් සෝල්ඩ් අවුට්.

ඒ වගේම ඉන්ෆිනිටි ප්ලේ කරපු පෝර්ට් සිටි එකේ ඉවෙන්ට් එක, හවුස් ෆුල්.

පේන විදියට නම් ඉහළ සහ මැද පන්තියේ අය සතුටින් ඉන්නවා. සල්ලි වියදම් කරනවා. හයිවේ පාවිච්චිය 200% කින් විතර වැඩිවෙලාලු මේ දවස් වල, රෙස්ටුරන්ට් තියෙන සර්විස් ඒරියා වලට කිට්ටු කරන්න බෑ සෙනග.”

මේ විස්තර කිරීම් බොරු කියා මම කියන්නේ නැහැ. ඔය තත්ත්වයන් පෞද්ගලිකව මටත් කලින්ම නිරීක්ෂණය වී තිබුණා. මේ වගේ තැන් දිහා බලලා ලංකාව ගැන නිගමන වලට එන අයට මග හැරෙන දේවල් කිහිපයක් තිබෙනවා. පළමුව, ඔය කියන තැන් සියල්ල මිනිසුන්ගෙන් පිරෙන්න කොපමණ මිනිස්සු අවශ්‍යද? ඒ ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් කොපමණද? ගණන් හදා බැලුවොත් මේ ප්‍රමාණය රටේ ජනගහණයෙන් ඉතා සුළු ප්‍රතිශතයක්. ඒ පිරිස දෙස බලා සාධාරණ (generalized) නිගමන වලට එළඹෙන එක ඇතැම් පක්ෂ වල රැළි වලට සහභාගී වන සෙනඟ දෙස බලා මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කරනවා වගේ වැඩක්. දෙවනුව, රට පුරා මැතිවරණ රැළි වලට යන පිරිස් වගේම මේ හැම තැනකටම යන්නේ එකම පිරිසක්. ඒ නිසා, ඔය තැන් වල ඉන්න මුළු සෙනඟ ඒ එක් එක් තැන සිටින ප්‍රමාණයන්ගේ එකතුවට සමාන නැහැ.

සමස්තයක් ලෙස ගත් විට සල්ලි අච්චු ගසා පරිභෝජනය ඉහළ නංවා ඒ හරහා නිෂ්පාදනය වැඩි කර ගැනීමේ කේන්සියානු උපාය මාර්ගය තුළ වෙන්නේ ඔය වගේ වැඩක්. අච්චු ගහපු සල්ලි ටික සීමිත පිරිසක් අතේ කැරකෙනවා. ඒ අයගේ පරිභෝජනය ඉහළ යනවා. හැබැයි ඒ නිසා ඉල්ලුම ඉහළ ගිහින් බඩු මිල වැඩි වෙනවා මිසක් නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, බහුතර පිරිස කබලෙන් ලිපට වැටෙනවා.

මතු සම්බන්ධයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.