ක්‍රිකට් හරි බිසී

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 19, LNW කොළඹ:
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තබා ඇති විශ්වාසය වෙනස් එකක්.ක්‍රීඩා කිරීම උඩ පහළ යන එක සාමාන්‍ය දෙයක්.ඒත් සමහර අවස්ථාවල අසාමාන්‍ය විදිහටත් ක්‍රිකට් කඩා වැටෙනවා.ඒ වෙලාවට ක්‍රීඩකයො වගේම පාලකයොත් බැට කනවා.මේ ගෙවෙන්නෙ ක්‍රීඩකයන්ගෙ වැරදිවලට පාලකයොත් බැට කන කාලයක්.

ක්‍රීඩකයන්ට පහසුකම් සැපයිම හැරෙන විට ක්‍රීඩා කරන්නෙ කවුද කියන කාරණය තීරණය කරන තැනට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මැදිහත් වෙන්න පුළුවන් සීමාව හරි පටුයි.එතැනට වග කියන්නෙ තේරිම් කමිටුව.තේරීම් කමිටුවට නම් යොමු කළාම,එයින් සුදුසු නම් යොදා අනුමත කිරීම පැවරෙන්නෙ ක්‍රීඩා අමාත්‍යංශයටයි.මේ කාලය ඇතුළත තේරීම් කමිටු කී පාරක් වෙනස් වුණත්,ක්‍රිකට්වල ප්‍රතිපල වෙනස් වුණේ හෙමින්.කණ්ඩායමේ සංයුතිය වෙනස් වුණෙත් ඉතාමත් අඩුවෙන්.ලොකු වෙනසක් වෙන්න අවශ්‍යය බව තීරණය කරන්න ඕනි තේරීම් කමිටුව.ඒකට විරුද්ධ වෙන්න හෝ විරුද්ධ වුණත් තේරීම් කමිටුව ඉවත් කරන්න පුළුවන්කමක් ක්‍රිකට් පාලකයන්ට නැහැ.
ඇත්තටම ක්‍රිකට් පාලනය කරන්නෙ රටේ ක්‍රිකට් දියුණු කරන්න අවශ්‍යය පහසුකම් සම්පාදනය සහ අධීක්ෂණය.විශේෂයෙන් මතු වෙන අලුත් ක්‍රීඩිකාවන් හරහා කියවෙන නම්වල මැදිහත්වීම් සිඳු වෙන්නෙ ක්‍රිකට් ව්‍යාපෘති හරහා.ඒවා ඉබේ කාට හෝ සිතී කරපු අහඹු වැඩ සටහන් නෙමෙයි.ඒ ආවමත් සාමාන්‍යයෙන් බනින්නෙ ක්‍රිකට් පරිපාලනයටයි.දක්ෂයො හැංගිලා ඉන්නවා මුන්ව බලාපල්ලා කියලා.අපිට දක්ෂයො බලන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඉස්සෙල්ලා ඔවුන් ඒ දක්ෂයො බලා ගත්තු හින්දයි කියන එක අමතක වෙනවා.

බිසී කිව්වෙ රට වටේ මේ දවස්වල ග්‍රාමීය ක්‍රිකට් සංවර්ධනය කරන්න ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සකස් වෙමින් තිබෙන නිසයි.විශාල වියදමක් දරමින් කරන මේ සැළසුම් ඡන්ද නිසා කරත් අන්තිමට රටේ ක්‍රිකට්වලට සේවයක් කරන බව අප පිළිගැනීමට අවංක වෙන්න ඕනි.වෙනත් ක්‍රීඩා ගත්තම අමාත්‍යංශය සල්ලි දුන්නෙ නැත්නම් දක්ෂයො අහස දිහා බලාගෙන ඉන්න ඕනි.ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙන්න විදිහක් නැහැ.සමහර වෙලාවට ඒ දක්ෂයන්ට සළකන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට්.උදාහරණයකට අප ආසියානු ක්‍රීඩා උළෙල දිනපු මලල ක්‍රීඩකයන් වෙනුවෙන් ලක්ෂ 280 ක් පිරිනමන්න ඉදිරිපත් වෙන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට්.මේ විදිහට නෙට්බෝල්,රගර් වැනි ක්‍රීඩා ගණනාවක කුසලතා අගයන්න මැදිහත්වීම කරපු ක්‍රිකට්වල ඒ සේවය මදි වෙලා, තමන්ගෙ යටතෙ පාලනය වෙන ක්‍රිඩා අරමුදලෙන් ඒ දේවල් ක්‍රිකට් ගාවගන්නෙ නැතුව ප්‍රදානය කරන්න රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාට ඇති කරපු දොළත් එක්ක ක්‍රිකට් ගැන තිබුණු ප්‍රසාදයට ලොකු පහරක් වැදුණා.

ඒ පහරේ රිදීම් තැලීම් තමයි තවමත් අපි සමාජයේ තියෙන විශාල විරෝධය විදිහට දකින්නෙ.වෙන ක්‍රීඩාවලට දෙන්න නෙමෙයි,තමන්ගෙ ආයතනයෙ සේවකයින්ට වැටුප් ගෙවා ගන්න බැරි තරමට ක්‍රිකට් කඩා වැටුණා.ලෝක කුසලානයක් කරලා අන්තිමට ගිණුම් සටහන් වෙලා තිබුණ පරිගණකයත් නැති වුණා.එහෙම ක්‍රිකට් පරිපාලනයක් රටේම ක්‍රීඩාවලටත් උදව් කරලා,යටිතල පහසුකම් හදලා,ක්‍රීඩකයින්ට අවශ්‍යය ගෙවීම් කරලා ඉස්සරහට යන කොට ක්‍රිකට් පරිපාලනයට එන්න හීන දකින,කවදාවත් ක්‍රීඩා සමාජවල ඡන්දෙන් එන්න බැරි අය කරන්නෙ දේශපාලකයන්ට හේත්තු වෙලා අවුල් නිර්මාණය කරලා අතුරු කමිටු හරහා ක්‍රිකට් පරිපාලනයෙ පුටුවලට එන්න.
මේ උත්සාහය නිසා මෑත කාලෙ වෙච්චි එකම දේ ලංකාවෙ පටන් ගන්න ඔන්න මෙන්න කියලා තිබ්බ අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිවීම.අපට දැනෙන්නෙ නැති වුණාට අයිසීසීය ට ඉතිහාසය මතකයි.ලෝක මට්ටමේ තරගාවලියක් එද්දි,ඒ වෙනුවෙන් විශාල මුදල් ගලා එන මොහොතවල් ඉලක්ක කරලා ශ්‍රී ලංකාවෙ සිද්ධ වෙන්නෙ දේශපාලනඥයන් අතුරු කමිටු දාලා වැඩේට බහිනවා.

නිකමට මේ තත්ත්වය ගැන අවධානය යොමු කරලා බැලුවොත් පෙනෙයි මේ කියන දේ වෙලාද නැද්ද කියන කාරණය.ලෝක කුසලානයක් කරලා පඩි ගෙවන්න සල්ලි නැති වීම,ගිණුම් සහිත පරිගණකය නැති වීම වැනි කාරණා සිද්ධ වුණෙත් එහෙම අතරු කමිටු පාලන යටතෙ තමයි.උපුල් තරංගට ඒලියන්ත වයිට් පොවපු බෙහෙත් නිසා තහනම් උත්තේජක චෝදනා ආවෙත්,දේශපාලකයන්ට ක්‍රිඩකයන්ගෙ සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න රාජකීය ඉසිවරයා ළඟට යොමු කළෙත් ඒ අතුරු කමිටු තමයි.
ක්‍රිකට් බිසී කියන කාරණය කිව්වෙ මේ තත්ත්වය යටතෙ 19 න් පහළ ලෝක කුසලානය අයිසීසීය උගුල්ලගෙන ගියාට ශ්‍රී ලංකාවෙ පරිපාලනය ගැන විශ්වාසයෙන් රටවල් 108 ක පිරිසට ලංකාවට ඇවිත් අයිසීසී රැස්වීම පවත්වන්න හැකි වෙන නිසයි.මේ වැඩේට රටවල් සියල්ල එකඟ වෙනවා.මෙතන ක්‍රිකට්වලට එහා ගිය බැදීමක් බලපෑමක් තියෙනවා රටට.මේ එන පිරිස රටක ක්‍රිඩාවකට නායකත්වය දෙන අය.ඒ අයගෙන ලෝකයට යන පණිවිඩයට වටිනාකමක් තියෙනවා.රටේ යම් ආකාරයක විදේශ මුදල් සංසරණයකුත් මේ දින කිහිපයේ දී සිද්ධ වෙයි.
එපමණක් නොවේ,ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලිය වගේම ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයත් පැවත්වෙනවා.ඒ නිසා ක්‍රිකට් සෑහෙන්න බිසී කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.හැම සේවකයෙක්ටම වගේ මේ දවස්වල වැඩක පැවරෙන තරමට ආයතනය කාර්ය බහුල වෙලා.ජාත්‍යන්තර වශයෙන් ඉසව් තුනක් එක මොහොතක දරා ගන්නවා කියන එක පහසු නැහැ.ඒකට විශාල ධාරිතාවයක් අවශ්‍යය වෙනවා.ඒ වගෙම පොළොන්නරුවේ ක්‍රිඩාංගණය විවෘත කිරිම වගෙ දේශීය වැඩ සටහන් සියල්ලමත් එක පෙළට සිඳු වෙමින් තිබෙනවා.
මෙහෙම වැඩ කරන්න පුළුවන් ශක්තියක් විශ්වාසයක් තියෙන බව අයිසීසී ය විශ්වාස කිරීම තමයි ලංකාවෙ දේශපාලකයාට අත දාන්න බැරි විදිහට ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් වටා අයිසීසීය හදලා තියෙන වැටට හේතුව.හරියටම මේ ගැන ලංකාවෙ ක්‍රිකට් ලෝලීන් කියවගන්න වෙනවා.ක්‍රිකට් ගහන ක්‍රීඩකයො පාලකයගෙ සුරතල්ලු වෙලා වැඩක් නැහැ.ක්‍රීඩකයා කණ්ඩායමට එන ක්‍රමය හැදිලා තියෙන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට පිටින්.

පරිපාලකයෙක් විදිහට තමන්ගෙ ඉපැයීම් ක්‍රිකට් නඟා සිටුවීමට වගේම වෙනත් ක්‍රිඩාවලට පහසුකම් දෙන්නත් වැය කරන වැඩ සැළසුම් නිසා තමයි අයිසීසී ය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිගන්නෙ.ලෝකයට වෙනදට වඩා වීවෘත වුණ අවකාශයක,හැම කෙනාටම තමන්ගෙ අදහස දක්වන්න පුළුවන් පරිසරයක් හැදිලා තියෙන ඉඩක ක්‍රිකට් ගහන එක වගේම,ක්‍රිකට් පාලනය කරන එකත් අසීරු වැඩක්.තමන්ව මූණ ඉස්සරහා තියාගෙන බනිනවා වගේ බනින්න ඉඩක් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය වී තිබීම ක්‍රීඩකයන්ට බලාපන බව ඔවුන්ගේ හැසිරීම්වලින් දකින්න ලැබෙනවා.ඒ දුර්වලකම තමන්ගෙ ක්‍රිකට්වලට සෘජුවම බලපානවා.මේ ඇත්ත ඇතුළෙ ඒ හා සමානවම විවේචනය වෙන අතරෙ ක්‍රිකට් පාලකයන් ඒ කිසිවක් තමන්ට අදාළ කර ගන්නෙ නැතුව වැඩ කරනවා.

ඇත්තටම තමන්ගෙ වට පිටේ බලන කොට ක්‍රිකට් ගහන පිරිස වැඩි වෙලාද?පහසුකම් වැඩි වෙලාද?ඉස්සර නොදැකපු තැන්වලත් ක්‍රිකට් තියෙනවද? ඒ තමයි පාලකයගෙ වැඩ එළීමේ හැඩය සහ පලය.ඒවට කොච්චර වියදමක් යන්න ඇද්ද?පිත්තක් නැතුව සෙල්ලම් කරන්න බැරුව හිටපු කී දෙනෙක් මේ එන පිතිවලින් බෙදාගෙන සෙල්ලම් කරනවද? සියල්ල කරන අය මතම පටවා ඉන්නෙ නැතුව පුළුවන්නම් දක්ෂයො ගැන අකුරුයි රූපයි කොටනවනම් වැඩි දෙනෙක්ගෙ ක්‍රිකට්වලට සේවයක් වෙයි.එහෙම විසිරුණු පැතිරුණු ක්‍රිකට් සහ ඒ පහසුකම් කියන්නෙ ගමක් ගමක් ගාණෙ තියෙනවනම් කොච්චර වියදමක්ද? එච්චර වියදම් කරන එකේ ඇත්තම දක්ෂයො හොයන්න,ඒ දක්ෂයො දැකලා රටම දැනුවත් කරන්න බනින අතරෙම පුංචි වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්නම් බැනලා හදන්න හදන දේට වඩා දෙයක් ක්‍රිකට්වලට වෙයි.
හැමදාම ශ්‍රී ලංකා ක්‍රිකට් බිසී වෙයි.ඒ බිසී වෙන තරමට රටට ඩොලර් එයි.ඒ ඩොලර්වලින් ගමේ ක්‍රිකට්වලට පහසුකම් එයි.කවුරුත් තමන්ගෙ ගමේ ප්‍රදේශයෙ ක්‍රිකට් අලුත් වෙලාද අලුත් පහසුකම් ඇවිල්ලද කියලා බලන්නෙ නැති එකත් හදා ගත්තොත් වෙනම ප්‍රාදේශීය වශයෙන් මග පෙන්වීමක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හැඳෙයි.නැහැ කියලා හිතෙන මහා දක්ෂයො ගමෙන් හැඳෙයි.උන්ව විනාශ නොවී තියාගන්න ගමේ දක්ෂ කොල්ල එක්ක නිතර ඉන්න බලන්න.කතා කරන්න පුළුවන් වෙනවනම් වෙන තලයක පසුබිමක පදනමක ක්‍රිකට් ඉස්සරහට ගලාගෙන යයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...