හිටපු SIS ප්‍රධානියා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට – පාස්කු වන්දි මුදල් ගෙවා අවසන් කරයිද?

Date:

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව නියම වූ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ගොණු කර ඇති පැමිණිල්ල අද පස්වරු 1.30 ට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිකුත් කළ නොතිසියකට අනුව නිලන්ත ජයවර්ධන මහතා අද (07) අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසන්දර මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා සක්‍රීය සේවයේ නියුතු පොලිස් නිලධාරියකු බැවින් ඔහුට මෙම වන්දි මුදල් ගෙවීම සඳහා බාහිර පාර්ශ්වයන්ගෙන් මුදල් ඉල්ලා සිටීමට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් මතුවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ හිතමිත්‍රයින් ඉදිරිපත් වී ගෙවීමට නියමිතව තිබෙන ඉතිරි වන්දි මුදල් සොයාදීමට කටයුතු කර ඇති බවත් එම මුදල් අද (07) දින බැංකුව හරහා හානිපූර්ණ කාර්යාලයට ගෙවීමට කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වන ලදී.

ඒ අනුව අධිකරණ නියෝගයට අවනත වී අදාළ සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට කටයුතු කරන හෙයින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු විභාගයක් පවත්වාගෙන නොයන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ වන්දි මුදල් ගෙවීම සඳහා වගඋත්තරකරුවන්ට ලබාදුන් කාලය මේ වනවිටත් ඉක්මගොස් ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ මුදල් ගෙවූ බව තහවුරු කරන ලේඛන අද පස්වරු 1.30ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව අදාළ මුදල් නොගෙවන්නේ නම් අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවයි එහිදී තවදුරටත් පවසා ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...