*
Sunday, January 5, 2025
spot_img

Latest Posts

අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න මස්ක් හිට්ලරුයි, සමලිංගිකත්වයයි, ශ්‍රී ලංකාවයි එකට පූට්ටුකළ හැටි!

ප්‍රමෝද් චින්තක පීරිස්

දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අපට ට්‍රම්ප්වාදීන් සමඟ පැහැදිලි මත ගැටුමක් තිබෙනවා. ඒ රිපබ්ලිකන් දර්ශනය ඉලක්කකරගෙන නෙමෙයි, තනිකර ම ට්‍රම්ප් සහ ට්‍රම්ප් අනුගාමිකයන් ඉලක්කකර ගනිමින්. ඇමරිකාවේ ජීවත් වූ ඇතැම් ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරුන් පවා රිපබ්ලිකන් පක්ෂය නියෝජනයකර තිබෙනවා. එබැවින් මානව විරෝධී මුලපිරීම් රැසක පුරෝගාමියකුවන ඩොනල්ඩ් ට්‍රම්ප් ආගමක් කරගන්න යම් පිරිසක් සිටිනවා නම් ඔවුනට එරෙහිව අප කතා කරනවා.

මේ කතා කරන්නේ අන් කවරකුත් ගැන නොව මේ වන විට ට්‍රම්ප්ගේ දකුණු අත බවට පත්ව සිටින හෙට අනිද්දා අභ්‍යවකාශයේ මිනිස් ජනාවාස බිහිකිරීමට සිහින දකින ප්‍රකෝටිපති ඊලෝන් මස්ක් ගැනයි.

ජර්මනියේ ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයක් සේ සැලකෙන ඕල්ටර්නේටිව් ෆෝ ජර්මනි (AfD) පක්ෂයේ සම-සභාපතිනිය උදාහරණයට ගනිමින් එම පක්ෂය “ජනතාව හිතන තරම් අන්ත දක්ෂිණාංශික නැති” බව ඊලෝන් මස්ක් පවසනවා.

මස්ක් එම ප්‍රකාශය සාධාරණීකරණය කරන හැටි අපූරුයි. AfD පක්ෂයේ සම-සභාපතිනි ඇලිස් වීඩල් සමරිසි කාන්තාවක බවත්, ඈ පවුල් කන්නේ ශ්‍රී ලාංකික කාන්තාවක සමඟ බවත් පවසන මස්ක්, මෙය පැවසූ සැනින් ඔබට සිහිවන්නේ හිට්ලර් දැයි අවඥාසහගතව ජනතාවගෙන් විමසනවා.

මස්ක්ගේ ප්‍රකාශයෙන් උද්දාමයටපත් ජර්මනියේ AfD පක්ෂයේ සම-සභාපතිනිය ද X සමාජ මාධ්‍යය ඔස්සේ ඔහුගේ ප්‍රකාශයට තවත් ජාතිකවාදී අදහස් එක්කරමින් එම මතය රීපෝස්ට් කරනවා.

වර්ගවාදය ඕනෑම ආකාරයක් ගත හැකියි. ඉන්දියාව ගැන සිහිපත්කරන විට ව්‍යංජන හෝ කරපිංචා කොළ ගැන ඇසීමේ සිට, කළු ජාතික මිනිසුන් මහමඟ ගෙල සිරකර මරා දැමීම දක්වා මෙම වර්ගවාදය පුළුල් පරාසයක විහිදෙනවා. යම් රටක අතීතයේ සිදු වූ වැරදි මත සමස්ත රාජ්‍යයම ඊට ලඝුකර ප්‍රසිද්ධියේ විහිළු හෝ ප්‍රකාශ සිදුකිරීම ශිෂ්ටසම්පන්න සමාජයකට කිසිසේත් ම ගැළපෙන්නේ නැහැ.

ට්‍රම්ප් වගේ ම අදහස් ප්‍රකාශ කිරීම වල්බූරු නිදහසක් බවට පත්කරගෙන සිටින මස්ක් තමා කරන ප්‍රකාශවල බරපතලකම ගැන සිතන්න කිසිසේත්ම උත්සුක වන්නේ නැහැ. අන්ත දක්ෂිණාංශික දේශපාලන ප්‍රවාහවල ආදීනව ගැන කතාකරන එක හොඳයි, නමුත් දේශපාලන ප්‍රවාහයක් අන්ත දක්ෂිණාංශික නොවන බව පැවසීමට එහි නායකත්වය දරන තැනැත්තන්ගේ පෞද්ගලික ජීවිත ජර්මනියේ සිටි ඒකාධිපති වියරුවෙන් පෙළුනු පුද්ගලයකු සමඟ සන්සන්දනයකර උත්ප්‍රාසය මතු කිරීම කොපමණ දුරට සදාචාර සම්පන්න ද?

හිට්ලර් ගේ නම වර්තමානයේ භාවිතා නොකරන තරම්. මස්ක් ගේ අදහස් කොපමණ ආන්දෝලනයක් ඇතිකළේ ද කිවහොත් එය ප්‍රකාශයට පත්කළ වෙල්ට් අම් සොන්ටග් පුවත්පතේ මත සංස්කාරක ඉන් අනතුරුව ඉල්ලා අස්ව ඇති බව ද වාර්තා වනවා.

AfD පක්ෂය මෙන්ම එහි සම-සභාපතිනි ඇලිස් වීඩල් කියන්නේ එරට හිටපු චාන්සලර් ඇන්ජෙලා මර්කල් විසින් ඉදිරිපත් කරනු ලැබූ හරිත බලශක්ති ප්‍රවණතාවයට එරෙහිව කතාකළ, න්‍යෂ්ඨික බලාගාර ඉදිකිරීම වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි පාර්ශවයක් බව සිහිපත්කළ යුතුයි.

යම් දේශපාලන ප්‍රවාහයක් අන්ත දක්ෂිණාංශික නොවන බව පැවසීම සඳහා, සමරිසි විවාහ, හෝ සමරිසි යුවළයන් උදාහරණයට ගැනීමට ඊලෝන් මස්ක්ට සදාචාරාත්මක අයිතියක් නැති බව ද සිහිපත්කළයුතු වනවා. මස්ක් යනු කිසිවිටක සමරිසි, හෝ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයකු නොවේ. ඇත්තම කතාව කිවහොත්, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව සහ සමාජභාවයේ ද්විත්ව-නොවන අනන්‍යතා ඇති ප්‍රජාව නිර්ධය ලෙස විවේචනයකළ ලෝක බලවතුන් අතළොස්සක් වේ ද, ඊලෝන් මස්ක් ඒ ඉදිරියෙන් ම සිටිනවා. මස්ක් යනු, සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවයක් ඇති තම දියණිය දියණියක් නොවන බව පවසා දරුකමින් අතහැර දැමීමට තරම් දුෂ්ට වූ චරිතයක්..

ඇලිස් වීඩල් පවුල් ජීවිතයක් ගතකරන්නේ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ලද කාන්තාවක සමඟ බවයි කියවෙන්නේ, නමුත් ඈ ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණයකළ තැනැත්තියක වීම මත ඈ “ශ්‍රී ලාංකික කාන්තාවක” යැයි පැවසීමට තරම් මස්ක් කුහක වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණ ප්‍රතිපත්තියේ දුඟඳ වාතලයට මුසු කරමින්. 

මස්ක්ගේ ප්‍රකාශයතුළ මස්ක්ට ම පාරාවලල්ලක් සේ කැරකී එන කොටසක් ඇතුළත්වනවා. මස්ක් නොදන්නවා ඇති, නමුත් AfD පක්ෂයේ සම-සභාපතිනි ඇලිස් වීඩල් කියන්නේ ජාතිකවාදයේ ආරක්ෂණවාදී අදහස්වලට එරෙහිව යන නිදහස් වෙළඳ සබඳතා වෙනුවෙන් දැඩිව පෙනී සිටින චරිතයක්. මස්ක් දෙවියන් වහන්සේ මෙන් අදහන ඩොනල්ඩ් ට්‍රම්ප් නිදහස් වෙළඳ සබඳතාවලට එරෙහි බව මස්ක් නොදැන සිටියා ද?

ජර්මනියේ හරිත පක්ෂය, AfD පක්ෂය හඳුන්වනු ලබන්නේ “බිලියනපතියන් විසින් ගෙනඑන ලද, රුසියාවේ ව්ලැදිමිර් පුටින්ගේ අණසකට යටත් දේශද්‍රෝහීන් පිරිසක්” ලෙස. AfD පක්ෂයට අතහිත දෙන අලුත්ම ලෝක බලවතා වී තිබෙන්නේ ඊලෝන් මස්ක්. ඇමරිකාවේ මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවා අනතුරේ හෙලන මෙවන් ප්‍රකාශ සිදුකරන තම බලුකුක්කාව දැන්වත් බැඳ තැබුවහොත් යහපති!   

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan