සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

Date:

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW

ශ්‍රී ලංකාව මෙවර ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේ දැවන්තම පරාජයට මුහුණ දුන්නාය.සිංගප්පූරුව ඉදිරියේ ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ ලකුණු 62 – 19 ක් ලෙස ය.එය කළාපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමක් සිංගප්පූරුව වෙතින් ලද අපකීර්තිමත්ම පරාජය ලෙස හැදින්වීම නිවැරදිය.
නෙට්බෝල් ක්‍රීඩාවේ සෙන්ටර් ක්‍රීඩිකාව අතට පන්දුව ලැබීම සමානව බෙදී යන බව අපි කවුරුත් දනිමු.එවිට මෙම ලකුණු ප්‍රමාණය සළකා බලන විට මේ තරගයේ දෙපිළේ පන්දුව සෙන්ටර් ක්‍රීඩිකාවන් අතට පත් වූ අවස්ථාවන් ගණන 81 කි.එම අවස්ථා 81 බෙදී යන්නට ඇත්තේ 40 සහ 41 ලෙසය.ශ්‍රී ලංකාවට මෙහිදී 40 ක් හිමි වුව ද,41 හිමි වුව ද ශ්‍රී ලංකාව එයින් තමන්ට ලැබුණු අවස්ථාවන් 21 සහ 22 ක් අහිමි කරගෙන ඇත.ඒවා ජීඑස් හෝ ජීඒ වෙත ගොස් ආපසු හැරී ආවේද එසේත් නැත්නම් සිංගප්පූරු බල ඇණිය අතරමඟදී කඩා ගත්තේ ද යන්න සිතා ගන්නට නොහැකිය.කෙසේ වුව ද එහි අදහස ශ්‍රී ලංකාව සිංගප්පූරුවට වඩා විශාල වශයෙන් දුර්වල බවය.
මේ තත්ත්වයට දැන් සපුරා වගකීම පැවරෙන්නේ තරග වඳින කණ්ඩායමටය.එහි පුහුණුකාරියටය.පතුරු ගසන්නට නියමිතව ඇත්තේ ඔවුන්වමය.අමාත්‍යවරයා පැවසුවේ මේ සිටින කණ්ඩායම අති දක්ෂ බවය.ඔවුන් බලාගත්තේ අමාත්‍යංශය බවය.මේ බලා ගැනීමට ස්තූති කරන අතරේම පුහුණුකාරිණිය පුහුණු වෙන්නට ලැබුණු කෙටි කාලය ද,සුගතදාසය ලබා නොදීම ද,තරග නොලැබීමද අඩුපාඩු ලෙස පැවති බවත්,ඒ අඩුපාඩු මැද මේ තරගාවලියට යාම සඳහා පිරිමසා ගත් බවත් කීවාය.
දැන් මේ පරිපාලනයක් නැතුව වසර කීය ද?එය නොවිසදෙන්නේ ඇයි?බලය ඇත්තේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පිටය.මෙසේ බලය ඇති ඇතැම් ක්‍රීඩාවන්වල ඔහුගේ පාලනයටවත් හසු නොවන විශාල මූල්‍ය අක්‍රමිකතා ගැන චෝදනා ඇඳෙමින් ඇත.ඒවාට එරෙහිව ගනු ලබන තීරණ මොනවාද? මේ කිසිවක් සිඳුවන්නේ නැත.නිසි නෙට්බෝල්මය පදනමක් නැතිව ගිය ආසියාවේ ප්‍රධාන රට කෙතරම් අසරණ කර දමා ඇද්ද?මේ නෙට්බෝල් නෝනලා වගකිමකින් තොරව නිරතුරුව කරන කෙහෙවලු පටලා ගැනීම නිසාම සිඳුවන දෙයක් නොවේය.මේ තත්ත්වය නොවිසඳි ඇත්තේ එවා සමනය කිරීමට වඩා,තමන් පාලනය කිරීමට අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඇති කැමත්ත මතය.
තමන්ට කුමන හෝ හිතවත් පාර්ශවයකට අවශ්‍යය විදිහට නිමා කර ගැනීමට සුදුසු පරිදි නිමාවක් නොපෙනේනම් ඔහු කරමින් සිටින වැඩේ අපට පෙනෙන්නේ ඔහු යටතේ රඳවා ගැනීමක් ලෙසය.චෝදනාවට ලක්වන පරිපාලකයන්ම පහසුකම් සැපයිමට පත් කර ගැනීම ඊළඟ සිරිතය.
දැන් ආසියානු නෙට්බෝල් පරිපාලනයට වී ඇත්තේ කුමක්ද යන්න ක්‍රීඩා අමාත්‍යවරයා දන්නවා විය යුතුය.ඔහු ඡන්ද කාලයේ සංගම්වලට සම්බන්ධ අය සමඟ වැඩ කර ක්‍රීඩාවේ සියල්ල ඉගෙනගෙන පැමිණි අයෙක් බව කී නිසා එසේ සිතීම අසාධාරණ නැත.එහෙත් වෙනදාට මෙවැනි තරගාවලියකදි නිතර තොරතුරු යාවත්කාලීන කරන ආසියානු නෙට්බෝල් වෙබ් අඩවිය සහ ෆේස්බුක් අඩවිය ද නිහඬය.
කීඩාව ගැන දිනීම සහ ඊට ඇති උනන්දුව තදින් ප්‍රකට කරන මැලේසියාව සහ සිංගප්පූරුව සිය තරග ප්‍රතිපල දිගට වාර්තා කරයි.වඩාත්ම ආකර්ශණීය ලෙස මේ වැඩේට සම්බන්ධ වී සිටින්නේ මේ තරගාවලියේදී පුදුම සිතෙන ප්‍රගතියක් පෙන්වමින් සිටින මාල දිවයිනය.ශ්‍රී ලංකාවේ තරගයේ පිංතූරයක් ලකුණු සටහනක් වැටෙන සමාජජාලා අඩවියක්වත් නැත.අඩුම තරමේ මේවා ක්‍රීඩා අමාත්‍යංශයට අයත්නම් දිනපතා තොරතුරු ලබාගෙන වාර්තා අමාත්‍යංශ මාධ්‍ය ඒකකය හරහා හෝ වාර්තා කරන්නට ක්‍රමයක් නැත.
මේ ප්‍රතිපලවලින් අනාගතයක් ඇති යොවුන් ක්‍රීඩිකාවන් හෑල්ලු කිරීම කිසිසේත්ම නොකළ යුතුය.ජාතික කණ්ඩායමට පවා සුදුසු වූ කණ්ඩායම් නායිකාව මෙන්ම මීට පෙර යොවුන් තරගාවලිය නියෝජනය කළ සිව්දෙනෙක් මෙම කණ්ඩායමේ ඇත.එහෙත් මේ්වා ක්‍රීයාකාරීව නිරන්තරයෙන් පැවතිය යුතු ඒවාය.මල බැඳෙනකම් ඉවත් කර තිබී නැවත ගත් පසු වැඩ කරන්නේ නැත.ඇණ මුරිච්චි වුව තෙල් දමා සකස් කළ යුතු බව අපි දනිමු.මේ සිඳුවන්නේ ඒ සාත්තුව නොලැබීමේ පාඩුවය.
මේ අවස්ථාව හයසින්ත් වෙත ළඟා වෙන්නේ වසර ගණනාවක් නොලද සාත්තුව නිසා අමාත්‍යංශයට සිඳු විය හැකි සවුත්තුව වළකා ගන්නටය.ඒ සඳහා ඇයව යෝජනා කරන්නේ සවුත්තු වුවහොත් සිඳුවන අපකීර්තිය විඳින්නට සිඳුවන පිරිසම විය හැකිය.එහෙත් ප්‍රාතිහාර්යයන් පාන්නට නොහැකිය.මේ කුසලානය වෙනුවෙන් දීර්ඝකාලීනව සූදානම්ව සිටින සහ ඒ වෙනුවෙන් පුහුණු තරගාවලි නියෝජනය කරමින් අත්දැකීම් එකතු කර ගනිමින් දැක්මක් ඇතුව වැඩ කරන කණ්ඩායම් ඉදිරියේ හයසින්ත්ව පාවිච්චි කරන්නට යාම කඩදාසි බෝට්ටුවක් යොදා ගැනීමක් පමණි.දැන් හයසින්ත් සහ මේ ක්‍රීඩිකාවන් ටික දෙනා වෙනුවෙන් දැරූ මූල්‍යමය වියදම් ගැනත් කියමින් මේ සියලු වැරදිවල පාපයන් මේ කණ්ඩායම සමඟ සිටි නිලධාරීන් මත පැටවීමට සැළසුම් සකස් කරමින් ඇත.
මෙම පරජය සමඟ පරාද වන්නේ ගැටළුව නොවිසදා තමා අත තබා ගත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ කාර්යය.ඉදිරියේදී මේ ආකාරයටම ඔහු විසින් මූලිකත්වය ගෙන ජාත්‍යන්තරය පවා ගා ගනිමින් කළ වැඩවල ප්‍රතිපල ද නිසා ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කළ යුතු ක්‍රීඩාවන් තියෙන ව්‍යාප්තියද නැතුව හැකිලී එක පංතියක බූදලයක් වනු ඇත.නෙට්බෝල් ප්‍රශ්නයට ප්‍රධාන වශයෙන් බලපෑවේ ද මේ ආකාරයට ප්‍රධාන ධාරාවෙන් යාපනය කොන් කර දැමීමය.රජයට තමන්ව මැතිවරණයේදී ඉතිහාසයේ කවරදාකවත් සිඳු නොකළ ආකාරයට වැළඳ ගත් යාපනයට අසාධාරණයක් වී තිබීම සිතන්නට තිබිණ.එසේ සිතුවේ නැත.
දැන් තවත් නෙට්බෝල්වල බර වැඩියෙන් දරන්නට රජයට සිඳුවනු ඇත.හයසින්ත් සහ තිලකා කියන නාමයන් මත යැපෙනු විනා හෝ බලයට පැමිණෙන පාර්ශවවල නිලවරණයේදී වැටෙන ඡන්දය තීරණය කර ගැනීමට පුහුණුකාරීත්වය ගැන සිතීම වැනි කරුණු සපුරා හකුළා දැමිය යුතුය.ඒ කේෂ්ත්‍රද දැන් අලුත් විය යුතුය.සමහර විට විදේශ පුහුණුකාරියකගේ සේවය වසරකට පමණවත් ලබා ගන්න තත්ත්වයක් ද ඇති විය හැකිය.එසේ කරන අතරේ නව අලුත් දක්ෂ පුහුණුකාරියන් කණ්ඩායමක් ද එවැනි කෙනෙකු යටතේ සංවර්ධනය කළ යුතුය.
මේ පෙනෙන්නේ ලංකාව ආසියානු කළාපය ඇතුළේ නෙට්බෝල් ක්‍රීඩාවෙන් අත් කරගෙන තිබෙන සුළු පසු බැස්මක් නොවන බවත්,එය යොවුන් කණ්ඩායමට පමණක් අදාළ කාරණයක් නොවන බවත් තේරුම් ගැනීම වැදගත්ය.මෙහි දරුණුකම සමහර විට ශ්‍රී ලංකාව අයත් නොවන බී කාණ්ඩයේ මූලික තරග සියල්ල ජයගෙන සිටින පකිස්තානය මේ තරගාවලියේදී රටක් ඒ ක්‍රීඩාව ගැන උනන්දුවීම සම්බන්ධයෙන් හොඳම උදාහරණය ය.ඔවුන්ට ඒ කාණ්ඩයේ තරග කළ කණ්ඩායම් තරම් ප්‍රබල කණ්ඩායම් හමු නොවුණත් ක්‍රීඩා අමාත්‍යවරයාට අවශ්‍යයනම් ඔවුන්ට පමණක් පැරදුණු මාල දිවයින ඉතිහාසය දැන ඉගෙන එම ෆෙස්බුක් පිටුවට රිංගා බැලුවොත් මාල දිවයින කෙතරම් ප්‍රබල වී ඇද්ද යන්න දැන ගැනීමට හැකි වනු ඇත.ඒ මාල දිවයින අපේ දැල් පන්දුවෙන් අදටක් ගුරුහරුකම් ලබමින් සිටින රටක් වන බැවිනි.
තරගාවලිය ඒ සහ බී ලෙස බෙදී ඇත්තේ කප් සහ ප්ලේට් යන න්‍යායන් මත බැවින් ශ්‍රී ලංකාවට මාල දිවයින හමුවන්නේ නැත.මාල දිවයිනේ උනන්දුව අපි මීට පෙරත් සාකච්ඡා කර ඇත.එහෙත් වැදගත්ම ආසියාව ඇතුළත නොව දකුණු ආසියාව ඇතුළත ද අභියෝග නිර්මාණය වෙමින් තිබීමය.මාල දිවයිනත් පරාජය කරමින් බී කාණ්ඩයෙන් ඉදිරියටම පැමිණ තිබෙන පකිස්තානය හෝ මාල දිවයින ඉන්දියාව වෙනුවට ඒ කාණ්ඩයට නොපැමිණිම ශ්‍රී ලංකාවේ තත්ත්වයට යහපත් බව සිතෙන තරමට ඔවුන් මේ තරගාවලියේ දක්ෂතා දක්වමින් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය නිෂ්පාදකයින් රැකගන්න පාර්සල් රේගු බදු වෙනස් කළා. වැඩේ ගාණට යනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට දැවැන්ත තර්ජනයක් වී පැවති තනි...

Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම...

කහවත්තේ OIC යාපනයට මාරු කරයි

කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ. ඒ,...

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...