නිශ්මං රණසිංහ ජූලි 08, කොළඹ LNW:
අද බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන තෙවන එක්දින තරගය තීරණාත්මකයි.මේ වන විට තරගාවලිය 1-1 ක් ලෙස සමව තිබුණත් මේ තරගාවලියේ ජාත්‍යන්තර වශයෙන් වැඩි වාසිය අත්ව තිබෙන්නේ බංගලාදේශයටයි.බංගලාදේශය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 10 වැන්නා ලෙස මේ තරගාවලියට පිවිසුණු අතර,ශ්‍රී ලංකාව තරගාවලියට මුහුණ දෙන මොහොතේ සිටියේ සිව්වන තැනයි.ඉහළින් සිටින ශ්‍රී ලංකාවට තරයක් පරාජය වීම තදින් බලපාන අතර බංගලාදේශයට ජයග්‍රහණය ඒ සමානවම බලපානවා.ඒ නිසා මේ වන විට ශ්‍රී ලංකාව තරගයක් පරාජය වීම නිසා එක් ස්ථානයකින් පහළටත්,බංගලාදේශය එක් ස්ථානයක් ඉහළටත් පැමිණ තිබෙනවා.
ඒ නිසා මේ වන විට තරගාවලය සම වුවත් නරක ආකාරයට බලපෑමක් ඇති කර තිබෙන්නේ ශ්‍රී ලංකාවටයි.ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින කණ්ඩායමකට පරාජය විශාල බලපෑමක් කරන බැවින් අද තරගයේදී එම පීඩනයත් ශ්‍රී ලංකාවට එරෙහිව නැඟී තිබෙනවා.විශේෂයෙන්ම ඒ හරහා වෙන්න පුළුවන් තරගාවලි පරාජයකට ඇති ඉඩත් සුළුවෙන් ගන්නට බැහැ.
බංගලාදේශය මේ තත්ත්වය ගැන අවබෝධයෙන් අද තරගයට පිවිසෙන නිසා ඔවුන් මානසිකව හොඳ මට්ටමක සිටිනවා.එහෙත් පීඩනය පාලනය කිරීමේ වෘත්තිමය භාවය විසින් ශ්‍රී ලංකාව මේ තත්ත්වයට මුහුණ දෙන්නට සූදානමින් සිටින බව නියතයි.මෙහිදී ශ්‍රී ලංකාවට පැතුම් නිශ්ශංක දක්වන දායකත්වය වැදගත්.ඔහු මේ තරගාවලියේදී ලකුණු අතරට නොපිවිසීම ද ශ්‍රී ලංකාවට බලපානවා.ඔහු මෙන්ම නිශාන් මධුශ්ක අතර පළමු කඩුල්ලට එකතුවන සබඳතාවය ද වැදගත් වනු ඇති.
කුසල් මෙණ්ඩිස් තරග දෙකේදිම පිතිකරුවෙකු වශයෙන් ලකුණු අතරට පැමිණිය ද,ඔහුට ඊට වඩා දිගු ඉණිමක් ගොඩ නැඟිය යුතුව තිබුණු බව පැහැදිළියි.ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් චරිත් අසලංක පළමු තරගයේදී සහ ජනිත් ලියනගේ දෙවන තරගයේදී ක්‍රීඩා ඉණිම් වැදගත් වෙන අතර ශ්‍රී ලංකාව කඩුලු ඉතිරි කර ගෙන තරග වැදීම මේ තරගයේදී වැදගත් වෙනවා.පල්ලෙකැලේ ක්‍රීඩාංගණය සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකාවට වාසිදායක වීම මෙහිදී අමතර මානසික ශක්තියක් වුව ද,එවැනි පාර භෞතික කාරණාවලට වඩා භෞතිකය ඒ මොහොත තුළ හැසිරීම ප්‍රතිපලයට වැදගත් වෙනවා.ඒ නිසා සෑම විටම තමන් ඉදිරියේ සිටින ප්‍රතිවාදියාට කිසිඳු අවස්ථාවක් නොදෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානය යොමු විය යුතුව තිබෙනවා.ඒ සඳහා මේ වන විට යම් ප්‍රශස්ත මට්ටමකට වර්ධනය වී තිබෙන පන්දු රැකීම මේ තරගයේදී ද ඉහළින් පවත්වා ගත යුතු වෙනවා.
ටන්වීර් ඉස්ලාම් සුළුවෙන් සැළකීම කිසි විටෙකවත් නොකළ යුතු වෙන අතර ඔහු පල්ලෙකැලේදී ද සිය දඟ කැවීමේ අවි ගබඩාව සමඟ පිටියට පිවිසෙනු ඇත.පිතිකරණයේදී දෙවන තරගයේදී තරගයේ අවසාන භාගයේදී ඇති කර ගත් ප්‍රහාරාත්මක පීඩනය යම් ආකාරයක නොසැළකිල්ල නිසා ලබා දුන් අවස්ථාවක් ලෙස සිතිය හැකි අතර එක්දින තරගයකදී තමන්ට එරෙහිව ගොඩ නැඟෙන හැම ලකුණක්ම එය ලබා ගන්නේ කවුද කියන කාරණයට වඩා කණ්ඩායමට එරෙහිව එකතු වෙන ලකුණක් ලෙස ගොඩ නැඟෙන පීඩනය ගැන අවධානය යොමු කිරීම වටිනවා.ඒ නිසා පන්දුවට පහර දෙන අන්තයට පැමිණෙන අවසාන පිතිකරුවාද අති විශිෂ්ඨ පිතිකරුවෙක් ලෙස සළකා සිය උපරිම පීඩනය එල්ල කිරීම වැදගත් වෙනවා.
