බහාලුම් ප්‍රශ්නය අදත් පාර්ලිමේන්තුවේදී දිග ඇරෙයි! විපක්ෂ නායකගෙන් ප්‍රශ්න වැලක්!

0
228

කොළඹ LNW:රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් අද (08) දිනයේදීත් පාර්ලමේන්තුවේදී අවධානය යොමු විය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කළ පරීක්ෂණ කමිටු වාර්තාවේ නිගමන යටතේ 4 වැනි නිගමනයේ 3 වැනි ඡේදයට අනුව

‘එසේ සත්භාවයෙන් බහලුම් තදබදය සමනය කිරීමේ අරමුණින් මෙම ක්‍රියාදාමය සිදු කළේ නම් මෙම ක්‍රමවේදය පිළිබඳ විධිමත් පරිදි රේගු දෙපාර්තමේන්තුවේ සියලුම අංශ දැනුවත් කර රේගු පරිශ්‍රයෙන් පිටවු පසු ඒ පිළිබඳ අනෙකුත් රේගු විමර්ශන අංශ මගින් පරීක්ෂාව ලක් කර රතු ලෙස වර්ගීකරණය කරන ලද බහලුම් භෞතික පරීක්ෂා නොකිරීමෙන් ඇතිවිය හැකිව තිබූ අවදානම අවම කර ගැනීමට හැකිව තිබුණි’. දක්වා ඇත.

මෙම නිගමනයෙන් ගම්‍ය වන්නේ සමස්ත ක්‍රියාවලිය සද්භාවයෙන් තොරව සිදු කළ එකක් බව හැඟී යන හෙයින් විපක්ෂ නායක විසින් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කර සිටියේය.

2025.06.12 දින ජනාධිපතිවරයා වෙත බාර දුන් ප්‍රශ්නගත බහලුම් 323 සම්බන්ධ වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධ නොකිරිමට හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ජනතාවට ප්‍රසිද්ධ කරන ලෙසත් මෙය එළි දැක්වූයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා වුවත් එය සිදු කළයුතු වන්නේ රජය බවත් 2024 අග හා 2025 වසර මුල වරායේ මෙහෙයුම්වල ඇති වූ තදබදය නිසා නැව් නැවත හැරී යාම වාර්තා වූ නිසා අමාත්‍යවරයකුගේ සභාපතීත්වයෙන් කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ නිර්දේශ දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිසි පරීක්ෂාවකින් තොරව රතු පමණක් නොව කහ ලෙස ලේබල් කළ කන්ටේනර් නිදහස් කිරීමට රජයේ පාර්ශ්වයෙන් හෝ ආනයනකරුවන්ගෙන් බලපෑමක් එල්ල වී ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය අතර මෙම කන්ටේනර් පැමිණි රටවල් සහ ඒවායේ අන්තර්ගත භාණ්ඩ පිළිබඳ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙසත් ඒවා ගෙන්වූ ආයතන ගැන ද දැන ගැනීමට අවශ්‍ය බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

අවස්ථා 13කදී බහලුම් 2218ක් භෞතික පරික්ෂාවෙන් තොරව නිදහස් කර ඇති අතර එහි රතු ලෙස වර්ගීකරණය කරන ලද බහලුම් 999ක් පැවැති බවත් කහ බහලුම් 1219ක් ඇති බවත් මේ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් රජයෙන් අපේක්ෂා කරන බවත් රේගු පරික්ෂාව මගහැර ගිය කන්ටේනර් සදහා නිසි ලෙස තීරුබදු අය කර ගැනීමට රජය කටයුතු කර ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් 2025 ජනවාරි 23 මාධ්‍ය හමුවකදී ආනයනික බහලුම්වල මත්ද්‍රව්‍ය හෝ නීතිවිරෝධි ද්‍රව්‍ය අඩංගු වුවහොත් එහි වගකීම රජය බාර ගන්නා බවට වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති නිසා එය තවදුරටත් වලංගු ද යන්න දැන ගැනීමට අවශ්‍ය බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ