රුසියානු එරෝෆ්ලෝට් ගුවන් සේවයට අයත් ගුවන්යානයක් මෙරටදී රඳවා ගැනීම සිදු නොවිය යුතුව තිබුණු දෙයක් බවත් ප්‍රමාද වී හෝ මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීමට ශ්‍රී ලංකා රජය අනිවාර්යයෙන්ම මැදිහත් වියයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
“රුසියානු ගුවන්යානය නැවැත්වීම හරහා ඇත්තටම අපි රුසියාව තරහා කරගැනීමක් වෙනවා. ඇත්තටම ඒක අපේ සංචාරක කර්මාන්තයට මරු පහරක් වෙනවා, ඒ වගේම තේ අපනයනයට මරු පහරක් වෙනවා. දැන් ආණ්ඩුව කියන්න හදනවා මේක රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් නෙවෙයි, මේක සමාගම් අතර වෙච්ච ප්‍රශ්නයක් කියලා. ඒක එහෙම සලකන්නෙ නෑ රුසියානු ආණ්ඩුව. ඔවුන් රුසියාවේ ඉන්න ශ්‍රී ලංකා තානාපතිනිය කැඳවලා මේ ගැන ප්‍රශ්නකරලා තිබුණා. ඒ වගේම ගුවන්යානය බාධාවකින් තොරව ආපහු රුසියාවට යන්න දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුණා. එහෙම තියෙද්දී මෙහෙම තත්වයකට මුහුණ දෙන්න වෙච්චි එකෙන් රටට ලොකු බලපෑමක් වෙනවා. ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය මීට පෙර මාර්තු මාසයේදී දැනුම් දීමක් කරලා තිබුණා එහෙම කිසිම නැවැත්වීමක් කරන්නෙ නෑ කියලා. එහෙම තියෙද්දී මේ වගේ දෙයක් වෙච්චි එක අනිවාර්යයෙන්ම අපේ රටේ සංචාරක කර්මාන්තයට සහ තේ අපනයනයට බලපානවා. ඒ වගේම රුසියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන දිගුකාලීන මිත්‍රත්වයට එල්ල වෙච්ච පහරක් විදියට තමා මේක දකින්නෙ. මේක නොවිය යුත්තක්. නමුත් ප්‍රමාදවෙලා හරි මේක නිවැරදි කරන්න ආණ්ඩුව වහාම මැදිහත් විය යුතුව තිබෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්නය මීට වැඩිය බරපතළ වෙන්න පුළුවන්”
විජිත හේරත් මහතා මේ බව පැවසුවේ අද (06) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
RN